ඉරණතිව්හි භූමදානයට ජනතා විරෝධය, ඇමති දේවානන්දත් අකමැතියි

කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු කිළිනොච්චිය, ඉරණමඩු දූපතේ මිහිදන් කිරීමට එරෙහිව කතෝලික පූජකවරු පිරිසක් සමග එකතු වී දූපත් වැසියෝ ඊයේ (3) විරෝධතාවක නිරත වූහ.

දැනට දූපතේ පවුල් 167 ක් ජීවත් වන අතර සංක‍්‍රමණික ධීවරයන් වශයෙන් තවත් පවුල් 120 ක් පමණ මෙම දූපතට යෑම් ඊම් කරති.

කිළිනොච්චියේ සිට මුහුදු සැතපුම් 9 ක දුරින් මන්නාරම් බොක්කට අයත්ව පිහිටි ඉරණතිව් දූපතේ මේ වනවිට පවුල් 165 ක් පමණ නැවත පදිංචිව සිටිති.

දූපතේ කොරෝනා සිරුරු භූමදානය කිරීම මගින් වයිරසය ජලයට මුසු වී කොවිඞ් වැළඳීමේ අවදානමක් පවතින බව ඉරණතිව් දූපතේ වැසියන් පවසති. විරෝධතාවයේ නිරත පිරිස ඉල්ලා සිටියේ ඔවුන් ජීවත් වන හා ධීවර රැකියාව කරගෙන යන ඉරණතිව් දූපතේ කොරෝනා මළසිරුරු මිහිදන් නොකරන ලෙසයි.

කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය සඳහා කිළිනොච්චියේ ඉරණතීව් දූපත තෝරා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ විරෝධය පළ වී ඇති අතර ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද ද මීට සිය අකැමැත්ත පළ කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් ප‍්‍රකාශ කර ඇත්තේ රජය මෙම තීරණය හකුළා නොගතහොත් ඉරණතීව් දූපතේ ජනතාව සමග එකතු වී රජයේ මෙම තීරණයට එරෙහිව විරෝධය පළ කරන බවයි.

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද පවසන්නේ කොරෝනා රෝගයෙන් මියගිය අයගේ මළ සිරුරු භූමදානය කිරීම සඳහා ඉරණතීව් දූපත කිසිසේත්ම සුදුසු ස්ථානයක් නොවන බවයි.

මේ තීරණය හා ක‍්‍රියාව නිසා මේ රටේ සුළු ජාතිය හා රජය අතර ඇතිව තිබෙන ව්‍යාකූලතාවය තවත් වර්ධනය විය හැකි බැවින් තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග සාකච්ඡා කර යම් විසඳුමකට එළඹෙන බව ද ඩග්ලස් දේවානන්දා ඇමැතිවරයා ප‍්‍රකාශ කළේය.

ඡායාරුප අන්තර්ජාලයෙන්

 

Leave A Reply

Your email address will not be published.