රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී ඉම්රාන් ඛාන්ගෙන් ඉවසිලිවන්ත ඉනිමක්

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරය ලෝක අවධානයට ලක්වුණේ ගොඩනැගෙමින් පවතින දෙවන සීතල යුද්ධයේ තවත් දිගුවක් ලෙස. ඇමෙරිකාව හා චීනය අතර බල අරගලයේ මර්මස්ථානයක් ලෙස ඉන්දියානු සාගර කලාපය පත්වෙමින් පවතින බව පැහැදිලියි. ඒ නිසාම 21 වන සියවසේ ලෝක ආර්ථිකයේ උපාය මාර්ගික සන්ධිස්ථානය තමයි ඉන්දියනු සාගරය.
මේ බව කළින්ම කිව්වේ ඇමෙරිකානු විශ්ලේශකයෙකු වන කෆ්ලන්. ඒ අනුව යමින් තමයි එවකට ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා විසින් ආසියා ශාන්තිකර කලාපයේ ආර්ථික යෝධයන් වන ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව එකතු කර ගනිමින් THE QUAD නමින් වූ යුධ -ආර්ථික සංධානය නිර්මාණය කළේ. ඔවුන් චීනයේ තීරයක් -මාවතක් වැඩපිළිවෙළ ගැන ඉන්නේ දැඩි සෝදිසියකින්. මේ කතාන්දරයේ සංවේදීම කලාපය තමයි ශ්‍රී ලංකාව හා ඊට පහළින් ඇති සාගරය.
ලංකාවේ වරාය වල බලය අත්පත් කර ගැනීමට ඉන්දියාව පැමිණෙන්නේ ඇමෙරිකාවේ පූර්ණ ආශිර්වාදය ඇතිවයි. දැන් ඉන්දියාව පණ පොවන්නේ ඇමෙරිකාවේ ආසියානු ආණ්ඩුකාරයාගේ චරිතය. ඒත් මීට දශක කිහිපයට එහා ගියොත් ඉන්දියාව හිටියේ සෝවියට් දේශය සමඟ. සියා උල් හක් අගමැතිවරයාගේ සමයේ පාකිස්තානය යනු ඇමෙරිකාවේ දැඩි මිතුරෙක්. දැන් ඒ සියල්ල කණ පිට හැරිලා.
පාකිස්තානය දැන් චීනයේ තීරයක් මාවතක් වැඩ පිළිවෙලේ ප්‍රමුඛ කොටස් කරුවෙක්. ඩොලර් බිලියන 60කටත් වැඩි චීන- පාකිස්තාන ආර්ථික කොරිඩෝරය සමඟ එක්වන ලෙස ඉම්රාන් ශ්‍රී ලංකාවෙන් ද ඉල්ලා සිටියා.එසේම ලෝක සාමයට බලපාන කාෂ්මීර අර්බුදය සම්බන්ධයෙන් ද ඉම්රාන් විවෘතව අදහස් පලකළා.
ඉන්දියාව සමඟ ඇති එකම ආරවුල කාශ්මීරය බවත් එය විසඳිය හැක්කේ සංවාදයකින් පමණක් බවත් ඔහු කියා සිටියා. තමන් 2018 දී අගමැති දූරයට පත්වීමෙන් පසුව සාමය සඳහා ඉන්දියාවට ආරාධනා කළත් නරේන්ද්‍ර මෝඩි එය මගහැර ගිය බවත් ඉම්රාන් කියා සිටියා.
ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබුණත් ඉන්දියාවේ විරෝධය නිසා එය අත් හිටුවීමට ලංකාව කටයුතු කර තිබුණා. ඒත් ඔහු ඒ පිළිබඳව කොක්ක එල්ලා ගැනීමට ගියේ නැහැ. ඔහු පවසන්නේ දකුණු ආසියා කලාපයේ තිබෙන ප්‍රශ්ණ විසදාගෙන යුරෝපා සංගමය මෙන් වූ ආර්ථික සහයෝගීතාවක් සහිත සංවිධානයක් ගොඩනගා ගත යුතු බව. වෙළද කටයුතු තුළින් මේ නොහොද නෝක්කාඩු දුරු කර ගත හැකි බව ඔහුගේ දැක්මේ සාරංශය ලෙස ගන්න පුළුවන්.
2019 දී පාකිස්තානයේ සිට ක්‍රියාත්මක වන ජයිෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්ත කණ්ඩායම් විසින් කාෂ්මීරයේ ඉන්දියානු කලාපයට අයත් පුල්වාමා හි පොලිස් කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් භටයන් 40 ක් මිය ගියා. ඊට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ඈතට වන්නට පිහිටි ජයිෂ්- ඊ- මොහමඩ් ත්‍රස්ත කඳවුරකට ඉන්දියානු යුධ ගුවන් යානා විසින් පහර දුන්නා. ඉන්දියාව තමන්ගේ ගුවන් සීමාව අතික්‍රමණය කිරීමට පාකිස්තානය තදින් විරුද්ධ වුණා.
එසේ පැමිණි ඉන්දියානු ගුවන් යානයක් පාකිස්තාන ගම්මානයකට කඩාවැටුණා. ගුවන් නියමුවා වුණේ අභිනන්දනන් වර්ධමාන්. අතටම අසු වූ සතුරාට ගම්මුන් පහර දෙද්දී ඉම්රාන් පාකිස්තාන හමුදාව යවා ඔහුව බේරා ගත්තා. මේ අතරේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පාකිස්තානට තර්ජනය කළේ ගුවන් නියමුවා නිදහස් නොකරන්නේනම් යුධ ප්‍රකාශ කරන බව. ඉන්දියනු මහා මැතිවරණය ආසන්නයේ සිදු වූ මෙම සිදුවීම මෝඩි මහතාට ඉල්ලමක් වගේ වුණා.

පාකිස්ථානයෙන් ගේම ඉල්ලා ඔහු තමන්ගෙ ඡන්ද ගොඩ වැඩි කර ගත්තා. ඉන්දියාව හා පාකිස්ථානය අතර රාජ්‍යතාන්ත්‍රික උණුසුම ඉහළ යද්දී ඉම්රාන් ඛාන් ඔහුගේ සුපුරුදු ක්‍රිකට් භාෂාව භාවිතා කළා. ඉන්දියාවේ කුලප්පු කිරීම් හමුවේ ඉවසිලිවන්තව ක්‍රීඩා කළ ඉම්රාන් ඛාන් අභිනන්දනන්ව ගෞරවාන්විතව නිදහස් කළා. ඒ පිළිබඳව සාමකාමී ලෝකයේ ප්‍රසංශාව ඉම්රාන්ට හිමි වුණා.
1947 දී දෙරට බෙදී වෙන්ව යන විට ජම්බු කාෂ්මීරයේ හින්දු හා මුස්ලිම් කොටස් අතර කල කෝලාහල වලින් විශාල පිරිසක් මිය ගියා. එම ගැටුම් අනෙකුත් ප්‍රාන්තයන් අතරත් පැතිරී ගියා. එසේ කුපිත වූ ජනතාව පාලනය කර ගැනීමට මෝහන්දාස් ගාන්ධීටවත් (මහාත්මා ගාන්ධි) පාකිස්තානයේ නිර්මාතෘ මොහමඩ් අලි ජින්නාටවත් හැකි වූයේ නැහැ. කෙතරම් හමුදා ශක්තියක් තිබුණද බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයට පවා මේ ගෝත්‍රවාදී ජනතාව පාලනය කිරීම අපහසු වුණා. යටත් විජිතයේ ප්‍රතිරාජයා වූ ලුවී මවුන්ට් බැටර්න් සාමිවරයා පවා හිටියේ අසරණවයි.
එකට එක කිරීම සම්බන්ධයෙන් මේ රටවල් දෙකම එක හා සමානවම උනන්දුයි. ලැපියරේ හා කොලින්ස් විසින් රචිත Freedom at Midnight (පරිවර්තනය-ධනපාල ගුණසේකර) කෘතියේ මේ ඝට්ටනයන් ගැන අපූරුවට ලියා තිබෙනවා.
“සික් කණ්ඩායම් මුස්ලිම් ගම් විනාශ කරන්නට වුණා. මරණ වල විශේෂත්වය වුණේ ඊට අදාල මෘග සාහසිකත්වය.මළවුන්ගේ ලිඟු කපා මරාදමන ලද මුස්ලිම් කතුන්ගේ මුවේ ඔබා තිබුණා.එක් උදෑසනක ලාහෝරයේ මුස්ලිම් දාමරිකයන්ගේ තිප්පොළක් වූ කෝපි කඩයක් වෙත පැමිණි බයිසිකල්කරුවෙක් ගෝලාකාර පිත්තල බඳුනක් වීසි කර වේගයෙන් පලා ගියා.එය බෝම්බයක් යයි සිතා සියල්ලන්ම පණ බියෙන් පලාගියා. ඒත් පුපුරා නොගිය නිසා මිනිසුන් ප්‍රවේශමෙන් එහි පියන විවෘත කළා. ඒකෙ තිබුණේ සික් දාමරිකයන් මුස්ලිම් දාමරිකයන් වෙත එවන ලැබූ අමිහිරි තෑග්ගක්.ඒ මුස්ලිම් මළ සිරුරු වලින් කපා ගත් පුරුෂ ලිංග පිරවූ භාජනයක්.”
උමතු ගෝත්‍රවාදයේ සාහසික ඉතිහාසය එහෙමයි. අවසානයේ මහත්මා ගාන්ධි පවා ජාතිවාදීන්ගේ ගොදුරක් බවට පත්වී ඝාතනය වෙනවා.
ඉන්දියාව හා පාකිස්තානය අතර බෙදී ඇති මේ ශීතල හිමාලයානු ප්‍රාන්තය මැදින් දෙරටට අයත් කලාප අතර පැහැදිලි දේශසීමාවක් නැහැ. ඇත්තේ Line of Control නමින් හැදින්වෙන මනඃකල්පිත රේඛාවක්. කෙතරම් සිසිල් වුවද මෙය තමයි ලොව දැනට ඇති උණුසුම්ම දේශසීමාව. පසුගියදා මතුවූ අර්බුදය රාජ්‍යතාන්ත්‍රික ලෙස මතුවූවත් මේ දෙපස ජනතාවටනම් හැමදාම කාලතුවක්කු උණ්ඩ එකක් දෙකක් පතිත වීම සාමාන්‍යයි. ඒවාට දැන් ඔවුන් හුරු වෙලා. එසේම කාෂ්මීර අර්බුදය තමයි දැනට ලොව නොවිසඳී ඇති දීර්ඝතම ඉතිහාසයක් සහිත දේශසීමා ප්‍රශ්ණය.
කාෂ්මීරය යනු ඉන්දියාවේ වයඹ දෙසින් ඇති ඉන්දියාව,පාකිස්තානය හා චීනය යන රටවල් තුනටම අයත් කොටස් සහිත වර්ග සැතපුම් 86000ක හිමාල කඳුකර රාජ්‍යයක්. එය ඉහත රටවල් තුනට අමතරව ඇෆ්ගනිස්තානයටත් මායිම්ව පවතිනවා.
කාෂ්මීර අර්බුදය 1947 දෙරට නිදහස ලැබීමට පෙර වූ බ්‍රිතාන්‍ය පාලන යුගය දක්වා විහිදී පවතිනවා. කාෂ්මීරයේ ඉන්දියානු පාලන ප්‍රදේශයේ නිතර ගැටුම් ඇතිවීමට හේතුව එහි බහුතරයක් වූ මුස්ලිම් වැසියන් ඉන්දියාවට යටත්ව විසීමට ඇති අකමැත්තයි.
අතීත භාරත දේශය ඉන්දියාව හා පාකිස්තානය ලෙස වෙන්ව යාමේදී බොහෝ ප්‍රාන්ත රාජ්‍යයන්ට තම අනාගතය ගැන තීරණ ගැනීමට සිදුව තිබුණා. විශේෂයෙන්ම ඒ ඉන්දියාවට එකතුවීම පිළිබඳව කාරණයේදී. බොහෝ ප්‍රාන්ත පාලකයන් තමන්ව ස්වාධීන රාජ්‍ය බවට පත්කරන මෙන් බ්‍රිතාන්‍ය ප්‍රතිරාජයාගෙන් ඉල්ලා සිටියා. ඇතැම් පාලකයෝ ගිවිසුම් අත්සන් කළේ හඬමින්. මධ්‍යම ඉන්දියාවේ එක් මහාරාජාවරයෙක් ගිවිසුම අත්සන් කර මොහොතකින් හෘදයාබාදයකින් මියගියා.
අනෙකුත් මුස්ලිම් ප්‍රාන්තයන් මෙන් කාෂ්මීරයද පාකිස්තානයට අයත්වනු ඇතැයි එහි ජනතාව අපේක්ෂා කළා.නමුත් කාෂ්මීරය පාලනය කළ ශ්‍රී නගර්හි සික් ජාතික හරි සිං මහාරාජා තීරණය කළේ ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමටයි.
“ඒක කොහොමත් කරන්න බැහැ.ඔබ රාජ්‍ය දෙකකින් වටවෙලා ඉන්නේ. ඔය ආකල්පයේ ප්‍රතිවිපාකය වන්නේ දෙපැත්තෙන්ම දරුණු සතුරන් දෙදෙනෙක් ඇතිකර ගැනීම පමණයි.අන්තිමට කාෂ්මීරය යුධ පිටියක් වේවි.”
මවුන්ට් බැටර්න් ප්‍රතිරාජයා එසේ පෙන්වා දුන්නත් පසු දිනට යෙදුණු තීරණාත්මක හමුවීමට නොපැමිණි හරි සිං මහාරාජා එය මගහැර ගියේ බඩේ රුදාවක් බව පවසමින්. ඒ දේශපාලන බඩේ රුදාවේ ප්‍රතිවිපාකය අදටත් ලෝක සාමයට බාධාවක් වෙමින් අර්බුදකාරී ලෙස ඔඩුදුවමින් තිබෙනවා.
ඒ අතර,මෙකී දේශපාලන උත්සාහයන් ක්‍රියාත්මකව පැවති දින කිහිපයේදී හදිසියේම කාෂ්මීරයේ පතාන් ගෝත්‍රිකයන් කාෂ්මීර තැනිතලා ඔස්සේ ශ්‍රීනගර්හි මහාරාජාගේ මාළිගය වෙත පැමිණෙමින් සිටියේ එම පාලනය අවසන් කිරීමට.මේ අවස්ථාවේ ශ්‍රීනගර් පාලකයා ඉන්දියානු උදව් ලබාගැනීමට පෙළඹුණා. ඒ නිසා ඉන්දියාව මේ සංවේදී කලාපයේ වැඩි බලය අත්පත් කරගත්තා.
මෝඩිට සාපේක්ෂව ඉම්රාන්ගේ රාජ්‍යතාන්ත්‍රික ඉවසීම වැඩියි. ඉම්රාන් ඛාන් යනු පොළොවෙන් මතු වූ නායකයෙක් නොවෙයි. උඩින් කඩා පාත් වුණු නායකයෙකුත් නොවෙයි. ඔහු පාකිස්ථානයේ අභිමානය ලොවට පෙන්නුම් කළ අද්විතීය ක්‍රිකට් නායකයෙක්. ඉහළ අධ්‍යාපනයක් සහිත ඉම්රාන් පාකිස්ථානයට ලෝක කුසලානය ගෙන ඒම දක්වා ක්‍රීඩාවේ ආ ගමන මෙන්ම පාකිස්ථානයේ මුල් පුටුව දක්වා දේශපානයේ ආ ගමනත් බොහෝ ඉවසිලි වන්ත දීර්ඝ ඉනිමක් වගේ. ඔහුගේ තීරණ වල සැබැවින්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබූ ජීව ගුණය ගැබ්ව තිබෙනවා.
කාෂ්මීරයේ ප්‍රශ්ණය සුළුපටු දේශපාලන සන්දර්භයක් නොවන්නේ ඒ සම්බන්ධයෙන් ඉන්දියාව හා පාකිස්තානය අතර ඇති වන යුද්ධයකින් සිදුවිය හැකි අහිතකර ප්‍රතිඵල ලෝකයේ භූ දේශපාලන පැවැත්ම සම්පූර්ණයෙන් වෙනස් කිරීමට හේතුවිය හැකි නිසා . අනෙක් අතට හිමාලය කියන්නේ ලෝකයේ ඇති සංවේදීම පාරිසරික කලාපයක්. න්‍යෂ්ටික බලය සහිත මේ යුධකාමී ප්‍රතිවිරෝධීන් දෙදෙනා අතර ඇතිවන සුළු න්‍යෂ්ටික ප්‍රහාරයක් පවා ලෝක දේශගුණික විපර්යාසයන්ට හා එමඟින් ඇතිවන දුර්භික්ෂයන්ට හේතු විය හැකි බව විද්වතුන් පවසා තිබෙන්නේ මේ නිසයි.
-ශානක ලියනගම
(ලෝකය එකම යායක්)

Leave A Reply

Your email address will not be published.