වැලිකඩත් චීනයට ?

වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන ගොස් අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පතකිරීමට සැලසුම් කර ඇති බව ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

එමගින් බන්ධනාගාර තුළ පවතින තදබදය ද අඩු කරගත හැකි බව ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත.

“ලංකාවේ සිටින භයානක කියලා කියන සිරකරුවන් සියලුදෙනාම මේ බන්ධනාගාරයට ගේන්නයි බලාපොරොත්තුව. දැනට මෙහි අධි ආරක්ෂිත කුටි 32ක් තියෙනවා. තවත් කුටි 32ක් මාස දෙකකින් අපිට නිමකර ගන්න පුළුවන් වෙයි. බන්ධනාගාර අමාත්‍යාංශය භාර ගන්නකොට බන්ධනාගාරවල 30,000ක් විතර රැඳවියන් හිටියා. අද අපි ඒක 19,000කට පමණ අඩු කරලා තියෙනවා. අපි විශේෂයෙන්ම බලාපොරොත්තුවෙන්නේ වැලිකඩ බන්ධනාගාරය හොරණට ගෙන ගිහින් අධි ආරක්ෂිත නවීනතම බන්ධනාගාරයක් හදලා බන්ධනාගාර තදබදය අඩු කරන්නයි.”

කෙසේ වෙතත් පසුගිය දෙසැම්බර් 25 වැනිදා මහනුවරදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ලොහාන් රත්වත්තේ සඳහන් කළේ අක්කර 48 කින් යුත් වැලිකඩ බන්ධනාගාර ඉඩම ඉහළ වාණිජ වටිනාකමකින් යුක්ත බැවින් එය වෙනත් වාණිජ කටයුත්තක් සඳහා භාවිත කිරීමට අවධානය යොමුව ඇති බවයි.

කෙසේ වෙතත් එම වාණිජ කටයුත්ත කුමක්දැයි ඔහු එහිදී සඳහන් කර තිබුණේ නැත.

සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චෝදනා කරන්නේ අදාළ ඉඩම චීන සමාගමකට පැවරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

ඉහළ වටිනාකමකින් යුත් මේ ඉඩම කෙරෙහි චීනයේ අවධානය යොමුව ඇති බැවින් වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන ගොස් මෙම ඉඩම හිස් කිරීමට මේ වන විට කටයුතු සකස් කරමින් සිටින බව ද එම සංගමය අවධාරණය කර සිටී.

Leave A Reply

Your email address will not be published.