“ආණ්ඩුව පැණිය ප්‍රමෝට් කරපු තරම්ම එන්නත ප්‍රමෝට් කරන්නෙ නෑ”

අනුර දිසානායක

ආණ්ඩුව පැණිය ප්‍රමෝට් කරපු තරම්ම මෙම එන්නත ප්‍රමෝට් කරන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.
අද (28) පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා,

“අපි කොයිම වෙලාවකවත් මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ ප්‍රතික්‍ෂේප කරන කණ්ඩායමක් නොවෙයි. අපි මන්ත්‍රී වරප්‍රසාදය ලබාගෙන එන්නත ලබාගත්තේ නැහැ. මොකද අපි දන්නවා ජාතික එන්නත්කරණ සැලැස්ම අනුව අපිට හිමි තැනක් තිබෙන බව. එය ප්‍රමුඛතා ලැයිස්තුවෙන් ඉතාම පහළ වෙන්න පුළුවන්. අපි අපේ හිමි අවස්ථාව ලැබුණු පසුව එම එන්නත ලබාගන්නවා. ඒවගේම එන්නත්කරණයට අපි පක්‍ෂයක් ලෙසත් පුරවැසියන් ලෙසත් උපරිම දායක්තවය සපයනවා. ආණ්ඩුව කළේ එන්නත්කරණය සඳහා ප්‍රභූ ලැයිස්තු සකස් කිරීමයි. සාමාන්‍ය ජනතාව පැය 5-6 අව්වේ වේළෙමින් පෝලිම්වල සිටියදී ආණ්ඩුවේ හිතවත් කණ්ඩායම් හොර පාරෙන් ඇවිල්ලා එන්නත විදගෙන යනවා.

හිටි හැටියේ තීරණ වෙනස්කිරීමට විරෝධය පළකරමින් ගම්පහ ප්‍රදේශයේ පී.එච්.අයි. නිළධාරීන් එන්නත්කරණයෙන් ඉවත් වුණා. මේ ඉරිදා දේශය පුවත්පත වාර්තා කළා “හත්පොළේ ගාගත් එන්නනත්කරණය” කියලා. ආණ්ඩුව බලයට පත්කරවීම සඳහා විශාල කාර්යභාරයක් කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියනවා, කොළඹ එන්නත් වැඩේ අවුල් වෙලා කියලා. රටම කොවිඩ් වසංගතයෙන් ගිලගෙන තිබෙන අවස්ථාවක මියයාම පිළිබඳ බියකින් පසුවන තත්වයක් තුළ මියයාමේ අනතුර වැඩිහිටියන්ට, නිදන්ගත රෝග ඇති අයට තිබෙන මොහොතක ශිෂ්ඨ සම්පන්න සමාජයක් කළයුතු වන්නේ මියයාමට වැඩි සම්භාවිතාවයක් ඇති පුරවැසියන්ට එන්නත ලබාදීමයි. ආණ්ඩුවේ ප්‍රබලයින්ට එස්එම්.එස්. එකක් යවලා එන්නත විදගත්ත අවස්ථා අපිට වාර්තා වෙලා තිබෙනවා.

අඩුම තරමේ ආණ්ඩුවට මුලින් ලැබුණු ලක්‍ෂ 05ක ප්‍රමාණයවත් ප්‍රමුඛතාවය අනුව ලබාදීමට නොහැකි වුණා. එම නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ ඉදිරියේ ලැබෙන එන්නත් ජාතික එන්නත්කරණ සැලැස්මට අනුව ක්‍රියාත්මක කරන ලෙසයි. අපේ රටේ සමෘද්ධිය බෙදනකොට, පාසැල්වලට ළමුන් ඇතුළත් කරනකොට දේශපාලනය උපයෝගී කරගන්නවා. එය වැරදි වුණත් සිදුවන දෙයක් බව අපි දන්නවා. නමුත් පුරවැසියන් මරණය අබියස සිටියදී තමන්ගේ ප්‍රභූත්වය මත ආණ්ඩුවේ හිතවත්කම් මත ව්‍යාපාරික පැලැන්තිය එන්නත ලබාගැනීම ශිෂ්ඨ සම්පන්න සමාජයක් අනුවත කළ යුතුද? අශිෂ්ඨම සමාජයක තමයි මෙවැනි දේවල් කළ හැකි වන්නේ. ඒ නිසා අපි නැවතත් ආණ්ඩුවට බල කරනවා අදාළ ආයතන විසින් සකස්කෛාට තිබෙන ජාතික එන්නත්කරණ සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙස. පුරවැසියන් මහ අව්වේ පෝලිම්වල රස්තියාදු නොකරන ලෙසත් අවශ්‍ය කරන අවම එන්නත් ප්‍රමාණය කඩිනමින් මෙරටට ගෙන්වන ලෙසත් ජාතික සැලැස්මක් සකස් කරන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරනවා.

ඒ වගේම අපි ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා, කොවිඩ් වසංගතය තුරන් කිරීම සඳහා තිබෙන විද්‍යාත්මක ක්‍රමවේදය එන්නත්කරණය නිසා ඔබ සක්‍රීයව ඔබට ලැබෙන පළමු හිමිකම් අවස්ථාවේදී එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙස. එන්නතට බියේ සැඟවිලා එය අත්හැර නොදමන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලනවා. කෙසේ වෙතත් මේ ආණ්ඩුව පැණිය ප්‍රමෝට් කරපු තරම්ම මෙම එන්නත ප්‍රමෝට් කරන්නේ නැහැ. එමෙන්ම අප පක්‍ෂයක් ලෙස කිසි අවස්ථාවකදී මෙම එන්නත ප්‍රතික්‍ෂේප කර නොමැති බවත් මා හට එන්නත ලබාගැනීමට හිමකම ලැබෙන පළමු අවස්ථාවේ එන්නත ලබාගන්නා බවත් අපි ජනතාවට දැනුම් දෙනවා. ඒ වගේම එන්නත ලබාගැනීම වරප්‍රසාදයක් නොව හිමිකමක් බව අපි කියා සිටිනවා. ” යනුවෙන් පැවසීය.

Leave A Reply

Your email address will not be published.