බොහෝ දේ සෙවූ මුත් ප්‍රහාරයේ සුල මුල නොසෙවූ පාස්කු ප්‍රහාර සෙවීමේ කොමිසම් වාර්තාව

පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මනුෂ්‍ය ජීවිත 300 කට ආසන්න ප්‍රමාණයක් රටට අහිමිව ගියේය. ඒත් සමග මතු වූ ජනතා විරෝධය හමුවේ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2019 සැප්තැම්බර් මාසයේදී පංච පුද්ගල ජනාධිපති කොමිසමක් පත් කෙරුවේ සිද්ධියට වගකිවයුත්තෝ කව්රුන්දැයි හෙළිදරව් කිරීමටය.
නමුත් වගකිවයුත්තන් ගැන එහි හෙළිදරව්වක් නොමැත. පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියා සහරාන් හෂීම් ය. නමුත් ඔහුව මෙහෙය වන්නේ කව්දැයි තවමත් කිසිවෙකු දන්නේ නැත. පාස්කු වාර්තාවෙන්ද එය හෙළිදරව් කර නොමැත. ලෝකයේ මෙතෙක් ක්‍රියාන්විත ත්‍රස්ත සංවිධාන ගත් කළ නායකයා මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වී නැත.
සහරාන් හෂීම් අයි.එස්.අයි.එස් නම් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයේ ලංකාවේ නියෝජිතයා ලෙස ආරක්ෂක අංශ හඳුන්වයි. එසේ නම් මෙලෙස මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්නට ඔහුට උපදෙස් දුන්නේ කව්දැයි හෙළිදරව් විය යුතුය.

අබූ කවුද?

ඉන්දියාවේ සිටින අයි.එස්.අයි.එස්. ප්‍රබලයෙකු වන අබූ නමැති පුද්ගලයෙකු ගැන පාස්කු කොමිසමේදී කියවුන ද ඔහු සම්බන්ධයෙන් සෙවිය යුතු බවට නිර්දේශයක් ප්‍රසිද්ධියට පත් කොට ඇති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වන්නේ නැත.
පාස්කු ප්‍රහාරය එල්ල වන්නේ 2019 අප්‍රේල් මස 21 දාය. ඉන් දින කිහිපයකට පසු අප්‍රේල් 26 දා සයින්දමරදු ප්‍රදේශයේ නිවසක් ආරක්ෂක අංශ විසින් වටලද්දි එහි සිටි සහරාන් හෂීම්ගේ සහෝදරයා සහ පියා විසින් අධිබලැති බෝම්බයක් පුපුරුවා ගත්තේය. එම අවස්ථාවේ එහි 19 දෙනෙකු සිටි අතර සහරාන්ගේ බිරිඳ හා දරුවාද එහි වූහ. බෝම්බය පුපුරුවා ගත් අවස්ථාවේ ඔවුන් සැඟවීම නිසා එම දෙදෙනා තුවාල ලබා ජීවිතය බේරා ගෙන තිබුනි.
එහි සිටි පිරිස පිළිබඳව ජීව විද්‍යාත්මක සාක්ෂි විමර්ශනය කිරීම සඳහා මිය ගිය අයගේ ඥාතීන්ගේ හා කැබලි වූ මළ සිරුරු කොටස් ඩී.එන්.ඒ. විමර්ශනයකට ලක් කරන ලදී. එහිදී 17 දෙනෙකුගේ ඩී.එන්.ඒ. තොරතුරු ලැබිය යුතු වුවත් ලැබී තිබුණේ 16 දෙනෙකුගේ ඩී.එන්.ඒ. වාර්තා පමණකි. ඩී.එන්.ඒ. පරීක්ෂා කරන ආයතනය මගින් ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබුණේ 17 දෙනෙකුගේ වාර්තා බලාපොරොත්තු වුවද එහි තිබෙන්නේ 16 දෙනෙකුගේ සාම්පල පමණක් බවය.

17 වැනියා හෙළි නොකළේ ඇයි?

එසේනම් එහි සිට අතුරුදන්වූ තැනැත්තා හෝ තැනැත්තිය කව්දැයි එවකට ආරක්ෂක අංශ ප්‍රසිද්ධ කළේ නැත. බෝම්බය පුපුරා යන අවස්ථාවේ සාරා ජෙස්මින් එහි සිටි බව සහරාන්ගේ බිරිඳ ආරක්ෂක අංශ වෙත හෙළිකර තිබුණාය. නමුත් සාරා සොයා ගැනුනේ නැත. පාස්කු කොමිසමේදී මේ සාරා ගැන නැවත කතාවට ලක්වූ අතර ඒ සම්බන්ධයෙන් සාක්ෂි ද හෙළිදරව් විය.
සාරා කටුවාපිටිය පල්ලියට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ආච්චි මොහොමදු හස්දුන් නමැති බෝම්බකරුගේ බිරිඳය. ඇය මඩකලපුවේ, කලවංචිකුඩි හි පදිංචි දමිළ ජාතික තරුණියකි. ඇයගේ මව විදෙස්ගතව රැකියාවක් කළ අතර පුලස්තිනී රාජේන්ද්‍රන්, සාරා වන්නේ මුස්ලිම් ආගමට සම්බන්ධවීමෙන් පසුවය. සාරා උසස් පෙළ හදාරා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා සිටියදී හස්දුන් සමග ආදර සම්බන්ධයක් ඇති කර ගන්නා අතර මව ඊට විරෝධය පළ කර තිබේ.

පසුව ඇය මෙහොමදු හස්දුන් සමග කොළඹට පැමිණීම නිසා සාරාගේ මව ලංකාවට පැමිණ සිය දියණිය අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නීය. පසුව ඇය මාලිගාවත්තට පැමිණෙන්නේ සිය දියණිය එහි සිටින බවට ලද තොරතුරක් මතය. මාලිගාවත්තේ පිහිටි සිලෝන් තව්හිද් ජමාත් කාර්යාලයට පැමිණ සඟවාගෙන සිටින සිය දියණිය ඉල්ලා සිටින්නේ එහි නායක අබ්දුල් රාසික්ගෙනි. අබ්දුල් රාසික් පවසන්නේ ඇය දැන් මුස්ලිම් ආගමට බැඳී ඇති බැවින් මවට බාරදිය නොහැකි බවය.
පසුව මව මාලිගාවත්ත පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු අබ්දුල් රාසික් විසින් පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරාව ඇගේ මවට බාර දුන්නේය. මේ සියලු දේ වන්නේ 2013 වසරේදීය. සාරා මව සමග මඩකලපුවට ගියත් මාස කිහිපයකට පසු ඇය නැවතත් හස්දුන්ගේ නිත්‍යානුකූල බිරිඳ ලෙස ඔහු සමග ජීවත් වූවාය. පාස්කු ප්‍රහාරය එල්ල වන තෙක් සහරාන්ගේ ප්‍රධාන සාකච්ඡාවන් සියල්ලකම සාරා සිටි බවට වාර්තා විනි.
පාස්කු ප්‍රහාරයෙන් පසු සයින්දමරුදු පිපිරීමෙන් සාරාද මිය ගිය බව ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය. නමුත් ඩී.එන්.ඒ. පරික්ෂා කළ ආයතනය කීවේ එහි තිබෙන්නේ මළ සිරුරු 16 ක් පමණක් බවය. සාරාගේ මවද කීවේ තමන්ගේ දියණිය මියගොස් නැති බවය. නමුත් සාරාට වූවේ කුමක්දැයි හෙළිවන්නේ පාස්කු කොමිසමේදීය. ප්‍රහාරයෙන් පසු ඇය මාස 5 ක් යනතුරු නැගෙනහිර පළාත තුළ සිට ඇත.

ආරක්ෂක වැටෙන් රිංගා යාම

සාරා දෙවෙනි ප්‍රහාරයකට සූදානම් වූ බව සහරාන්ගේ බිරිඳ හෙළිකර තිබුණාය. ඒ වෙනුවෙන් ගිරිඋල්ල ප්‍රදේශයේ සාප්පුවකින් ඇඳුම් මිළදී ගත් බව ද සහරාන්ගේ බිරිඳ හාදියා හෙළි කළාය. එම කණ්ඩායමේ නායකත්වයට පත්ව සිටියේ සාරා බවද ඇය හෙළි කර තිබුණාය. සයින්දමරදු නිවසේ බෝම්බය පුපුරා යන තුරු එහි සිටි සාරා නිවසින් පලා ගියේ කෙසේද යන්න ගැටලුවකි. මන්ද ඒ වන විටත් මුළු ප්‍රදේශයම ආරක්ෂක අංශ වට කොට සිටි බැවිනි.
පාස්කු කොමිසමේ විමර්ශන අංශය මේ ගැන සොයා බලද්දී ඇයට සහාය දුන් පොලිස් නිලධාරියෙකු ගැන තොරතුරු හෙළිවූවේය. මඩකලපුවේ එක් පුද්ගලයෙකු හෙළිකර තිබුණේ අම්පාර පොලිස් ගරාජයේ සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සමග කැබ් රථයක සාරා සිටිනු දුටු බවත් තමන් එම ස්ථානයට එද්දී වෙනදාට තමන් සමග කතා කරන මෙම පොලිස් නිලධාරියා කඩිනමින් කැබ් රථය පදවාගෙන ගිය බවත්ය.
ප්‍රධාන පොලිස් පරීක්ෂක අබු බකර් සමග සාරා සිටිනු දකින්නේ සාරාගේ මවගේ සහෝදරයෙකු විසිනි. ඔහු මේ බව පාස්කු කොමිසම හමුවේ හෙළිදරව් කර තිබුනි. ඒ අනුව අබු බකර් අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම්භාරයේ සිටියි. පිපුරුම්වලින් පසු ඇය ලංකාවේ සිටීමත් ඉන් පසු ආරක්ෂක අංශ සයින්දමරුදු නිවස වට කරන අවස්ථාවේ ඇය පලායාමත්, පසුව ඉන්දියාවට පලායාමත් යනාදී සියල්ල පසු පස අදෘෂ්‍යමාන හස්තයක් සිටි බවට නොරහසකි.

රතු නිවේදන නැති සාරා

නමුත් පාස්කු කොමිසමේ නිර්දේශයන් හි සාරා සොයා ගැනීම සම්බන්ධයෙන් නිර්දේශයක් නැත. ඇයගේ ඡායාරූපයක් ප්‍රසිද්ධ කොට අධිකරණය හරහා ජාත්‍යන්තර රතු නිවේදනයක් යවා ඉන්දියාවේ ඇය සිටිනවා නම් ඇය ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් ද යෝජනා කර නොමැත. එය මගහැරුනේ කෙසේද යන්න ගැටලුවකි.
සහරාන්ගේ න්‍යායාචාර්යා වූවේ නවුෆර් මවුලවිය. ඔහු ප්‍රහාරයෙන් පසු මක්කම වන්දනාවේ ගොස් සිටියේය. නමුත් රජය වහාම මැදිහත්වී රතු නිවේදන යවා ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට සවුදි රජය හා සම්බන්ධ වී කටයුතු කළේය. නවුෆර් මවුලවි ගෙන්වා ගැනීමට තිබු උනන්දුව සාරා ගෙන්වා ගැනීමට නැත.
නවුෆර් මවුලවි කොමිසමට හා ආරක්ෂක අංශවලට කී ආකාරයට අවසාන කාලය වන විට සහරාන් ඔවුන්ගෙන් වෙන් වී වෙනම කණ්ඩායමක් වී සිටියේය. ඔවුන් පහරදීමට සූදානම් වන්නේ 2020 වසරේදීය. එය මරාගෙන මැරෙන ප්‍රහාර 9 ක් ලෙස පළාත් 9 තුළය. පළමු ප්‍රහාරයන් දෙක 2020 නිදහස් දින උත්සවයට හා දළදා මාලිගාවටය. ඒ වෙනුවෙන් රිෆ්කාන් නම් අයෙකු නිදහස් උත්සවය පැවැත්වෙන ආකාරය අධීක්ෂණය කිරීමට 2019 නිදහස් දින උළෙලට සහභාගි කරවා ද තිබේ. නිදහස් දින උත්සවයට හා දළදා මාලිගාවට එල්ල වන ප්‍රහාරයන් සමග පිට පළාත්වල සිටින ආරක්ෂක අංශ මෙම ප්‍රදේශවලට කැඳවීමෙන් පසු සෙසු පළාත් හි බෞද්ධ ආගමික ස්ථාන එල්ල කරගෙන ප්‍රහාරයක් 2020 දී එල්ල කිරීමට සැලසුම් කළ බව නවුෆර් මවුලවි කියා තිබුනි.

2020 සැලසුම 2019ට වෙනස් කලේ කවුද?

එසේ නම් සහරාන් මේ ප්‍රහාරය 2019 ට ගෙන එන්නේ මන්ද, එසේම බෞද්ධ සිද්ධස්ථානවලට එල්ල කරන්න සිටි ප්‍රහාර කතෝලික පල්ලි හා සංචාරක හෝටල් වෙත හැරෙන්නේ මන්ද යන ගැටලුවට පිළිතුරක් කොමිසමෙන් ඉදිරිපත්ව නැත.
සහරාන් සමග 2020 දී ප්‍රහාරයක් එල්ල කරන්නට සැලසුම් කළ නවුෆර් මවුලවි සහරාන්ගෙන් වෙන් වන්නේ ප්‍රහාරයට දිනකට පෙරය. ඉන්දියානු රෝ ඔත්තු සේවයෙන් ප්‍රහාරය පිළිබඳ නිසි පණිවුඩය එන්නේ ද එදිනය.
සහරාන්ගේ ලැප්ටොප් පරිගණකය පවතින්නේ රිෆ්කාන් බාරයේය. ප්‍රහාරයෙන් පසු රිෆ්කාන් විසින් මෙම ලැප්ටොප් පරිගණකය අසල කලපුවට විසිකරන්නේ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. රිෆ්කාන් අත්අඩංගුවට පත් වන්නේ සහරාන්ගේ බිරිඳගේ ප්‍රකාශයන් මතය. රිෆ්කාන් කලපුවට දැමු ලැප්ටොප් පරිගණකය පොලිසිය බාරයට ගත්ත ද එහි ජලය පැවතීම නිසා පරීක්ෂා කිරීමට පොලිසිය අපොහොසත් වේ. ඒ වන විට මෙරටට පැමිණ සිටි ඇමරිකන් එෆ්.බී.අයි. නිලධාරීන් පරිගණකය ලබා ගන්නා අතර පසුව පොලිසියට ලැබෙන්නේ දත්ත ගබඩාව නොමැති පරිගණකයකි. පොලිසිය එය දැනගන්නා විට ඇමරිකානු නිලධාරීන් මෙරටින් පිටත්ව ගොස් හමාරය.
ඇමරිකානු රජය එරටදි පාස්කු ප්‍රහාරයේ චුදිතයන්ට එරෙහිව නඩු පවරන්නේ මේ දත්ත ගබඩාවේ ඇති තොරතුරු පදනම් කරගෙනය. මෙහිදී ඔවුන් ලබාගත් ප්‍රකාශ ද පදනම් කරගනිමින් ඇමෙරිකානුවන් ඝාතනය කිරීමේ චෝදනාව යටතේ නඩු පවරා තිබේ. ඔවුන් සමග සම්බන්ධ වී එම දත්ත ගබඩාව ලබා ගැනීමට හෝ නිර්දේශයක් කොමිසමෙන් ඉදිරිපත්ව නැත.
ප්‍රහාරයට යාමට පෙර සහරාන් සිය බිරිඳ බදාගෙන හඬා වැටුනු බව බිරිඳ හානියා ප්‍රකාශ කර තිබේ. එසේම යම් පුද්ගලයෙකු සමග ඔහු නිතර දුරකථනයෙන් කතා කළ බවද බිරිඳ පැවසුවාය. ඒ කව්දැයි පොලිසිය පරීක්ෂා කරද්දී අබූ හීන් නැමැති පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු හෙළිව තිබේ. ඉන්දියාවේ සිට මෙම ප්‍රහාරය මෙහෙයවූවේ ඔහු බවත් සහරාන් ඇතුළු කණ්ඩායම සමග විශේෂ දුරකථන ඇප් එකක් හරහා කතාබහ කර ඇති බවත් හෙළිදරව් වූවේය. නමුත් ප්‍රහාරයෙන් පසු ඔහු අතුරුදන්ව ඇත. එම පුද්ගලයා සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඔස්සේ සොයා බැලීමේ නිර්දේශයක් ද ඉදිරිපත් ව නැත.

සිලෝන් තව්හිද් ජමාත් මගහැරුනාද?

“2019 අප්‍රේල් 21 දින සිදුවීම සඳහා මුලිකව හේතු වන්නේ වහාබ් දෘෂ්ටිවාදය සහ තවුහිද් කණ්ඩායම්, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් (ීඛන්‍ෂ) සහ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය (ීඛන්‍ෂීඵ) වැනි කණ්ඩායම්ද, ජාත්‍යන්තරව අයි.එස්. සංවිධානයේ ක්‍රියාකාරකම් සහ දේශීය වශයෙන් බොදුබල සේනා සංවිධානය වැනි අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් බව පරීක්ෂණ කොමිෂන් සභාව නිගමනය කරයි.” පාස්කු කොමිසමේ මෙම නිර්දේශය තුළට අබ්දුල් රාසික්ගේ සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය සඳහන් නොවුණේ මන්ද යන කාරණය ද ගැටලුවකි. සහරාන්ගේ හා මොහමුදු හස්දුන්ගේ ආරම්භය අබ්දුල් රාසික්ගේ තව්හිද් ජමාත්ය. බුදුන්වහන්සේ මිනී මස් කෑ බවට ආන්දෝලනාත්මක කතාවක් කීවේ ඔහුය.

අබ්දුල් රාසික් බුද්ධි ආරක්ෂක අංශ සමග සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු බවට ද, 2015 ට පෙර ආරක්ෂක අමාත්‍යාංශයට ආ ගිය අයෙකු ලෙසද, ප්‍රහාරයෙන් පසු පැවැති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ දී ප්‍රකාශ විනි. නමුත් මේ කොමිසම එය ඉදිරියට ගෙන ගිය බවක් දක්නට නැත.

ප්‍රහාරයට පෙර අයි.එස්.අයි.එස්. ධජය ඉදිරිපස සිට සහරාන් දුන් ප්‍රකාශයෙන් නවසීලන්ත ක්‍රිස්චර්ච් ප්‍රහාරයට හා ඥානසාර හිමිගේ ප්‍රකාශයන්ට පළිගැනීමක් ලෙස ප්‍රහාරය එල්ල කරන බව කියයි. එසේනම් ඔහු පන්සල්වලට පහර නොදී පල්ලිවලට පහරදුන්නේ ඇයි කියා කිසිවෙක් විමසන්නේ නැත. ප්‍රහාරය 2019 ට ගෙනවිත් පල්ලිවලට පහරදීමෙන් වාසියක් අත්වන්නේ කාටද යන්න විමසා බැලීම මෙහිදී වැදගත්ය. එසේම සහරාන්ගේ ගිණුම්වලට මුදල් බැර කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු කොමිසම හෙළිකර නැත. මේ සියලු කාරණා හා සසඳද්දී පාස්කු කොමිසම ද සාම්ප්‍රදායික වාර්තාවක් රටට ඉදිරිපත් කර ඇති බව පෙනී යයි.
කොමිසමෙන් නිර්දේශ කර ඇති පුද්ගලයන්ට නඩු පවරා දඬුවම් දිය හැකිද යන්න පවා ගැටලුවකි. කොමිසමේ වාර්තාවෙන් සොයා නැති එකම කරුණ වන්නේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටි මහ මොළකරුවන් කව්ද කියා පමණකි. මැතිවරණවලදී සියලු ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කළ යුතු බවට මෙන්ම ඡන්දය නොදමන පුද්ගලයන්ට දඩ ගැසිය යුතු බවට ද මේ වාර්තාවෙන් යෝජනා කර තිබේ. පාස්කු කොමිසම නමින් මාධ්‍ය ඔස්සේ පෙන්නූ තවත් එක් නාට්‍යක් පමණක් අවසන්ව ඇත.
-ලසන්ත වීරකුලසූරිය

Leave A Reply

Your email address will not be published.