මෙදවස දිවිය විනිවිද පෙනෙන “ජීවන සුසුම”

මිනිස් ජීවිතයේ සංස්කෘතික කලාපය දැන් වියසිදුරක් තරමටම කුඩා වී හමාරය. වියසිදුර ගැන කතා කරන විට සඳ ගැනද කතා නොකරම බැරිය. සඳ මිනිස් ජීවිතයට සමාන කළ හැකිය. එසේ නම් නව ලිබරල් ධනවාදී ආර්ථික දේශපාලන ප්‍රවාහයේ ඇදගෙන යන මිනිසාට “ජීවිතය හමුවීම” කන කැස්බෑවා වියසිදුරෙන් සඳ බැලීම තරමටම වී අවසන්ය.

මේ තත්ත්වය “ලංකා” අපගේ ජීවිතවලද බොහෝ විට පොදු තත්ත්වය වේ. නව ලිබරල් ධනවාදී ප්‍රවාහයේ පොරබදන්නන් නොවූවද ජීවිතයේ සංස්කෘතික කලාපය සැලකියයුතු මට්ටමකින් හීන වී තිබීම යථාර්ථයයි. බුද්ධදාස ගලප්පත්තිගේ නවතම කෙටි කතා සංග්‍රහය වන “ජීවන සුසුම” කෘතිය අප අතට පත්වී සැලකිය යුතු තරම් දින සති ගෙවී ගොස් තිබිණි. එය කියවීමට බලෙන් කාලය වෙන්කර ගන්නේ බස් එකේ යනෙන අතරතුරදීය.
නවලිබරල් ආර්ථික ප්‍රවාහයේ මාරාන්තික ප්‍රහාරයක් එල්ල වී තිබුණු සාහිත්‍ය අංශ දෙකකි. එකක් කවියයි. අනෙක කෙටි කතාවයි. කවිය සැලකිය යුතු තරමකින් එම තත්ත්වයට අභියෝගකාරීව ගමන් අරඹා තිබේ. කෙටි කථාව ඒ අතින් තවමත් සිටින්නේ සැලකිය යුතු තරම් පිටුපසින්ය. බුද්ධදාස ගලප්පත්ති වැන්නන් මේ පොරබදන්නේ එවැනි පසුබිමකය. එහිදී විශේෂයෙන්ම ප්‍රකාශකයන් පිළිබඳවද නොකියාම බැරිය.
කෙටි කථාවලට පවතින අංශු මාත්‍ර වෙළඳපොළ පිළිබඳව මනා අවබෝධයක් සහිතව සරසවි ප්‍රකාශන අධිපති එච්.ඩී. ප්‍රේමසිරි මහතා කෘතිය ප්‍රකාශනයට බාරගෙන තිබීම පැසසිය යුතු දෙයකි. බුද්ධදාස ගලප්පත්ති රසික සමාජය වැඩියෙන්ම හඳුනාගෙන තිබෙන්නේ කෙටි කතා ක්ෂේත්‍රයෙන් නොවේ. කවියෙක්, ගීත රචකයෙක් සහ පුවත්පත් තීරුලිපි රචකයෙක් ලෙසය. එහෙත් ඔහුගේ පස්වෙනි කෙටිකතා සංග්‍රහය “ජීවන සුසුම”යි. ඊට අමතරව “සරන කළ සොඳුරු මේ වන පෙත” නවකතාවද ප්‍රකාශයට පත්කර තිබේ.

කලා සාහිත්‍ය ක්ෂේත්‍රයේ කුමන ධාරාවක සැරි සැරුවද බුද්ධදාස ගලප්පත්තිට අනන්‍යවූ පදනමක් ඇත. පසු කවරයට සටහනක් එක් කරන ප්‍රසන්න විතානගේ ඒ බව කදිමට සංක්ෂිප්ත කර තිබේ. “අප රටේ ප්‍රථම තරුණ කැරැල්ල 1971 දී පරාජය වුවද බුද්ධි ඇතුළු තරුණ කවි කිවිඳියන් එම කැරැල්ලට පාදක වූ සමාජ අසාධාරණත්වය හෙළි කරමින් නැගූ හඬ ඔවුන්ගේ නිදහස් පදවැල්වලින් මතු වූ මිනිස්කම සහ ආදරයේ පණිවුඩය අපට මහත් ආශ්වාදයක් විය.”

‘ජීවන සුසුම’ කෙටිකතා සංග්‍රහය පුරාම තිබෙන්නේ ප්‍රසන්න විතානගේ දක්වන මෙම ප්‍රස්තුතයමය. කෙටිකතා නවයක් අඩංගු මෙහි කෘතියේ නමින් කෙටිකතාවක් නොවීමද විශේෂතාවයකි. සාමාන්‍යයෙන් කවි පොතක් හෝ කෙටිකතා පොතක් නම් කෙරෙන්නේ ඒ තුළ අන්තර්ගත කවියක හෝ කෙටිකතාවක නමින්ය. එම සාමාන්‍ය තත්ත්වය ඉක්මවා ගොස් කෙටිකතා නවයේම සමුදය අධ්‍යාත්මය මතු කෙරෙමින් කෘතියට නම තබා තිබීම අපූරු ගුණයකින් යුක්තය.

වර්තමාන සමාජයේ මිනිසුන් ජීවිතය විඳිනවා නොව කෙතරම් නම් විඳව විඳවා සිටින්නේද? විශේෂයෙන්ම කුටුම්භය තුළ ඉතාම සීමිත සාමාජික සාමාජිකාවන් කෙරෙහි පවතින්නේ කෙතරම් ප්‍රතිවිරෝධී භාවයක්ද? ඒකාත්මිකතාවන් ඇත්තේම නැති ගානය. නිදහස ලබා දශක හතක් පසුකර තිබුණද මිනිසුන් ආර්ථික වශයෙන් සිටින්නේ කෙතරම් ඛේදනීය තැනකද. ඒ නිසාම අතුරු පලවිපාක කෙතරම් කුරිරුද? “ඌ මගේ පුතා මහත්තයෝ” යනුවෙන් නම් කර තිබෙන කෙටි කතාවෙන් කියවෙන්නේ මේ ඛේදවාචකයේ පැති මානයකි.

මෑත කාලයේ බලය ලබාගැනීම සහ එය පවත්වා ගෙනයාමට යොදාගත් ප්‍රධානම ප්‍රචාරක පාඨයක් වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමය. එය අද නොවේ බාලගිරි දෝෂයක් වී තිබේ. විශේෂයෙන්ම පත්තරවල ලීඩ් නිව්ස්වල පවා “කුඩ්ඩා” යනුවෙන් නම් කර විකිණීමට විශාල අවකාශයක් විවරකර දී තිබේ. හෙරොයින් ඇතුළු දරුණු මත්ද්‍රව්‍ය නිසා පවුල් සංස්ථාව පෙළෙන වේදනාකාරී අන්තය කෙසේ නම් වචනවලට නඟන්නද? තම පුතුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිදුකරන විනාශයන් දරා ගැනීමට මාපියන්ට සිදුවී තිබේ. එවැනි මවක් කේන්ද්‍ර ගත කරගෙන වැඩිහිටි සහෝදරියක් සහ පවුලේ ජීවිකාව සරිකරන සහෝදරයෙකු මුහුණ දෙන අනේක වදවේදනා මෙම කෙටිකතාව තුළින් කියවේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තම පුතාගෙන් ලැබෙන තාඩන පීඩන දරාගන්න බැරිම තැන පොලිසියට පැමිණිලි කළද පොලිසියෙන් පුතු ගෙන ගිය පසු මවගේ සිතේ ඇතිවෙන දයාර්ද කම්පනය මෙයින් කියවේ. “අනේ බුදු මහත්තයෝ කෝ මගේ කොලුවා” යනුවෙන් ප්‍රශ්න කරමින් පොලිසියට කඩාවදින්නේ මව්වත් ගුණය නිසාය.

මෙම කෘතියේ එන “ආසාදිතයා” යන කතාවට විශේෂ අවධානයක් හිමිවේ. මන්ද ලෝක පරිමාණයෙන් පැතිරී යන වසංගතය ඔස්සේ මිනිසුන් ආසාධිතයෝ වී තිබෙන ආකාරය පිළිබඳ හරි හැටි සාකච්ඡාවක් ඇතිවී නැත. විශේෂයෙන්ම මානසික බිඳ වැටීම සුළුපටු නොවේ.

“ගැහෙන හදවතින් කුමක් කළ යුතුදැයි හිතාගත නොහැකිව ගුණරුවන් වේලාසනින්ම නින්දට ගියේය. නින්ද ඔහු අසලකටවත් එන්නේ නැත. බියකරු සිහින භූත සිතුවිලි ඔහු සිත වසා ගනී. සිංහබාහු නාටකයේ සිංහබාහු පුතුගේ සිතුවිලි වැනිය. – වෙසෙන සඳ මේ පාළු ලෙන තුළ, නෙත් දිහා සිත පියඹා යයි – ගුණරුවන්ගේ සිතටද එසේමය.”

කොරෝනා වෛරසය ලෝකයේ පැතිරීයාමට පෙර ලෝකය වෙළාගත් වෛරසයක් තිබිණි. එය නව ලිබරල් ධනවාදී ආර්ථිකයබිඳ වැටීමයි. 2008 දී ඇමෙරිකාවෙන් එය ඇරඹිණි. විශේෂයෙන්ම සේවා ආර්ථිකය නැතිනම් ආර්ථික බුබුල පුපුරායාම ඇරඹිණ. විවිධ රිද්මයන්ගෙන් ලෝකය පුරා එය තරංග ඇති කරමින් දශක එක හමාරකට ආසන්න කාලයක් පවතී. සේවා ආර්ථිකය අප රටේද ප්‍රධාන ආර්ථික මූලය බවට පත්කරගෙන තිබිණ. එය විවිධ ආකාරයෙන් අර්බුදයට යමින් තිබිණ. එකෙකු මරාගෙන තවකෙකු ඉදිරියට ඒම මේ ආර්ථිකයේ පදනමය. කොරෝනා වසංගතය විසින් මේ පදනම වඩාත් පාදඩකරණය කරමින් තිබේ. පෙරදීත් තිබුනේ පාදඩ කරණය වුවද, එය දැන් වඩාත් නග්න බවට පත්කර තිබේ. බුද්ධදාස ගලප්පත්තිගේ “සැලොන් ස්ටෙලා” කතාවට පදනම් වන්නේ මෙම යථාර්ථයයි.

ස්ටෙලා කුලතුංග සේවා ආර්ථිකයේ ජනප්‍රිය සහ වඩාත් වාසිදායක මෙන්ම මිනිසාගේ සංස්කෘතික ජීවිතයේ පදාසයක් ආවරණය කිරීමේ කලාපයේ ව්‍යාපාරිකාවකි. මෙම ක්ෂේත්‍රයේ නැඟීම, ජනප්‍රිය ටෙලි නාට්‍ය කලාව හරහාද ගමන් කරමින් සිටින්නියක්ය. ඇය කෙසේ වුවද ඒ ඇය යන්නේ කොයි මොහොතේ හෝ බිඳීයාම ආත්මය කොටගත් බුබුලේමය. ස්ටෙලාගේ ව්‍යාපාරික දිගුව “සැලෝන්” දක්වා පැමිණේ.
“ආසාධිතයා” කෙටිකතාවෙන් නිරූපණය වී තිබෙන්නේ කොරෝනා වෛරස මිනිසෙකුට සිදුකරණ බලපෑමය. “ස්ටෙලා සැලෝන්” ප්‍රස්තුතය වන්නේ ව්‍යාපාර කෙරෙහි වෛරසයේ බලපෑමය. එහෙත් නැවත හොඳින් තේරුම්ගත යුත්තේ මේ ක්‍රමය තුළ වඩාත් පාදඩවීම නව ලිබරල් යන්ත්‍රණයම බවය. එය වඩාත් නග්න කිරීම පමණක් වෛරසයෙන් සිදුවිය.

නව ව්‍යාපාරික ක්ෂේත්‍රයකට අත තැබුවද එය ඉතා ඉක්මනින් පුපුරා යයි. සැලෝන් ව්‍යාපාරික ක්ෂේත්‍රය කෙළවර වන්නේ ගණිකා මඩමක් බවට පත් කෙරෙමින්ය. එහෙත් ඒ ඇයගේ අභිලාශය නොවේ. ස්ටෙලා කුලතුංගව ගිලගන්නා අනිකාගේය. අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවීම දක්වා ඛේදනීය අන්තයකට ගමන් කරයි. මිනිස් සංස්කෘතික කලාපයේ ව්‍යාපාර යම්කිසි සංකේත ප්‍රාග්ධනයක් ජනිත කරන්නාසේම එම සංකේත ප්‍රාග්ධනය ශුද්ධ වූ සේ ආරක්ෂා කර ගැනීමට නම් දිවිය අත්හැරිය යුතුව තිබේ. එම යථාර්ථය ස්ටෙලාගේ සියදිවි නසා ගැනීම තුළින් විදාරණය කර තිබේ.

කෘතියේ ඇතුළත් ‘පැමිණිල්ල’, ‘මංජුලා හෙවත් සුද්දිගේ කතාව’, ‘එක්තරා දවසක එක්තරා හවසක’, ‘එය එසේ සිදුවිය’ සහ ‘නාඳුනන මල් නෙළන්නාගේ මරණය’ යන කෙටි කතා අයත්ය. මෙම කෙටි කතා අතර “මංජුලා හෙවත් සුද්දිගෙ කතාව” පිළිබඳව බරපතළ විවේචනයක් තිබේ. එයට නියමිත වී තිබෙන්නේ බන්ධනාගාර ගත කර සිට නිදහස් වී යන ශරීරය විකුණන්නියකය. ඇයගේ කතාව ගොඩනඟා තිබෙන ආකෘතිය වන්නේ නිදහස් වී යන ඇය පිළිබඳව විශේෂාංගයක් ලියන පත්තරකාරයෙකු තුළින්ය. ඇත්තටම කෙටිකතාවද අද පත්තරකාරයන් ප්‍රබන්ධය කරන ශරීරය විකුණන්නියක් පිළිබඳ ලිපියකින් වෙනස් නොවේ.

එසේ කිරීම තුළින් බුද්දදාස ගලප්පත්ති උත්සාහ කළේ පත්තරකාරයන්ගේ තරම නිරාවරණය කිරීම නම් එය ඉතාම සාර්ථකවී ඇති බව පෙනේ. එහෙත් එය එසේ නොවී තරුණියන් බිලිගන්නා මෙම ආර්ථික දේශපාලනික ක්‍රමය හෙළිදරවු කිරීම මුඛ්‍ය අර්ථය වූයේ නම් එය සාධනය වී නැති බව කිවයුතුය. මෙහි අඩංගු “එක්තරා දවසක එක්තරා සවසක” යන කෙටිකතාව ඉතාම තාත්විකය. විශේෂයෙන්ම පත්තරකාරයන් සහ කලාකාරයන් බොහෝ විට සිදුකරන්නේ මේ ආකාරයේ භාවිතයන්ය. මානව සබඳතා රකින්නට යාම තුළ සිදුවන්නේ මේ සබඳතා දුරස්වී යාමය.
මේ දුරස්වීම මානව සමාජයම මුහුණ දෙන බියකරු ඛේදවාචකයක්ය. “නාඳුනන මල් නෙළන්නාගේ මළගම” තුළින් අවසන් කෙරෙන කෘතිය තුළ විශේෂයක් පවතී. කෘතියට නම තිබෙන්නේ “ජීවන සුසුම” යන්නය. වර්තමාන ලිබරල් ධනවාදී ආර්ථිකය තුළ දුරස්වී යන, බිඳී විසිරී යන මානව සබඳතා, බැඳීම් පිළිබඳ මූලික වගඋත්තරකරුවා කොරෝනා වසංගතය බව පෙන්වීමට දැඩි උත්සාහයක් තිබේ. ඇත්තටම එය එසේ නොවේ. නාඳුනන මල් නෙළන්නන් මිය යන්නේ ධනවාදී ආර්ථිකය විසින් නිර්මාණය කළ සමාජයේය.
-ප්‍රියදර්ශන දයාරත්න

Leave A Reply

Your email address will not be published.