ජයලාල් රෝහණගෙන් ඔබ්බට විවේචනය!

පසුගිය දා සිදුවුන ජයලාල් රෝහණගේ මරණයත් සමගය මම ඔහුගේ සේවය ගැන යම් ඇගයීමකට ලක් කර ලියපු සටහනට, ජයලාල් පසුගාමි අදහස් සමාජගත කළා කියලා ඔහුව විවේචනය කරමින් පුද්ගලිකව සමහරු මට පණිවිඩ එවල තිබුණා, සමහරු ප්‍රසිද්ධියේත් ජයලාල් සම්බන්ධ ඒ කාරණයට අප්‍රසාදය සහ විවේචනය පලකරලා තිබුණා. තවත් සමහරු ඔහු කල්ලි හදාගෙන වෙන ගමනක් ගිය කෙනෙක් කියලා මට විවේචන එවලා තිබුණා. මගේ සටහන මම ලියුවේත් ජයලාල් ගැන ඇති ඒ බොහෝ විවේචන නොදැනුවත්වම නෙමෙයි. කොහොමහරි, එක පැත්තකින් අපි ජයලාගේ සේවය අගය කරනකොට අනිත් පැත්තෙන් ඔහුගෙන්ම ඔහු කළ සේවයටම පටහැනිව සමාජ අපගමනයට දේවල් සිද්ධවෙලා තියෙනවා කියන එකයි මෙයින් අදහස් කරන්නේ. නමුත් ජයලාට ආපු ඒ විවේචන නිමිත්තක් කරගෙන අපි කෙනෙක්ගේ සේවය අද වර්තමාන සමාජයේදී ඇගයීමේදී මුහුණ දෙන සංකීර්ණතා කීපයක් ගැන කලක ඉඳන් මම සිතාගෙන හිටිය යමක් මට ලියන්න හිතුනා. යමු පොඩ්ඩක් ජයලාල්ගෙන් ඔබ්බට!
මුලින්ම, අඩු වැඩි වශයෙන් අපි හැමෝම අද දවසේ ඉන්නා අමිහිරි සමාජ යථාර්ථයක් පිළිගන්න සිද්ධ වෙනවා. අද වෙනකොට, රස්සාවක්, උසස්වීමක්, ළමයා ඉස්කෝලෙකට දමා ගැනීමක් ආදී අවශ්‍යතා වල ඉඳන් විවිධාකාර අනුග්‍රහයක් සහ උවමනා එපාකම් කරගැනීම දක්වා මිනිසුන්ට සිද්ධවෙලා තියෙන්නේ දූෂිත සහ අසාධාරණ ක්‍රම හරහා පවතින්න. විශේෂයෙන් කලා සංස්කෘතික ක්‍රියාකාරකම් ගත්තොත් ඒවා අති විශාල ප්‍රමාණයෙන් සහයෝගය ලබමින් රඳා පවතින්නේ අනුග්‍රහක වෙළඳපොල මතයි. ඒ අනුග්‍රහක වෙළඳපොලේ ද බහුතරය පවතින්නේ සම්මාන උළෙලවල් වල සිට ආයතනික පාලනය දක්වා රජයේ පාර්ශවය මතයි. එතකොට, සාමාන්‍යයෙන් ඒවාගෙන් සහයෝගය ලැබෙන්නේ පුද්ගල සම්බන්ධතා හරහා බවත් ඒවායේ ඉන්නා නිලධාරිතන්ත්‍රයට මානසික සහ භෞතික අල්ලස් කප්පම් දෙන්නැත්තං අවම වශයෙන් අමනාප කරගන්නැතුව තබාගතයුතු බවත් අපි කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක්. බොහෝ රජයේ ආයතනවල ලොක්කන් යටතේ වැඩ කරන අය ඔවුන් කරන සියලුම අගතිගාමී පාලක ගැති වැඩ වලට සහයෝගය දී හෝ අවම වශයෙන් විරුද්ධ නොවී, නිහඬව එකගවී එම ස්ථානවල සිටි යුතු බවත් අපි හොඳින් දන්නවා. මේක තමයි අපිට වළක්වන්නට බැරි පොදු යථාර්ථය කියලා ඔබ පිළිගන්නවා නම් එයින් කියන්නේ අපි සියළුම දෙනා අඩු වැඩි වශයෙන් ජීවත් වෙන්නේ අපේ අතිශය පුද්ගලික පැවැත්ම උදෙසා අපි වෙනස් කරන්ඩ හදන සමාජයටම එරෙහි තත්ත්වය ශක්තිමත් කිරීමට සහයෝගය දීලයි.
ඒ වගේම, මේ වෙනකොට තියෙන්නේ, සාමූහික විශ්වාසය බිඳ වැටුණු පොදු දියුණුව අත්පත් කරගැනීමට සමත් දේශපාලන අර්ථ ක්‍රමයක් ද මුණනොගැසුණු විශ්වයක තම පුද්ගලික පැවැත්ම උදෙසා තනි පුද්ගල සටන් බව අපි දන්නවා. ඒ ඒ පුද්ගල කොටස් තමන් වැඩ කරන හෝ හදාගත් අවකාශයක් තුළ අනුගාමිකයින් හෝ පාරිභෝගිකයින් ගොඩනගා ගනිමින් සාමූහික යථාර්ථය හරහා පොදු දියුණුව බෙදාගන්නවාට වඩා පුද්ගලිකව තම ස්ථානය, බලය හෝ වෙළෙඳපොළ ගොඩනඟා ගැනීමේ අරගලයක ඉන්න බව අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඒ ඒ ව්‍යාපෘති විසින් තමන්ට උදව් කරන අය හොඳ මිනිසුන් විදියට ද උදව් නොකරන අය නරක මිනිසුන් විදියට ද හඳුන්වලා දෙනවා.ඒ අරගලයේ දී තමන්ට අභියෝග වන සහ විරුද්ධ වන පුද්ගල කොටස් ( අනෙකා) විනාශ වී යාම එතරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම විනාශ නොකර පුද්ගලික අභිමතාර්ථ අත්පත් කරගන්න බැරි තරමට ක්‍රමය දැන් දරුණු අතට හැරිලා තියෙන්නෙ.ඒ නිසා මේ වෙනකොට මේ සමාජය නැත්නම් නිශ්චිත ක්ෂේත්‍රයක් විනාශ කරන සහ ගොඩනඟන නමින් පුද්ගලයින් දෙන්නෙක් නැහැ. සාමාන්‍යයෙන් ඒ දෙකම සිද්ධවෙන්නේ එකම පුද්ගලයාගෙන්. මේක වඩාත් හොඳින් පැහැදිලි කරන ගීතයක් තියෙනවා නිහාල් නෙල්සන්ගෙ මෙන්න මෙහෙම.
ගමේ ළමා සමාජෙන් හරබර තොරණක් හැදුවා
ඒ තොරණ හදන්නට ගඟබඩ පුවක් ගහක් ඉතුරු නොකර කපා ගෙන ආවා.
බුද්ධාලම්භන ප්‍රීතිය නිෂ්පාදනය කරන ඒ මහා තොරණ ගොඩනැගෙනන්නේ බුදු දහමින් එපා කියන ගම වනසන හිංසාවේම ප්‍රතිඵලයක් විදිහටයි. ඒක අතිශයින්ම පුද්ගල කේන්ද්‍රීය ව්‍යාපෘතියක්.
මේ පුද්ගල කේන්ද්‍රීය ව්‍යාපෘතියට සමාජය හෝ අනෙකා කියන්නේ තම උවමනාවට භාවිතයට ගන්න තියන දෙයක් මිසක් ගොඩනඟන්න තියෙන දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් සාමූහික දියුණුව අත්හැර දැමූ පුද්ගල කේන්ද්‍රීය අරගලවල ස්වභාවය මේකයි. තමාව ගොඩනඟන්න සිද්ධවෙන්නේ අනෙකාව හෙවත් සමාජය විනාශ කරලා යි. මෙතැනදී කිසියම් පුද්ගල ව්‍යාපෘතියකට සහයෝගය දෙන පිරිසටද සාමාන්‍යයෙන් එහෙම පොදු යථාර්ථය ජයගැනීමේ ප්‍රතිපත්තියක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ තමන්ගේ අතිශය පුද්ගලික වාසියට වඩාත් සහයෝගය දෙන පුද්ගල පාර්ශවයට සහයෝගය දීමයි. ඒ පුද්ගලයා කරන්නේ හරිද වැරදිද කියන කාරණය ඔවුන්ට එතරම් ප්‍රශ්නයක් නෙමෙයි.අවම වශයෙන් තමන් සහයෝගය දෙන පුද්ගලයා වැරදි කරන කොට ඔවුන් විවේචනය නොකර නිහඬ වන අතර එතකොට ඔහුව හෝ ඇයව විවේචනය කරන්නේ ඔවුන්ව තමන්ට අභියෝගයක් හෝ බාධාවක් වූ පුද්ගල පාර්ශවය විසින්. සාමාන්‍යයෙන් කලා, සංස්කෘතික, දේශපාලන සහ විද්වත් අවකාශවල ඉදන් තොරණ සහ දන්සැල් ආදිය දක්වා ව්‍යාපෘති වල සාමාන්‍ය ස්වභාවය ඕකයි. නමුත් එයින් අදහස් කරන්නේ නෑ අවශ්‍යයෙන්ම පුද්ගල කේන්ද්‍රිය ව්‍යාපෘති වැරදි බව හෝ අවශ්‍ය නම් කෙනෙකුට තම පුද්ගල කේන්ද්‍රිය ව්‍යාපෘතිය වඩා සාධාරණ ලෙස මෙහෙයවීමට උත්සාහ කරන්න බැරි බවක්. නමුත් මම ඉහතින් පෙන්වූ අමිහිරි සමාජ යථාර්ථය තුළ කෙනෙකුට ඒක කොයිතරම් දුරට ජයගන්න පුළුවන්ද? පසුගිය කාලයේ බැලුවොත් ධනවතුන්, විද්වතුන් සහ කලාකරුවන් ආදී ලෙස පුද්ගලයින් මතුවුණ තරම්ම වේගයෙන් ඒ ඒ ක්ෂේත්‍ර වල සමාජය සහ සංස්කෘතිය පිරිහීමට ලක්වීම සලකා බලන්න.
ජයලාල් ද වැඩ කළේ අන්න ඒ සියළුම දෙනාට වගේ පොදු සමාජ යථාර්ථය තුළයි. ඔහුගෙන්ද ක්ෂේත්‍රයට යම් සේවයක් සිද්ධ වුණේ ඒ සියලුම තත්ත්වයන්ට යටත්වයි.බොහෝ විට මේ යථාර්ථය තුළ කෙනෙක්ගෙන් එවැනි අගතිගාමී ලක්ෂණ පෙනෙන්නෙත් තව කෙනෙකුගෙන් නොපෙනෙන්නෙත් නොපෙනෙන කෙනාට ඒවා කෙසේ හෝ සඟවා ගැනීමට, ඊට එරෙහිව හඩ නැගීමට ඇති අවකාශය පාලනයට හෝ මර්දනය කර ගැනීමට ඇති හැකියාව නිසා මිසක් මේ යථාර්ථයෙන් නිදහස් වීම නිසා නෙමෙයි.නමුත් අපි සාමාන්‍යන් ප්‍රශ්න කරන්නේ පහසුවෙන් ඇහැට පෙනෙන සිද්ධියයි.එසේ ප්‍රශ්න කිරීම වරදක් නැතත් එහෙයින් ම සමාජයේ හොඳ ළමයි සහ නරක ළමයි වෙන් කිරීමට අපහසු බව අපි තේරුම් ගත යුතුයි.

සමහරුන් විවේචනය කරපු ජයලාල් පසුකාලීනව දැරූ අතිශය වර්ගවාදී, ලිංගවාදී, ස්ත්‍රීවිරෝධී අදහස් මම ඔහු සමග වැඩ කරන කාලයේ ඔහු දැරූ බවක් දකින්නට ලැබුනේ නෑ. ඒ විතරක් නෙමෙයි අද ඔහු ඒ පෙනී සිටි අගතිය විවේචනය කරපු නිර්මාණවල පවා ඔහු එදා රඟපාමින් ඒ අගතිය පිළිබඳ යම් විවේචනාත්මක දැක්මක හිටියා. මෙතැනදී ජයලාල්ට සිදුවුන දේ ද අපේ රටේ තවත් අයට සිදු වුණු මේ යුගයේ එක්තරා ප්‍රවණතාවයක්. ජයලාල්ගේ රචනා, අදහස් ආදිය දෙස බලනකොට පෙනෙන්නේ ඔහුගේ පසුකාලින නාට්‍ය කලාව ද ඇතුළු කලාව සහ සමාජ අධ්‍යයනයන් පිළිබඳව දැනුම අවබෝධය අප්ඩේට් වුණේ (සමකාලීන වී ) නැති බවයි. ප්‍රතිඵලයක් විදිහට ජයලාල් පසු නූතන අදහස් දරු පුද්ගලයින් එක්කළා යම් ගැටුමක් ඇති කරගත්තා. බොහෝ විට ඔහුගේ පුද්ගලික පැවැත්මමට වඩා ම අභියෝගයක් වන අනෙකා බවට පත් වුණේ පසු නූතන අදහස් දරූ රැඩිකල් පර්යේෂණාත්මක පිරිස්. අන්න ඒ අනෙකාට ප්‍රතිචාර දැක්වීමට ඉහත බොහෝ අය ජයලාල් සම්බන්ධයෙන් විවේචනය කළ මේ කාලයේ රාජ්‍ය මතවාදය හා ආපු ජනප්‍රිය අගතිගාමී මාධ්‍ය භාවිතය ඇතුළු ඒ කඳවුරේ සහයෝගය ගන්න ජයලාල්ට සිද්ධවුණා .
පසුකාලිනව ජයලාල්ගේ දරුණු විවේචන සහ පහරදීමට ලක්වුණු පුද්ගලයින් අතර මම ද හිටියා. නමුත් ජයාලාල් ගේ සේවය සහ හැකියාව ඊට නියමිත ස්ථානයේ තබා කතාකිරීමේ දි මම එය කතාකරනේ විෂයක් විදිහටයි. ජයලාල් මට කියන කරන කිසිවක් මම ඊට සම්බන්ධ කර ගන්නේ නැහැ,
ඒ නිසා, මේ සංකීර්ණ සමාජ සන්දර්භය තුළ අපිට කළ හැකි දෙය නම් එකම පුද්ගලයා තුළින් අගතිය සහ ප්‍රගතිය දෙකම සිදු වන විට ඒ යථාර්ථය, ඒ දෙකම ඔහුගෙන් හෝ ඇයගෙන් සිදුවන බව නොවලහා පිළිගැනීමත් එකකින් අනික යට නොගසා හැකිතරම් ඒවා ඇති සැටියෙන් දැකීමට උත්සාහ කිරීමයි.
-ධනංජය කරුණාරත්න

Leave A Reply

Your email address will not be published.