ආයුබොවන්ඩ ගම්මන්,

ගිරහයා හොඳ වුණ කාලෙට දෙසාබාන ඕනම ටොං පචයක් වුණත් ටොපේ ටොප්පෙකට නැගල ගියාට නරක ගිරහයෙක් කඩාපාත් වෙච්ච වෙලාවට බාල්දි පිට බාල්දි පෙරෙළෙන්ඩ පටන් ගන්නවා නේද ගම්මන්? සිරිලංකාව කේතුමතී රාජ්ජයක් කොරන්ඩ නං ගෝඨා සිංහසානාරූඪ කොරමු කියාලා පූච්චානං දොඩපු වංගියේ ඔහේලගෙ කරට අත දාගෙන උන්නු ගිරහයා දැන් පැදුරටත් නොකියාම දිරාමාර් වෙච්ච විදිහක් තමා පේන්ඩ තියෙන්නේ. ගම්මන්-විමලෙ ඇතු`ඵ නඩේ පොහොට්ටු නැට්ටේ එල්ලීගෙන මෙපමණ කාලයක් පුරා දීපු ගිම්බර් ටෝක්ස් ඔක්කොම මේ දවස්වල සත දෙකේ බැලුම් බෝල තරංවත් ගාණකට නොගෙන බැසිල් පැට්ව් ටික එකතුවෙලා සෙල්ලමට වගේ පුම්බලා උඩ අරින හැටි දකිනකොටනං අනේ අනිච්චං කියල හිතෙනවා.
පොහොට්ටු ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යනකොට ඒකේ බෙරේක් එක පාගන්ඩ ඔහෙලා වගේ අමු හිංගල-බවුද්ද දේසපෙරේමි විරුවන් සැට්ටෙකක් කැබිනෙට්ටුවේ ඉන්ඩ ඕනය කියල බෙරිහන් දීපු හන්දනෙ ආයිබොවන්ඩ බුද්ද පුත්තරයන්ය කියන
උන්නාන්සේලා කාරිය පවා උගුරු ලේ වෙනකන් ජනතාවට අනුසාසනා කොරලා මුන්නැහැලව දියවන්නාවෙන් එගොඩ කොළේ. කොයි ඉතිං දැන් බටහිර ගැති දක්සිනාංසය පරද්දලා වමේ බලයක් ගොඩනගලා නැති බැරි එවුන්ව කිරිපැනියෙන් නාවන දේසීය ආර්තිකේ පණ ගැස්සුවද? ආණ්ඩුව දකුණට දක්කගෙන යනවාය කියන ජයසුන්දර නඩේ ආණ්ඩු මට්ටු කොරලා උන්දැලා අතේ තියෙනවාය කියාපු අර පලග් එකද මොකක්ද ගලවලා දැම්මද? ඒ හපන්කං කොයි හැටි වුණත් මේ වෙනකොටනං පෙහොට්ටු ආණ්ඩුවේ පිළිකන්නට වෙලා ඉන්ඩවත් බැරි තරමේ නරක දසාවක් ඔහෙලට උදා වෙලා තියෙන විත්තියනං හතර දිසාවටම පේනවා ගම්මන්… දෙන දෙයක් කාල-බීලා වෙන දෙයක් බලාගෙන අනංමනං වැඩ-කිඩ දාන්ඩ යන්නෙ නැතුව හිටපියව් කියල නේද දැන් පොහොට්ටු නාම්බෝ ටික එකතු වෙලා ඔහෙලට තගරි පාට් දාන්නේ? ඒ දවස්වල අපේ අත්තල-මුත්තලා කියාපු කිඹුලා කනවා උහුලන්ඩ ඇහැකිය ඒත් කොහිල කටු ඇනෙනකොටනං දරාගන්ඩ අමාරුය කියන මසුරං කියමන නිකංම මතක් වෙනවා ආයිබොවන්ඩ මුන්නැහැලට සිද්ද වෙලා තියෙන මේ වින්නැහිය ගැන කල්පනා කොරනකොට..

අපේ තෙල් ටැංකි ටික ආපහු පවරගත්තූ බවට පහුණු දවසක ගම්මන්ගේ අබිමානවත් පොරකාසනේ නිකුත් වෙනකොට ජාතියාලයෙන් කුල්මත් වෙලා ගිහින් අපේ මයිල් ගස් පවා ඉස්මයිල් වුණා රත්තරනේ. විස්සෙ සංසෝදනේදි බැසිල්ගෙන් ගේම
ඉල්ලපු අර ඩුවෙල් සිටිසන් පුරස්නෙනුයි හාබර්එකේ ජැටි කේස්සෙකුනුයි අන්තිමටම නෝන්ඩි වෙලා හතරගාතෙන් පතබෑවිලා ඉන්නකොට ඔහෙලා ගැන මෝදි උන්නැහැගෙ පපු කූඩුවේ පත්තුවුණු දයා කරුණාවක් හේතුවෙන් ගම්මන්ගේ අහිංසක ඉල්ලීම ඉස්ට කොරන්ඩ ඇතිය කියාලායි ඇත්තටම අපිත් මුලින්ම හිතුවෙ.
ඒත් ඉතිං කෙහෙල්ගහට කොටාපු බඩ පණ්ඩිත කොට්ටෝරු නාම්බාට සිද්ද වෙච්ච සංගෙඩියටත් වඩා දරුණු විපතක්නෙ අපෙ දෙයියෝ මුන්නැහැට සිද්ද වුණේ. ඉන්දියාවෙ කස්ටිය ඒකට පස්ස පැත්තෙන් හිනාවෙලා හැරෙන තැපෑලෙන් දීපු රිප්ලයියෙක පැත්තකින් තියමුකෝ. ගැටඹෙ විහාර දොරකඩදීම ගරු අග්ගරාමාත්තියතුමාගෙ කටින් පැනපු ‘පිස්සු’ කෑල්ල අහපු වෙලාවෙනං මුන්නැහැගෙ ඔය හරි හතරැස් මූණු රාජයා පොල් බෑයක් වගේ රවුන් වෙලා යන්ඩ ඇති නේද ප්‍රිය ගම්මන්..?.
-විශ්වමිත්‍ර

Leave A Reply

Your email address will not be published.