“ඡන්දය ඉවර වෙද්දීම ශ්‍රීලනිපය විනාශ කිරීමේ කුමන්ත්‍රණයත් ඇරඹුණා”

-රෝහණ ලක්ෂ්මන් පියදාස

මහමැතිවරණය අවසන් වීමත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක් ද ආරම්භ වූ බව පෙනී යන බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.
රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (28) මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“මේකෙ පළමුවෙනි පියවර විදියට අපට පේනවා අපිත් සමග මැතිවරණයට පෙර එකඟ වුනු, අත්සන් කරපු මූලික එකඟතාවයන් එකක්වත් ඉටු කළේ නෑ. ඇමති මණ්ඩලයේ නියෝජනයන්, නියෝජ්‍ය ඇමති මණ්ඩලයේ නියෝජනයන්, ජාතික ලැයිස්තුවෙ නියෝජනයන්, වෙනත් නිලතල වල නියෝජනයන් ඒ කිසිවක් අපට ලබාදුන්නෙ නෑ හරියට. ඒක මං හිතන්නෙ සිතාමතා කරපු දෙයක් කියල.

දෙවනුව අපි දැක්කා එමගින් අපේ පක්ෂය දෙකඩ කරලා වෙනත් පක්ෂයක් නිර්මාණය කරපු හැටි. තුන්වෙනුව අපට මැතිවරණය ඉස්සරහා අපට පොරොන්දු දීලා ඒ පොරොන්දු කඩකරලා අපේ පක්ෂය යම් ආකාරයකින් ඉතාම අසීරු තත්වයකට පත්කිරීමේ ක්‍රියාවලිය. දැන් මේ අවස්ථාවෙදි අපට පේනවා අපෙ පක්ෂයේ නායක කාරකාදීන්ට පහරදීලා කොන් කරලා අධිකරණමය ක්‍රියාමාර්ග වලට කොටුකරලා කිසියම් ප්‍රමාණයකට පක්ෂයේ නායකත්වය, බලතල, පක්ෂ ව්‍යුහය උදුරාගන්නට ක්‍රියාත්මක වෙනවාද කියන කාරණයත් මට හිතෙනවා යම් ආකාරයක උත්සාහයන් තියෙනවාද කියන කාරණය.

මම හිතනවා මේ වෙලාවෙ ශ්‍රීලනිපය විනාශ කිරීම සඳහා දරණ උත්සාහයන් පෙලේ එක අවස්ථාවක් විදියට තමයි අපි මේක දකින්නෙ.” යැයි ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසීය.

 

Leave A Reply

Your email address will not be published.