ආදරය මියැදුණේ ගැහැනියක් දරාගෙන නිහඬ වුණ තැන

ජීවිතේ එකම එක වතාවක් හමුවෙයි ඔබට මෙහෙම ගැහැනියක්. ඔබට  පමණක්ම නැහීගෙන ආදරය කරන. අන් සියලු දේ පසෙකලා ඔබව හදවතේ ඉහළින්ම තියන. ඔබේ කාලයෙන් පුංචිම පුංචි ඉඩක් ඉල්ලමින් සිය දහස් වාරයක් දබර කරන. මිල මුදල් යාන වාහන අරුමෝසම් වෙනුවට නුඹේ උර තලයේ හිස හොවාගෙන අතොරක් නැතිව කියවන්නට කැමති. ඔබේ අවධානය අඩු බව දැනුණු විට ගිනි පුළිඟු මෙන් දැවෙන. කියන්නට අවැසි බොහෝ දේ අහුමුළු නෑර ම කියවන. හිත රිදුන වෙලාවක සනසන්න බොහෝ උන් පැමිණියද ඔබේ මෘදු ස්පර්ශය පමණක්ම අයදින. සිය දහස් වාරයක් ඔබේ මුවින් ඇයට කොපමණ ආදරේ දැයි විමසන. පුංචි දේටත් රණ්ඩු වෙමින් ඇස්වලට කඳුළු පුරවගන්න.

එදාට මහා හිසරදයක් ලෙස ඇයව දැනේවි. ඕනි දේටත් එපා දේටත් අඬන ඇගේ කඳුළු ඔබට විහිළුවක් වේවි. හදවතට දරන්නම නුපුළුවන් කටුක වදනින් ඔබ ඇයට බැණ වදීවී. එහෙත් ඇය නිහඬවම අසා සිටීවි. ඔබේ ආදරය ඉල්ලා හඬා වැටුන ඇය තනිවම විඳ දරා ගන්නට පුරුදු වේවි. ජීවිතේ හැමදේම ඔබට පැවසූ ඇය ඔබට පවසන දේවල් අඩු කරාවි පුංචි දේටත් කඳුළු නොසලා ඔබ ගැන සොයන කාලය අඩු කරාවි. අවධානය ඉල්ලා යළිත් හඬ නොනගාවි. ඔබේ වෙනස්කම් කිසිම ගණනකට නොගනීවි. රැඳුණත් නැතත් හිත හදා ගන්නට ඇය තීරණය කරාවි. ඔබ වෙනුවෙන් ම උපන් ආදරය මරා දමන්නට ඔබම ටිකින් ටික ඇයව හුරු කර අවසන්. ඇත්තටම එදිනට ඇය ඔබව හදවතින් මුදාහරීවි.

එල්ලෙන්නම බලන් ඉන්න ඇයව ඔබට එපා වේවි.  නිතරම හිනා වෙවී සනසන තව උන්ව ඔබට රැජිණියන් ලෙස පෙනේවි. පිවිතුරු ආදරයක් අතහැර ඔබ වෙනත් ගැහැනියක් අසළ නවතීවි. සැනසීම ඇති රණ්ඩු දබර නැති වදයක් නොවන තැනක රැකෙන්නට ඔබට හිතේවි. එහෙම තැනක නැවතුනු දා ට ඔබට දැනෙයි ඇයට ඔබේ අවධානය අනවශ්‍ය බව. ඔබේ කාලයෙන් ඉඩක් නූමනා බව. ඇය යන එන තැන් කිසිවක් ඔබට නො පවසාවි. ඔබෙන් ද නො විමසාවි. ඇගේ වටිනා කාලය ඔබ වෙනුවෙන් දිය කරන්නට අකමැති වේවි. පුංචි දේටත් රණ්ඩු නොවන ඇය ඔබ කුමන දේ කළත් ඇයට එය අදාළ නොමැති බව හඟවාවි. ඇය ඔබට අගයක් නොදේවී. ඔබ ගැන වද වී සොයා බලන්නට ඇයට අවැසි නැත. පුංචි දේටත් කඳුළු පුරවා නොගන්නා ඇය ඔබේ ඇස් වලට කඳුළු දේවි. ඔබේ මත්තෙම නහින්නේ නැති ඇය ඔබ වගේම තවත් අයගේ පහස පතාවි.

අන්න එදාට ඔබ දහස් වරක් පසුතැවෙයි. ආපසු හැරෙන්නට නො හැකියි. ඔබ වෙනුවෙන්ම හදවත පුරවා තිබුණු ආදරය ඔබම මරා දමා අවසන්. එහෙත් ඔබ බලාපොරොත්තු වේවි එතරම් ආදරේ කළා නම් ඇය යළිත් වතාවක් ඔබ කරා පැමිණෙන වග. ඔබට හිතෙයි තව වරක් ඇය සමග කතා කරන්න. තවමත් ඉස්සර වගේම ආදරේද අහන්න. ඔබට වෛර කරනවා දැයි අහන්න. ඇය පෙර ලෙසම ඔබ සමග කතා කරාවි. ඔබ බලාපොරොත්තු වූ ලෙසට ඔබගේ ඇඟට කඩන් පැන සැර පරුෂ විදිහට නොබණීවි. රණ්ඩු නොකරාවි. පෙර මෙන් කාලය අවධානය ඉල්ලා දබර නොකරාවි. ඔබ කුමක් පැවසුවත් ඇගේ හදවත නොසැලේවි. ඇගේ හදවතින් ඔබ ඔබවම මරා දැමූ පසුත් ඇය ඔබගේ අනාගතයට සුබ පතාවි. බොළඳ විදිහට ඔබ ඉදිරියේ ඇස් වලට කඳුළු පුරෝගෙන පුංචි දේටත් එල්ලීගෙන නොඒවි. ඇත්තටම ඇය ඔබට වෛර නොකරාවි. එහෙත් යළි කිසිදු දිනයක ඇය ඔබට ප්‍රේම නොකරාවි. ගොඩක් පිරිමි අත්හැරගන්න ඇති ජීවිතේ කොතන හරි අන්න එහෙම බැඳීමක්. ඔබේ හදවතේ අයිතීන් ඉල්ලා හඬා වැටෙන හදවතක් ජීවිතයේ කෙදිනක හෝ මගහැරුනා විය හැකියි. ඇත්තටම පිරිමින්ට අත්හැරුණෙ ගැහැනියක් දරාගෙන නිහඬ වුණ තැන.

 

■ චමෝදි පෙරේරා
Leave A Reply

Your email address will not be published.