කැකිල්ලේ කොමිසමේ නිර්දේශයෙන් ළමා ඝාතන සැකකරුවන් නිදහස්

2015 ජනවාරි මස 08 වැනි දින සිට 2019 නොවැම්බර් 16 වැනි දිනෙන් අවසන් වූ රාජ්‍ය සංස්ථාවල සේවකයන්ට, සන්නද්ධ හමුදාවල සහ පොලිස් සේවයෙහි සාමාජිකයන්ට සිදු වී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර බලා තොරතුරු ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව කැබිනට් මණ්ඩලය ද අනුමත කර ඇති අතර, අදාළ තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තවත් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර ඇත.

අමාත්‍ය මණ්ඩලය අනුමත කළ සන්දේශයේ අයිතම 09 යටතේ පැමිණිලි අංක 01/2020, 05/2020 වෙත අවධානය යොමු කරමු.

එදා 2009 මැයි මස 28 වැනි දින එවකට නාවික හමුදාපති වූ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාව සිටි එච්.ඒ.ඩී.එන්. සම්පත් මුණසිංහ (භගඍගඞග 0948) නොහොත්, නේවි සම්පත් විසින් පුද්ගලයන් 5 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමත් හා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ රහස් සබඳතා පැවැත්වීම පිළිබඳව ලිඛිතව පරීක්ෂණයක් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ. සිය නාවික හමුදා නිලධාරීන් යොදවා කරන ලද පරීක්ෂණයේ දී සම්පත් මුණසිංහගේ නිල කාමරය පරීක්ෂා කර ඇති අතර, සැකකටයුතු ලියකියවිලි, හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර ආදිය රාශියක් සොයා ගත් බව ද පැමිණිල්ලේ සඳහන්ය.

අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අධිකරණය මඟහැර මෙම ආණ්ඩුව (ජනාධිපති) බලයට පත් වූ පසු දේශපාලන පළිගැනීමක් ලෙස හුවාදක්වා මෙම නඩුවෙන් නිදහස් වී ඇත. පැමිණිලිකරු සේ ම සැකකරුවකු ද වන්නේ ඔහු ම ය. කිසිම සැකයකින් තොරව නඩුව ඔප්පු වෙමින් තිබිය දී මෙසේ ජනාධිපති කොමිසමක් හරහා නඩුව ඉවත දමා නිදහස් වීම නිසා දැන් කිසිදු ඝාතකයකු නැත. සියල්ලෝ ම නිදොස් ය.

මේ අනුව පොලිස්පතිවරයා අපරාධ හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පරීක්ෂණය භාර දී ඇති අතර, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන විසින් පොලිස් පරීක්ෂක කුලරත්න, උප පොලිස් පරීක්ෂක විජේරත්න ඇතුළු කණ්ඩායමක් හරහා පරීක්ෂණ අරඹා තිබේ. මේ බව දැනගත් සම්පත් මුණසිංහ නාවික හමුදාවෙන් පලා ගොස් 2009 ජුනි මස 10 වැනි දින එවකට යුද හමුදාපති වූ ජෙනරාල් සරත් ෆොන්සේකා වෙත භාර වී තිබේ. වසන්ත කරන්නාගොඩ සරත් ෆොන්සේකා සමඟ අමනාපයෙන් පසුවන බවත්, සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට කරන්නාගොඩ දුන් උපදෙස් නොපිළිපැදීම නිසා වෙනත් අය කළ පැහැර ගැනීමක් හා අතුරුදන් කිරීමක් තමන් වෙත පටළවා තමා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව සම්පත් මුණසිංහ ප්‍රකාශ කළ බව පැවැසේ.

සරත් ෆොන්සේකා එවකට සිටි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව ඔහු සම්පත් මුණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත. ඉන් පසු පුරා වසරක කාලයක් එනම්, 2010 ජුනි 09 වැනි දින දක්වා සම්පත් මුණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි අතර, දීර්ඝ විමර්ශනයකින් පසු අධිකරණයට කරුණු වාර්තා කර 2011 මාර්තු මස 30 වැනි දින ඇප මත මුදාහැර තිබේ.

1979 අංක 35 දරන අපරාධ නඩු විධාන පනතේ 1 වැනි පරිච්ඡේදයේ 115(1), 2, 3, 4, සහ 12(1), 2, 3 වැනි වගන්ති යටතේ නඩු අංක බී. 732/2009, කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ මහේස්ත්‍රාත්වරයා වෙත එදා ඉදිරිපත් කර ඇත්තේ, විශේෂ අපරාධ පරීක්ෂණ ඒකකයේ එම්.ඒ.එස්. රන්ජිත් මුණසිංහ විසිනි. දීර්ඝ කාලයක් පරීක්ෂණ පැවැති අතර, අංක 782/09 යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව විභාග කරන ලදී.

මෙම නඩුවේ සැකකරුවෝ 16 දෙනෙකි. ඔවුන්ගෙන් තුන්දෙනෙක් පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ රජයේ සාක්ෂිකරුවන් වූහ. සම්පත් මුණසිංහ ද සාක්ෂිකරුවකු වූ බව පැවසේ. නාවික හමුදා සෙබළුන් වූ බණ්ඩාර, කුමාර හා ධර්මදාස යන අය රජයේ සාක්ෂිකරුවන් වූ අතර, නඩුව ක්‍රමයෙන් මුල් ස්වරූපයෙන් බැහැර වූ බව පෙනේ.

එදා මුල් පැමිණිලිකරු වූ වසන්ත කරන්නාගොඩ ලැබුණු සාක්ෂි මත සැකකරුවකු බවට පත් විය. ඒ වන විට ඇමෙරිකාවේ පුහුණු පාඨමාලාවක් හදාරමින් සිටි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අද්මිරාල් ඩී.කේ.පී. දසනායක ද සැකකරුවකු විය. කමාන්ඩර් සුමිත් රණසිංහ ද, තවත් පිරිසක් ද සැකකරුවන් ලෙස අත්අඩංගුවට පත් විය. වෙලගෙදර නම් සාක්ෂිකරු ඇසින් දුටු සාක්ෂි මත නාවික හමුදා බුද්ධි අංශයේ තුෂාර මෙන්ඩිස් හා සෙබළ ගාමිණී යන අය ද අත්අඩංගුවට පත් වූහ. අධිකරණය, පොලිසිය දැනුම් දුන්න ද, සිතාසි යැව්ව ද වසන්ත කරන්නාගොඩ අධිකරණය මඟහරිමින් සිටි බව ද වාර්තා විය. වරෙන්තු තිබිය දී ම ඔහු රාජ්‍ය උත්සවවලට ද සහභාගී විය.

දේශපාලන වශයෙන් වසන්ත කරන්නාගොඩ රාජපක්ෂවරුන් හා සිටි බව රට ම දන්නා රහසකි. දේශපාලන වශයෙන් හෝ නෛතික වශයෙන් හෝ ඔහුට කිසිදු හානියක් සිදු නොවුව ද, ඔහු ජනාධිපති කොමිෂන් සභාව වෙත පළිගැනීම් පිළිබඳව පැමිණිල්ලක් කර තිබේ. දැන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 732-09 යටතේ වූ සියලු චෝදනාවලින් හා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු අංක 1448/2020 නඩුවේ අධිචෝදනා පත්‍ර ඉල්ලා අස් කර ගැනීම මඟින් සියලු චෝදනා නිෂ්ප්‍රභ වී සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කර තිබේ.

මේ නඩු සියල්ල නියමිත ක්‍රියාදාමයට අනුව අධිකරණවලට යොමු වූ ඒවා ය. පසුව අනාවරණය කර ගත් පරිදි මේ වන විට පැහැරගෙන, කප්පම් ගෙන අතුරුදන් කරන ලද පුද්ගලයන් ගණන 11 දෙනෙකි. පොලිසිය නීත්‍යනුකූලව කටයුතු කර නීතිපතිගේ විමර්ශනයෙන් පසු නඩු පවරා තිබේ. 2009 මේ පිළිබඳ පළමු පැමිණිලිකරු වූ වසන්ත කරන්නාගොඩ විත්තිකරුවකු වී ඇත්තේ, තිබූ සාක්ෂි නිසා ය. කෙසේ වුව ද, මේ නඩුවේ පැමිණිලිකරු ඔහු ය. පරීක්ෂණ අරඹන ලද්දෙ 2008/09 පැවති රාජපක්ෂ ආණ්ඩුව කාලයේය. පරීක්ෂණවල දී හෙළිදරවු වූ කරුණු අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් නමුත්, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අධිකරණය මඟහැර මෙම ආණ්ඩුව (ජනාධිපති) බලයට පත් වූ පසු දේශපාලන පළිගැනීමක් ලෙස හුවාදක්වා මෙම නඩුවෙන් නිදහස් වී ඇත. පැමිණිලිකරු සේ ම සැකකරුවකු ද වන්නේ ඔහු ම ය. කිසිම සැකයකින් තොරව නඩුව ඔප්පු වෙමින් තිබිය දී මෙසේ ජනාධිපති කොමිසමක් හරහා නඩුව ඉවත දමා නිදහස් වීම නිසා දැන් කිසිදු ඝාතකයකු නැත. සියල්ලෝ ම නිදොස් ය.

සැකකරුවන් 16 දෙනකු සිටිය ද, අදාළ කොමිසම වන්දි ගෙවීම්, අහිමි වූ රැකියාවේ නැවත පිහිටු වීම්, හිඟ වැටුප්, විදේශ පුහුණු වීම් ආදී සියලු දෑ ලබා දී ඇත්තේ, තිදෙනකුට පමණි. අද්මිරාල් කරන්නාගොඩ, රියර් අද්මිරල් ඩී.කේ.පී. දසනායක, හා කමාන්ඩර් සුමිත් රණසිංහ ඒ තිදෙනා ය. මෙය ද එක්තරා විදියක දේශපාලනමය පළිගැනීමකි. පළමු සැකකරු සම්පත් මුණසිංහ හෙවත් ‘නේවි සම්පත්’ රාජා කොල්ලුරේගේ දියණිය වන උදිතා කොල්ලුරේ හා විවාහ වූ පුද්ගලයා ය. අද මේ ජනපති යටතේ රාජා කොල්ලුරේ ආණ්ඩුකාර පදවියක් උසුලයි. සත්‍ය වශයෙන් ම මෙය නම්, කැකිල්ලේ රජුගේ නඩු තීන්දුවකි. අදාළ කාලසීමාවේ 2015 සිට 2019 දක්වා වූ යුගයේ නොපැවරූ නඩුවක් ප්‍රබල සාක්ෂි මත හා රජයේ සාක්ෂිකරුවන් වී සිටින පුද්ගලයන් සැපයූ සාක්ෂි මත දිගින්දිගට ම ගෙන ගිය නඩුවක් දේශපාලන පළිගැනීමක් වූයේ කෙසේ ද? මෙම ජනාධිපති කොමිසමේ ක්‍රියාපටිපාටිය හා තීරණ ද, නිර්දේශ ද අතිශය ප්‍රශ්නකාරී ය ●

ඩී. බී. ඇල්කඩුව
Leave A Reply

Your email address will not be published.