අප්‍රේල් 21 ප්‍රහාරය – ජනපති (පළමු වගඋත්තරකරු) කොස් ඇට බා ගනියිද ?

මීට පෙර ද අපි මෙසේ පැවසීමු. අපට පූජිත් ජයසුන්දර හෝ හේමසිරි ප්‍රනාන්දු නිවැරදිකරුවන් කරන්නට අවශ්‍ය නැත. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් වන වගකීමෙන් ඔවුන්ට ගැලවිය නොහැකිය. ඔවුන් තමන් සතු බලය අයාලේ යවා තිබේ. දැන් අසරණ කතා කිව්වා කියා ඔවුන්ට අනේ පව් කියන්නට අප සූදානම් නැත.

හරියටම අගමැති රනිල් වික්‍රමසිංහ වගේ ය. ඔහු ද කියන්නේ මට ආරක්ෂක මණ්ඩලයට එන්න කිව්වේ නෑ කියා ය. ඒ නිසා මාව මේ වගකීමෙන් නිදහස් කරන ලෙස ඔහු කියයි. ඔහුට අගමැති පුටුව භාර දී ඇත්තේ නාහෙන් අඬන්නට නොව, ජනතාව වෙනුවෙන් තම වගකීම ඉටු කරන්නට ය. ඊට අදාළ බලය ඔහුට පවරා ඇත. ජනතාව වැරදිකරුවන් නොවේ.

ගැලවෙන්නට හදන මිනිසෙක්

දැන් මේ මතු වී ඇත්තේ වැඩ සිදු වන ක්‍රමවේදය පිළිබඳ බරපතළ ගැටළුවකි. ජනාධිපතිවරයාට අවශ්‍ය වී ඇත්තේ මේ අපරාධයේ වගකීමෙන් ගැලවෙන්නට ය. ඔහු ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදානම් ය. ඔහුගේ දේශපාලන අනාගතය මෙන්ම ඔහුට ගෙදර ගොස් නිදහසේ සිටින්නට හැකි වන්නේද, නැද්ද යන්න පවා තීරණය වන්නේ මේ වෙලාවේ ඔහු ගැලවුණොත් විතර ය. අපරාධයක් කර, තමන්ගේ බලය යොදවා එයින් ගැලවී, නිදහසේ සිටින්නට හදන මිනිහෙක් … ජනතාව විසින් ඔහුට ඒ බලය පවා පවරා ඇත. ජනාධිපතිවරයා මේ භාවිත කරමින් සිටින්නේ ඒ බලයයි. පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු පිටින් මේ අපරාධයේ වගකීම යවා අත පිසදාගැනීම ඔහුගේ අරමුණ විය. ඒ වෙනුවෙන් ඔහු සියල්ල කළේය. කරමින් සිටී. ඔහුට ගැලවෙන්නට වෙනත් විකල්පයක් නැති බව ඔහු දනී.

තානාපති අල්ලස්

අප්‍රේල් 23 වැනිදා ජනාධිපති කාර්යාලයේදී තමන්ට තානාපති අල්ලසක් දෙන්නට ජනාධිපතිවරයා උත්සාහ කළ බව පොලිස්පති පූජිත් ජයසුන්දර කිව්වේය. ඒ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමිනි. 21 ප්‍රහාරයේ සමස්ත වගකීම භාරගන්නේ නම් තමන්ට අවශ්‍ය රටක තානාපති ධුරයක් ලබාදිය හැකි බව ජනාධිපතිවරයා පැවසූ බව ඔහු යළි -යළිත් කිව්වේය. ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඊට උත්තරයක් දුන්නේ නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාලයේදී කටුනායක ආයෝජන කලාපයේ පැවැති පෞද්ගලික විශ්‍රාම වැටුප් පනතට එරෙහි උද්ඝෝෂණයේදී ආරක්ෂක අංශ මගින් වෙඩි තබා ඝාතනය කළ රොෂේන් චානක සිද්ධියේ අණදුන් පුද්ගලයන් සඟවන්නට කළේද මෙයයි. සිදුවීමේ වගකීම භාරගෙන ඉල්ලා අස්වූ එවකට පොලිස්පතිවරයා වූ මහින්ද බාලසූරියට බ්‍රසීලයේ තානාපති ධුරය පිරිනැමිණි.

පාර්ලිමේන්තුව දිනුම්

ඒ වෙනුවට ජනාධිපතිවරයා කරන්නට හැදුවේ ආරක්ෂක අංශ නිලධාරීන් මේ තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් කිරීමෙන් රටේ සංවේදී ආරක්ෂක කරුණු අනාවරණය වන බව කියමින් එය වැළැක්වීමයි. ජනාධිපතිවරයා කෙලින්ම රටේ ගැලවුම්කරුවා තමන් බවත්, මේ කරන්නේ ආරක්ෂාව දියාරු කිරීම බවත් ජනතාව ඉදිරියේ කිව්වේ තමන් සීතාම්බර පට සළුව ඇඳගෙන නිරුවතින් සිටින බව අමතක වීය. නොඑසේ නම් කරන්නට දෙයක් නැති තැන කොහොම හරි බේරෙන්නට ය. එහෙත් ඊට හැරෙන තැපෑලෙන් පිළිතුරක් දුන් කතානායක කරු ජයසූරිය කිව්වේ එසේ කළ නොහැකි බවත් සියලූ රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තුවේ කැඳවීමකට යටත් විය යුතු බවත් ය. පාර්ලිමේන්තුව දිනුවේය. ජනාධිපතිවරයා පැරදිණි.

අසරණ ලේකම්

මේ වගේම හේමසිරි ප්‍රනාන්දු ද ජනාධිපතිවරයාව හිර කළේය. ඔහු කිව්වේ තමන්ට ජනාධිපතිවරයාගෙන් වේලාවක් වෙන් කර ගැනීම පවා ඉතා අසීරු කරුණක් වූ බවයි. තමන් අසරණ ලේකම්වරයෙක් බවත්, ජනාධිපතිවරයා තමන්ට නොසැලකූ බවත් ඔහු යළි -යළිත් කිව්වේය. පහළ ආරක්ෂක නිලධාරීන්ට පවා ජනාධිපතිවරයා සමග සෘජු සම්බන්ධකම් පැවැත්වීමට අවස්ථාව ලබා දී තිබූ බවත්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස තමන්ට ඒ අවස්ථාව අහිමි කර තිබූ බවත් ඔහු පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාව හමුවේ කිව්වේය. කොටින්ම රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධනට ලබා දී තිබූ අවස්ථා තමන්ට නොතිබූ බවද ඔහුගෙන් අවධාරණය කෙරි‚. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ අතේ හැඳි කිහිපයකි.

සිහියෙන් සිටි නීතිපති

මේ සියල්ලෙන් පසුව පූජිත් ජයසුන්දරට සහ හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය. ඒ අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම නිසා ය. වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් උපදෙස් නිකුත් කෙරි‚. සාමාන්‍ය නඩු ගොනු වසර ගණන් නීතිපති දෙපාර්තමේන්තුවේ පුස් කද්දී, කෙටිකතාවක් ලිව්වා කියා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ අත්අඩංගුවේ තබාගෙන සිටින ශක්තික සත්කුමාරගේ නඩුගොනුව තවමත් අධ්‍යයනය කරන්නට නොහැකි වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් කුරුණෑගල මහාධිකරණයට දැනුම් දෙද්දී, රත්නපුරය නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමි‚ තහනම් ත්‍රස්ත සංවිධානවල සාමාජිකයන් ලෙස හඳුන්වමින් අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනාට අදාළ නීති උපදෙස් ලබාදීම මාසයක් ප්‍රමාද කරමින් සිටි නීතිපති දෙපාර්තමේන්තුවම ය, මේ.

පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන සැකකරුවන් ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දී දින හතරකින් යළිත් සිහි කැඳවීමේ ලිපියක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරි‚. ඒ ද වැඩ බලන පොලිස්පතිවරයාට ය. එය තර්ජනයකි. වහාම තමන් කී වැඩේ කරන ලෙස එයින් කියැවිණි. නීතිපති දෙපාර්තමේන්තුවේ තර්ජනය වැඩ කළේය.

පූජිත්-හේමසිරි අත්අඩංගුවට

පූජිත් සහ හේමසිරි අත්අඩංගුවට ගැනි‚. ඒ ඔවුන් දෙදෙනා රෝහල්ගතව සිටියදී ය. හේමසිරි ප්‍රනාන්දු හෘද රෝගී තත්ත්වයක් නිසා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශයට ඇතුළත්ව සිටියේය. පූජිත් ජයසුන්දර නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියේය. කොහොමත් මේ ජාතියේ අත්අඩංගුවට ගැනීම් වලින් පසු ඔවුන් යන්නේ බන්ධනාගාරයේ සිර මැදිරියට නොවන බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පෙර ම බන්ධනාගාර රෝහලේ ඇඳක් වෙන් වන බවත් ජනතාව දනී. එම නිසා මේ රෝහල්ගත වීම් ගැන පළ කර තිබූ ෆෙස්බුක් කමෙන්ටුවක සඳහන් වූයේ ‘අපි දැනගෙන හිටියා, වැඩේ වරදින කොට ලෙඩ වෙන බව’ යනුවෙනි. ඒ නීතිය තමන්ට සමාන වුවද, සමහරුන්ට වැඩියෙන් සමාන බව ජනතාව තේරුම් ගෙන ඇති ආකාරයයි. කෙසේ හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩ බලන පොලිස්පතිවරයාගේ පාර්ශ්වයෙන් ලැබුණු උපදසේ මත මේ අත්අඩංගුවට ගැනීම් සිදු කෙරිණි.

මනුෂ්‍ය ඝාතන චෝදනාවට ඇප

පසුගිය 09 දා පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදා හැරි‚. ඒ නියෝගය ලබාදුන්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නයි. මනුෂ්‍ය ඝාතනවලට අදාළ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් දෙදෙනකුට ශරීර ඇප… එහෙත් මේ අවස්ථාවේදී එය නීතිය සමහරුන්ට වැඩියෙන් සමානයි කියන තැන සිට බැලිය නොහැකිය. ඊට හේතු තිබේ.

සහතික දීම සහ නොදීම

කිසිවකුට සහතික ලබාදීම මේ කාලයේ කළ නොහැක්කකි. සියල්ල සාපේක්ෂව බැලිය යුතුය. අද සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්නා හෙට එහි අනෙක් පැත්ත නියෝජනය කිරීම මේ කාලයේ සුලබ ය. කෙසේ වෙතත් ලංකා ජයරත්න විනිසුරුවරිය සාපේක්ෂව සාධාරණව කටයුතු කළ බවට මතයක් සමාජයේ තිබේ. විශේෂයෙන්ම කොළඹ නගරය ආශ්‍රිතව පදිංචිව සිටි තරුණයන් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා නාවික හමුදා සාමාජිකයන් පිරිසක් විසින් පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධ නඩුවේදී ඇය හැකි තරම් විනිවිදභාවයෙන් කටයුතු කරනු දැකිය හැකි වූ බව නීතිවේදීන්ගේ අදහසයි. එහි ප්‍රධාන සැකකරුවකු වන හිටපු නාවික හමුදාපතිවරයාගේ පෞදිගලික සහකාරවරයා වූ ඩී.කේ.පී. දසනායක දිගින් දිගටම රෝගී තත්ත්වයක් පෙන්වමින්, ගිලන් රථ වලින් අධිකරණයට පැමිණෙමින් අධිකරණය හාස්‍යයට ලක්කරමින් සිටියේය. එහෙත් ඊට නීතියෙන් ඔහුට ප්‍රතිපාදන ලැබී තිබි‚. මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ අධිකරණයේදී ලංකා ජයරත්න විනිසුරුවරිය පවසා තිබුණේ අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කිරීමට සියල්ලන් කටයුතු කළ යුතු බවයි. ඒ කී ගරුත්වය විනිසුරුවරිය විසින් නැති කළාද…?

වෙනත් පාර්ශ්වයක මන දොළ

පූජිත්ට සහ හේමසිරිට අදාළ ඇප තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර ඔවුන්ට එරෙහි චෝදනා පිළිබඳ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න දීර්ඝ පැහැදිලි කිරීමක් කළාය. ‘පොලිසිය ඉල්ලා සිටින නිසා ම හෝ වෙනත් පාර්ශවයක මන දොළ සපුරාලීමට යමෙකු බන්ධනාගාරගත කළ නොහැකියි’ යනුවෙන් ඇය පැහැදිලි ප්‍රකාශයක් කළාය.
ඇය එහිදී ප්‍රකාශ කළේ, නීතිපතිවරයා විසින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය ප්‍රකාරව ගොනු කර ඇති මිනීමැරීමේ චෝදනා පදනම් විරහිත බවය. එසේම මේ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කරගැනීමෙන් පසු නොවන බවද මහේස්ත්‍රාත්වරිය පෙන්වා දී තිබි‚. එය නම් ජනතාවට අලූත් දෙයක් නොවේ. නීතිය තමන්ට සමාන බවත්, සමහරුන්ට වැඩියෙන් සමාන බවත් ඔවුහු දනිති. එහෙත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින්ම එවැනි ප්‍රකාශයක් සිදු කිරීම වැදගත් කරුණකි.

විමර්ශන නැති පරීක්ෂණ වාර්තාව

කිසිදු විධිමත් විමර්ශනයක් නොමැතිව, ජනාධිපතිවරයා විසින් පත්කරන ලද පරීක්ෂණ මණ්ඩලයක වාර්තාවක් පමණක් පදනම් කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවත්, එය නීතිමය වාර්තාවක් නොවන බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරිය අවධාරණය කර ඇත. නීතීඥවරුන් කෙස් පැළෙන තර්ක පවා ඉදිරිපත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පවා නීතිපතියේ හමස් පෙට්ටියේ ය. මෙය ජනාධිපති කොමිසමක් හෝ නොවේ. නිකම්ම පරීක්ෂණ මණ්ඩලයකි. ජනාධිපතිවරයා විසින් පසුගිය කාලයේ අමාත්‍යංශ ලේකම් තනතුරු ඇතුළු වරදාන-වරප්‍රසාද පවා ලබාදුන් පාර්ශ්ව විසින් තනි කැමැත්තට සකස් කරන ලද වාර්තාවකි. එය මෙතෙක් ප්‍රසිද්ධ කර නැත. එය සියලූ පාර්ශ්ව වල සාක්ෂි කැඳවීමක් සිදු කළේ නැත. එවැනි වාර්තාවක් මත මෙවැනි අත්අඩංගුවට ගැනීමක් වහාම සිදු කරන ලෙස පවසමින් සිහි කැඳවීම් පවා නිකුත් කරන්නට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කිරීම යනු…
බුද්ධි අංශ විසින් මෙහිදී සපයා ඇති තොරතුරු කිසිවක් නිශ්චිත තොරතුරු නොවන බවත්, එම තොරතුරු අනුව ක්‍රියාමාර්ග නොගැනීම නිසා හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු බවට ගොනු කර ඇති චෝදනා පදනම් විරහිත බවත් මහේස්ත්‍රාත්වරියගේ පාර්ශ්වයෙන් පැහැදිලි කෙරිණි.

නීතිපතිවරයාගේ කලබලය

ඒ කියන්නේ නීතිපතිවරයා අනවශ්‍ය කලබලයක සිටී. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් පූජිත් ජයසුන්දරට සහ හේමසිරි ප්‍රනාන්දුට ඇප ලබාදීමට ලබා දුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් ප්‍රතිශෝධන අයැදුම්පතක් දැනටමත් ඉදිරිපත් කර ඇත. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න එය තහවුරු කර සිටී. ඒ කියන්නේ නීතියෙන් ප්‍රතිපාදන ඇත. ඒවා ක්‍රියාත්මක කළ හැකිය. ගැටළුව ඇත්තේ සමහර නඩු වලදී පමණක් ඉතා කඩිනමින් මේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමත්, ඇතැම් නඩු වලදී ඒවා ගැන වගේ වගක් නොදන්නා ලෙස නීතිපතිවරයාගේ පාර්ශ්වය හැසිරීමත් ය.

ජනපතිගේ කබරගොයා

ජනාධිපතිවරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුව මගින් කොස් ඇට බෑවීම දිගින් දිගටම සිදුකරමින් සිටී. එහෙත් ජනාධිපතිවරයාගේ වැඩේ කෙරෙන පාටක් නැත. දැනට පෙනෙන්නේ එහෙමය. දේශපාලන බලය මත සියලූ තීන්දු තීරණ ගැනෙන වටපිටාවක මේවා ගැන සහසුද්දෙන් අනාවැකි කියන්නට නොහැක. එහෙත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ වගේ අවස්ථා වලදී තමන්ට අවශ්‍ය වැඩේ අධිකරණය මගින් පවා කරගත්තේය. එය වැළැක්වීමට පදනම වැටුණේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගිනි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තමන් බලය කැප කළ බව කිව්වේ මේ ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන අවස්ථාවේ ය. විහිළුව එයයි. කන්න ඕනෙ වුණහම කබරගොයත් තලගොයා වේ. මේ වෙලා තියෙන්නේත්, කරන්නට හදන්නේත් ඒක ය. දැන් කියන්නේ 19 වැනි සංශෝධනය නිසා මේ සියලූ ගැටළු ඇති වූ බවයි.

පළමු වගඋත්තරකරු

මෙහිදී පාර්ශ්ව දෙකක් පැහැදිලිව හඳුනාගත හැකිය. එක් පාර්ශ්වයක් සාධාරණත්වය වෙනුවෙන් අප්‍රේල් 21 ප්‍රහාරයේ පළමු වගඋත්තරකරු ලෙස ජනාධිපතිවරයා නම් කරයි. ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බල කරයි. අනෙක් පාර්ශ්වය දේශපාලන වාසියට ඒ වැඩේම කරයි. දෙපැත්තෙන්ම හිර වී ඇත්තේ ජනාධිපතිවරයා ය. නීතිපති දෙපාර්තමේන්තුවේ මේ ක්‍රියාවලිය, මරණ දඩුවම් ආදී විවිධාකාර බළල් අත් කරළියට ගේන්නේ මේ හිර වීමෙන් ගැලවෙන්නට ය. කොස් ඇට ටික බා ගන්නට ය.

ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

18 − eight =