දඩයම කරේ තියන් ගිය දඩයම්කරුවා කෝ ..?

2019 අප්‍රේල් විසිඑක් වැනි ඉරිදා ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය සිදු වුණේ ය. ඒ පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව එම අවුරුද්දේ ම සැප්තැම්බර් මාසයේ පිහිටුවනු ලැබී ය. ඒ එවකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. ඔහු විසින් පත් කරනු ලැබූ කොමිසමේ සාමාජිකත්වය පස් දෙනෙකි. වසර එකහමාරකට ආසන්න කාලයකින් පසු එම වාර්තාව එළිදැක්වුණේ ය. එවන් ප්‍රහාරයක් ඇති වීමට බලපෑ සමාජමය තත්ත්වය එහි විග්‍රහ කර ඇත්තේ ය. විවිධ කණ්ඩායම් මඟින් ඇති කරන ලද අන්තවාදී මතවාදයන්ගේ සහ ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය අර්ථදක්වා ඇත. එනම්, අන්තවාදයේ කූටප්‍රාප්තිය ත්‍රස්තවාදය බවට පත් වී ඇති බව කියයි. මේ සඳහා ඉස්ලාමීය අන්තවාදී සංවිධානත්, බෞද්ධ අන්තවාදී සංවිධානත් බලපෑ බව කොමිසමේ නිගමනයයි. ඉන් මතු වූ සමාජමය තත්ත්වය මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කරන්නට හේතු වූයේ යැයි කොමිසමේ අදහස ය.

එමෙන් ම මෙකී ප්‍රහාරය පිළිබඳව කල් ඇතිව තොරතුරු ලැබී ඇති බව සාක්ෂි සහිතව යළි සනාථ කරවනු ලබයි. ඉන්දියානු රහස් ඔත්තු සේවයක් ඒ පිළිබඳව කලින් ම දැනුම් දුන් බව සාක්ෂිවලින් පැහැදිලි වී ඇත. එසේ නමුදු, ඊට අවශ්‍ය ප්‍රතිචාර දක්වන්නට එවකට ආණ්ඩුව අපොහොසත් වී ඇත. එහි දී ආරක්ෂාව භාරව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා මුළුමනින් ම වගකීම පැහැර හැර ඇති බව කොමිසමේ අදහස ය. එවන් ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු තිබෙන අවස්ථාවක විදේශගත වීමත්, විදේශගත වූ පසුව තොරතුරු ලැබුණ ද, මැදිහත් වී නොමැත. රටින් බැහැර වන විට රටේ ආරක්ෂාව වෙනත් වගකිව යුත්තකුට නොපැවරීම මෙහි සිදු වූ බරපතළ අඩුවක් ලෙස දකියි. එමෙන් ම එකී කාලය තුළ ජාතික ආරක්ෂක මණ්ඩලය නොකැඳවීම තවත් බරපතළ චෝදනාවකි. මුල දී සතිපතා කැඳ වු එය මෙම කාලය වන විට මුළුමනින් ම අතහැර දමා ඇත. රටේ සේනාධිනායකයා ලෙස ජනතාවගේ සම්පූර්ණ ආරක්ෂාව භාරව සිටින පුද්ගලයා එකී වගකීම මුළුමනින් ම අතහැර තමන්ගේ පෞද්ගලික වුවමනාවක් වෙනුවෙන් සිංගප්පූරු යාම බරපතළ වරදකි. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නොමැත. එබැවින්, මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීමේ චෝදනාවට යටත්ව
වැරැදිකරුවකු ලෙස කොමිසම නම් කොට ඇත. ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට නිර්දේශ ද ඉදිරිපත් කොට ඇත.
මෛත්‍රීපාල – රනිල් ආණ්ඩු කාලය තුළ වර්ධනය වෙමින් ආ අන්තවාදී ප්‍රවණතාවන්වල දී රනිල් වික්‍රමසිංහගේ භූමිකාව නිද්‍රාශීලී බව කොමිසම කියයි. සැබැවින් ම එකී අන්තවාදය මතු වෙමින් ආවේ ඊට පෙරාතුව පැවැති ආණ්ඩු කාලයේ සිට ය. එහෙත්, රනිල් එය නොසලකා සිටියා ය යන්න පැහැදිලි ය. ආරක්ෂක මණ්ඩලයට තමන් නොකැඳවූ නිසා ඒ බව නොදැන සිටියා යැයි ඔහු කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්නේ ය. එහෙත්, ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති රටින් බැහැර වූ විට නිරායාසයෙන් ම ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේ අගමැතිවරයා ය. ඔහුව ආරක්ෂක මණ්ඩලයට කැඳවූයේ නැති නම්, ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දීමේ වගකීමක් තිබිණි. වගකීම පැවරුණේ නැතත්, වගකීම දැරීම ඔහු අනිවාර්යයෙන් කළ යුත්තකි. නමුත්, ප්‍රහාරය වන විටත් ඔහු ඇතුළු පිරිස හිටියේ බෙන්තොට හෝටලයේ විවේක ගනිමින් ය. එබැවින්, එකී වගකීමෙන් කිසිසේත් ම ගැලවීමට රනිල්ට නොහැකි ය. එක්සත් ජාතික පක්ෂය කොමිෂන් වාර්තාව ගැන කියා ඇත්තේ, තමන්ගේ පක්ෂයේ නායකයාවත්, වෙනත් කිසිදු ඇමතිවරයකුවත් කොමිසමෙන් වරදකරුවන් කර නොමැති බව ය. කොමිසමත් රනිල් ගැන කියා ඇත්තේ, අන්තවාදය පිළිබඳ රනිල්ගේ වූ ලිබරල් ප්‍රතිපත්තිය ප්‍රහාරයට හේතුවක් වූවා පමණක් බව ය. ඒ නිසා රනිල්ට එරෙහි කිසිදු නෛතික පියවරක් ගන්න යැයි නිර්දේශ කොට නොමැත.

මීට අමතරව හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, පොලිස්පති ඇතුළු නිලධාරීන් කිහිප දෙනකු ප්‍රහාරය වළක්වා නොගැනීමට අදාළව වැරැද්දක් කර ඇති බව සඳහන් ය. ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබුණත්, එය එසේ නොකිරීම පිළිබඳව පිටු ගණනාවක් තුළ කරුණු දක්වා ඇත. එමෙන් ම කොමිසම විසින් බොහෝ නිර්දේශ ඉදිරිපත් කොට තිබේ. විවිධ පුද්ගලයන්ට එරෙහිව නඩු දැමීමට අමතරව සංවිධන කිහිපයක් ම තහනම් කළ යුතු බවට කියා ඇත. ‘ශ්‍රී ලංකා ජමාතේ -ඊ-ඉස්ලාම්’ සංවිධානය සහ ඊට අනුබද්ධ ශිෂ්‍ය සංවිධානය ද, ‘බොදු බල සේනා’ සංවිධානය ද තහනම් කිරීමට යෝජනා කරයි. එය කරන්නේ ද නැති ද යන වගකීම ඇත්තේ, රජයට ය. කොමිසම මෙසේ කියන අතර ම මෙවැනි සංවිධානවලට විවිධ පාර්ශ්වයන් සිද්ධියට පෙරාතුව උදවු කළ බව ද කියා ඇත. රාජ්‍ය බුද්ධි අංශය මඟින් විවිධ අයට මුදල් පවා දුන් බවට කොමිසම ඉදිරියේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සාක්ෂි ලබා දී තිබිණි. සහරාන්ට පඩි ගෙව්ව බවක් සහරාන් එක්ක එකට සිට වෙන් වූ අයෙක් ම ප්‍රසිද්ධියේ කිව්වේ ය. නාමල් කුමාරට සල්ලි දුන්න බවක් ද ප්‍රසිද්ධ විය. එසේනම්, මෙවැනි සංවිධාන පෝෂණය වී ඇත්තේ, නිකම් ම නොවේ ය.
විවිධ කාල වකවානුවල දී විවිධ දේශපාලන වුවමනා මත පාලකයෝ විසින් පෝෂණය කළ කණ්ඩායම් මෙවැන්නකට පාර කැපූ බව දන්නෝ දනිති. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ම පෝෂණය කරනු ලැබූ බින් ලාඩන්ලා, අයි.එස්.අයි.එස්. සංවිධාන වර්ධනය වූ ආකාරය දේශපාලන ලෝකයේ ප්‍රසිද්ධ රහස් ය. ලංකාවේ ද එවනි දේ අතිමහත්ව සිදු වී තිබේ. එලෙස හැදූ වැඩූ සංවිධාන ජනාධිපති පත් කරන කොමිසමෙන් ම තහනම් කරන්න යැයි කීම ම විහිළුවකි. කෙසේ වෙතත්, කොමිෂන් වාර්තාවේ අඩංගුව පිළිබඳව බලද්දී පෙනී යන්නේ මෙතෙක් ජනතාව දැනගෙන සිටි බොහෝ දේ පිළිවෙළකට ලියා ඇති බව පමණි. එසේ නොමැතිව ප්‍රහාරය දියත් කළේ කුමන අරමුණකින් ද? එහි පිටුපස තිබූ කුමන්ත්‍රණය කුමක් ද? ප්‍රහාරයේ ඇත්ත වගකිව යුත්තා කවුරුන් ද යන්න ගැන කිසිවක් නැත. ජනතාව බලාගෙන සිටියේ, එයට උත්තරයක් ලැබෙයි කියා ය. වරදකරුවන්ට දඬුවම් දිය හැක්කේ එවිට ය. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ, ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණු කෙනා ය. ඇත්තට ම ප්‍රහාරය දියත් කළේ දේශීය කුමන්ත්‍රණයක් මඟින් ද? විදේශීය කුමන්ත්‍රණයක් මඟින් ද? ප්‍රශ්නයේ වැඩි වාසිය ලබා ගත්තේ කවුරුන් ද යන්න නිශ්චිතව නැත. ප්‍රහාරයේ වාසිය ගත් අය දිහා බලලා හෝ සැබෑ මෙහෙයුම්කරුවා සොයාගත හැකිව තිබිණි. එහෙත්, ඒ කිසිවක් නැත.
ඒ අර්ථයෙන් ගත් විට මෙය තවත් එක් හුදු කොමිෂන් වාර්තාවක් පමණි. දඩයම කරේ තියාගෙන යන තුවක්කුකරුවා හඳුනා ගැනීමක් සිදුව නොමැත. එවිට දඬුවම් දෙනවා කිව්වාට ඇත්ත වගඋත්තරකරුවාට දඬුවම් ලැබෙන්නේ නැත. අවසානයේ මහා අවුල් ජාලාවක් වනු ඇත. තවත් එවැනි ම වූ සමාජ අසහනකාරී, නොසන්සුන් තත්ත්වයකට පාර කැපීමක් ම වනු ඇත. ඕනෑ ම පොඩි ළමයකුට වුවත් තේරෙන දෙයක් ඇත. එනම්, ප්‍රහාරයක දී නායකයා සිය දිවි නසා ගැනීමක් සිදු කර ගන්නේ නැත. නායකයා හෝ නායකයන් තමන්ගේ අනුගාමිකයන් මෙහෙයවනු ඇත. එය ගැන සැලැකිල්ල දැක් වූවා නම්, ඇත්ත වගඋත්තරකරුවා හඹා යා හැකි ය. එය හුදෙක් ආගමික කරුණකට පමණක් සීමා විය නොහැකි ය. සැබැවින් ම ඒ පිටුපස බරපතළ දේශපාලන වුවමනාවක් තිබේ. එය පැහැදිලිව රට දැනගත යුතු ය. කොමිසමෙන් හිතාමතා ම එය හෙළිදරවු කිරීම නොකොට ඇත. එහෙත්, ඉතිහාසය මුළුමනින් ම විකෘති කළ නොහැකි ය. කවදා කෙසේ හෝ එය හෙළිදරවු වනු ඇත. එදාට ජනතාව ප්‍රහාරයේ සැබෑ වගඋත්තරකරුවන්ට නිසි දඬුවම් ලබා දෙනු ඇත●

Leave A Reply

Your email address will not be published.