“කොමිෂන් සභා වාර්තාව යනු මැදමුලනේ මහගෙදර බෙදා ගැනීම පිළිබඳ නඩු වාර්තාවක් නෙවෙයි”

-අනුර දිසානායක

ජනාධිපතිවරයා වෙත ලබා දුන් දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ වාර්තාව මේ දක්වා ප්‍රසිද්ධ නොකරන්නේ එය රජපක්ෂ පවුලේ මැදමුලනේ පිහිටි මහගෙදර බෙදා ගැනීම පිළිබඳ නඩු වාර්තාවක් ලෙස සිතාගෙන දැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරයි.

අද (28) පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව මේ දක්වා ප්‍රසිද්ධ නොකිරීමත්, එම කොමිසම මඟින් ජවිපෙ නායකයා වන තමා අනීතිකව ප්‍රධාන චූදිතයකු බවට පත්කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වන බවටත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා පැවසීය.

මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව වැඩිදුරටත් ජවිපෙ නායකයා කරුණු දක්වමින්, “මැදමුලනේ තමන්ගේ මහගෙදර බෙදා ගැනීම් පිළිබඳව නඩු වාර්තාවක් නම් ඒක පවුල අතේ තියාගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ. මේක මාද වගඋත්තර කරුවෙක් කර තිබෙන වාර්තාවක්. ඒ විතරක් නෙවෙයි ඒ වාර්තාවේ අඩංගු නිර්දේශ ක්‍රියාත්මක වෙමින් තිබෙන තත්වයක්. මේ රටේ සිදු වූ විශාල අපරාධ, පැහැරගෙන යාම්, ඝාතනය කිරීම් පිළිබඳ නඩු ඉවත්කර ගැනීම් පිළිබඳව තිබෙන වාර්තාවක්. ඒ නිසා මෙය රාජපක්ෂලාගේ ඉඩම් ආරවුලක් පිළිබඳ වාර්තාවක් නෙවෙයි. 2015 වේ රාජපක්ෂ ආණ්ඩුව බිඳවැටීමට හේතු වූ ප්‍රධාන කරුණු, ඒ පිළිබඳව ගොනු වී තිබුණ අපරාධ නඩු, අල්ලස් හෝ දූෂණ පනත යටතේ ගොනු වී තිබෙන නඩු ඉවත් කර ගැනීමට නිර්දේශයක් තිබෙනවා. හැබැයි ඒ පිළිබඳව ජනතාව දන්නේ නෑ. ජනතාවට යුක්ති සහගත අයිතියක් තිබෙනවා මේ වාර්තාව පිළිබඳව දැනගන්න. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට කියන්නේ එය ජනාධිපති ලේකම් කාර්යාලයේ හමස් පෙට්ටියේ බහලා තබන්න ඔහුට අයිතියක් නැහැ.”
“අපේ ප්‍රධාන තර්කය වන්නේ කොමිෂන් සභා වාර්තාව සඟවා තබා ගැනීම පිළිබඳවයි. මා අවස්ථා ගණනාවකදී කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඉල්ලා තිබෙනවා. කථානායකවරයාට දැනුම්දී තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනවාරි මස 21වැනිදා ජනාධිපති කාර්යාලයෙන් වාර්තාවේ කොපියක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. පෙබරවාරි 08වැනිදා ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිලධාරී හරිගුප්ත රෝහණධීර මහතා විසින් වාර්තාව ලබාදිය නොහැකි බව මා හට දන්වා තිබෙනවා. අනතුරුව පෙබරවාරි 22වැනිදා අප විසින් අභියාචනයක්ද ඉදිරිපත් කොට තිබෙනවා. එමෙන්ම මාගේ නීතිඥ කණ්ඩායම ජනවාරි 29වැනිදා වාර්තාව ලබාදෙන ලෙස ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඒ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් මේ වනතෙක් ලැබී නැහැ. නැවත පෙබරවාරි 12වැනිදා නීතිඥ සුනිල් වටගල විසින්ද නැවත ඉල්ලීමක් කරනවා. ”

“පාස්කු කොමිෂන් වාර්තාව ජනාධිපතිවරයාට ලබාදීමෙන් පසුව එයද සඟවා ගැනීමට උත්සාහ කළ අතර කාදිනල්තුමාගේ, අනෙකුත් දේශපාලන පක්‍ෂවල සහ මාධ්‍යවල බලපෑම මත වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සිදුවුණා. එම වාර්තාවේ වෙළුම්හයක් පමණ තිබෙන අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ පළමු වෙළුම පමණයි. පසුගිය ජනවාරි 31වැනිදා ලබාදුන් මෙම වාර්තාව පිළිබඳව මේ වනතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නැහැ. නීතිපතිවරයාටත් එම වාර්තාව ලබාගත හැකිවූයේ විශාල පරිශ්‍රමයකින් පසුවයි.” යනුවෙන් පැවසීය.

Leave A Reply

Your email address will not be published.