අපේ සිනමා අසල්වැසියා – සත්‍යජිත් රායි

රුපියල් අටක මාසික වැටුපකට වෙළද දැන්ව්ම් ආයතනයක ටොපි චොකලට් සබන් දවටන කවර සිතුවමි කල බෙංගාලි තරුණ කොලු ගැටයකුට එක්තරා සිහිනයක් විය. ඒ කෙසේ හෝ සිනමාව නම් වු මහා කලා මාධ්‍යය දෙසට නැඹුරු විමටයි. මෙම සිතිවිල්ල සිය හදවත් පතුලේ සගවා ගත් හෙතෙම බෙංගාලයේ කල්කටා නුවර වීදි පුරා ඇවිද ගියේ කවදා හෝ සිනමා සංගමයක් අරඹන්නෙමියි යන සිතිවිල්ලෙනි. .ඒ අනුව වර්ෂ 1947 දී කල්කටා චිත්‍රපට කවය පිහිටුවා ගත් මේ අපුරු තරුණයා ඉන් අනතුරුව බෙංගාලි සාහිත්‍යවේදී බිබුති බුෂන් බන්ධ්‍යත්පාදිගේ පාතර් පංචලී නවකතාවට පෙමි බදින්නට පටන් ගත්තේය. . එකල ඉන්දියාවට චිත්‍රපටයක් කරන්නට ආ ප්‍රංශ සිනමාකරු රෙනුවාට මේ අපූරු තරුණයා නිතරම පැවසුවේ පාතර් පංචලී පිළිබදවය. . ඉන් මාස කිපයකට පසුව රැකියාව නිසාම ලන්ඩන් නුවරට පියාසර කරන ඔහු ලන්ඩනයේ සිටි මාස තුනක් වු කෙටි කාලය තුල නොකඩවා චිත්‍රපට 99ක් නරඹන්නේ සිනමාවට ඇති ඇම්ම නිසාමය. . මේ අපුරු යෞවනයා අන් කවුරුවත් නොව ජගත් සිනමා රන් දෙවොලට අනගි සි‍නමා පිලිම රැසක් දායාද කල මහා සිනමාවේදි සත්‍යජිත් රායි ය. .

කිසි දිනෙක සිනමා කැමරාවකට අත නොතැබු සුබ්රා මිත්‍ර සමග “පාතර් පංචලී”

රායි ගේ සිනමා ජිවිතයට මුලකුරු කියැවෙන්නේ සිනමා ඇදුරන් හා පාසල් තුල නොවේ. . සිය පියා කුඩා කලම මිය යාම නිසා ගෙයි තනිවන විට විටෙක ඔහු ලෝකය හා ගනුදෙනු කරන්නේ සිය නිවසේ තිබු කුඩා සිදුරකින් මාවතේ යන එන මිනිසුන් දෙස වීදුරු කැබැල්ලකින් බලමිනි. . බිත්තියේ සිදුරින් තමා දකින මාවතේ යන එන මිනිස් රුප හා එහි චලන -ඒ මත වැටෙන විවිධ ආලෝක රටාවන් -පසුබිමින් ඇසෙන ස්වභාවික නාදයන් දකින්නට තමා පැය ගණන් බිත්ති සිදුර ලග සිටි බව රායි පවසන්නේ සිය බාලවියේ මතක අවදි කරමිනි . එම රුපයන් ඔහුගේ ප්‍රථම චිත්‍රපටය වූ පාතර් පංචලී වලදී ද අපට හමුවෙයි. . දුර්ගා තම මලනුවන් වන ඕපු දෙස බිත්ති සිදුරකින් බලනු අපට මතකය . එසේම චාරුලතා චිත්‍රපටයේ තනිකම මකා ගැනීමට මහා මන්දිරයේ කුඩා කවුඵවකින් බයිනෝවක් තුලින් එබි බලන චාරුලතාව අප මතකයට නැගෙයි .
පාතර් පංචලි නිමවන්නට මුදල් නොමැති නිසා නොකඩවා වේගයෙන් රැකියා කරන්නටත් එම ඉපයීම් ඉතුරු කරන්නටත් රායිට සිදුවෙයි . අවසානයේ චිත්‍රපටය තැනිමට තම ජීවිත රක්ෂණයද විකුණා දමන රායි කිසි දිනෙක සිනමා කැමරාවකට අත නොතැබු සුබ්රා මිත්‍ර ද සමග පාතර් පංචලී නිර්මාණය කරයි . මුළුමනින්ම ආධුනිකයන් එකතුව බිහිවන රායිගේ නෑඹුල් ඵලය වු පාතර් පංචලී ඉන් අනතුරුව 1956 දී ලොව සිනමා කරැවන්ගේ ක්ෂේම භුමියක් වූ කාන් සිනමා උළෙලේදි හොදම මානවිය සිනමා පටය ලෙසින් සමිමානයට පාත්‍ර වෙයි .
පාතර් පංචලි තුලින් ලද ආස්වාදය නිසාම අනතුරුව ඕපුගේ ජීවිතය අළලා අපුර් සංසාර් සහ අපරාජිතෝ නිර්මාණය කරන්නට රායි සමත් විය. . ඕපුගේ ගැටවර කාලයත් ඉනික්බිති තාරුණ්‍යෙයේ මල්බර විය හා විවාපත් ජිවිතයටත් බෙංගාලි පුරයේ ජීවන හුස්ම පිඹින මෙම අපුරැ ඉන්ද්‍රජාලිකයා එතැන් පටන් ඉන්දීය නාමය ලොවට ගෙනගිය බෙංගාලි තානාපතිවරයාම වීය .
ඕපු ත්‍රිත්වයේ දෙවැන්න වු අපරාජිතෝ තුලින් කුඩා ඕපුගේ ගැටවර විය නිරුපණය වෙයි . ඕපුත් මවත් -පියා වන හරිහර්ත් සිය ගමෙන් පැමිණ නගරබද ඇති ගංගා නදිය අසල ජීවත් වීමට පටන් ගනිති . පියා හින්දු පුජකයකු ලෙස සේවය කරන අතර අවසානයේ රෝගි වීම නිසා මියයයි . ඉනික්බිති ඕපු සහ මව අතර පවතින ආත්මීය සබදතාවය තිර්ව කරමින් රායි අපව ගංගා නම් නදියත් කල්කටා පුරවරයත් හරහා වට වන්දනාවක කැදවා ගෙන යයි . මව ගෙන් සමුගෙන වැඩි අකුරු උගෙනුමට නගරයට යන ඕපුත් සියල්ල අහිමිව හුදෙකලා වන හරිජයා නම් මවගේ ශෝකයත් රායි අපට පෙන්වන්නේ මුනිවරයකු විසින් රන් දෙවොලක සිතුවම් කල අනගි චිත්‍රයක් ලෙසිනි .

1957 දී වැනිස් සිනමා උළෙලේ හොදම චිත්‍රපටය ”අපරාජිතෝ’

ඒ නිසාම අපරාජිතෝ චිත්‍රපටය 1957 දී වැනිස් සිනමා උළෙලේ හොදම චිත්‍රපටයට හිමි රන් සිංහ සමිමානය ට පාත්‍ර විය. එපමණක් නොව එම වසරේම බර්ලින් සහ කාන් සිනමා උළෙලයන්හි ප්‍රධාන සමිමානයන්ද අපරාජිතෝට හිමිවිය .
ඕපු ත්‍රිත්වයේ අවසන් කොටස ලෙසින් සත්‍යජිත් රායි නිමවු අපුර් සංසාර් රායිගේ සිනමා ජීවිතයේ තවත් කඩඉමක් සටහන් කරන්නකි . සිය මවගේ මරණයෙන් පසුව කල්කටාවේ තනිවන ඕපු රැකියාවක් නොමැතිකම නිසා දුක් විදින්නට පටන් ගනියි . වැඩි දුර උගෙන ගැනිමට ඇවැසි සි වුවත් මිල මුදල නොමැතිකම නිසා අසරණ වන ඕපු කල්කටාවේ තනිවෙයි .ඒ අනුව ඕපු නවකතාකරැවකු වීමට සිහින මවයි . . එක්තරා දිනෙක තම මිතුරකුගේ ඇරයුමෙන් ඈත ගමක තරුණියකගේ විවාහ මංගල උත්සවයකට යන ඔහු නොසිතු විරු ලෙස විවාහයේදි අත්හැර දැමු මනාලිය වු අපර්ණාව තම කුටියට කැන්දාගෙන එයි . දරු ප්‍රසුතියේදි අපර්ණා මිය යන අතර ඉන් මානසිකව කමිපා වට පත්වන ඕපු සිය බිලිදු පුතු අත්හැර ඉන්දියාව පුරා ඇවිදිමින් ගමනාන්තයක් සොයයි .
කල්කටා පුර මැද සියතින් ගිලිහි යන ජීවිතය නැවත අල්ලා ගන්නට වෙර දරන අපුරු බැතියකුගේ ශෝකාලාපය කියාපාන අපුර් සංසාර් සැබැවින්ම ජගත් සිනමාවට අඹන ලද අනගි සිතුවමකැයි පැවසීම අතිශෝක්තියක් නොවේ . සොමිත්‍ර චැටර්ජි හා ෂර්මිලා තාගෝර් ගේ විස්මිත රංග ලිලාවන්ගෙන් ඔප නැංවුනු අපුර් සංසාර් යනු බෙංගාලයේ තවත් එක් මධ්‍යම පාන්තික ප්‍රේම පුරාවතක් නමි නොවේ . එය හුදු ප්‍රේමය නම් සත්තාවෙන් එහාට දිවෙන අපුර්ව හැගුමි සමුදායකි . අපුර් සංසාර් චිත්‍රපටය තිරගත වී අද වනවිට වසර 57 ක් ගෙවී ගොස් තිබුනද එහි පවතින නැවුමි ආස්වාදය සැබැවින්ම අපුරුය . එය අප මතකයෙන් සදා අමතක නොවන්නකි .

රවීන්ද්‍රනාත් තාගෝර්ගේ කතාවකින් ප්‍රති නිර්මාණය වු ‘චාරැලතා’

ඉන්දිය මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්ගේ කතාවකින් ප්‍රති නිර්මාණය වු චාරැලතා සත්‍යජිත් රායි විසින් නිර්මාණය කල තවත් ප්‍රශස්ත රුප කාව්‍යයකි . පුවත් පත් දේශපාලනයට පිවිස කුටුම්භය අමතක කල සැමියකු නිසා සිරවන අහිංසක බෙංගාලි ගැහැණියකගේ ජීවිතය කියාපාන චාරුලතා රායි නිර්මාණය කලේ 1964 දීය .
. කල්කටාවේ ධනවත් මන්දිරයක භුපතිත් ඔහුගේ සුරෑපී බිරිද චාරුලතාත් ජීවත් වෙති . . භුපති සිය පුවත් පත මගින් දේශපාලනයට පිවිස සිටින අතර ඒ නිසාම සිය බිරිද හා අල්ලාප සල්ලාපයේ යෙදිමේ කාලය ඔහුගෙන් ගිලිහි යයි. .එය තේරැම් ගත් ඔහු සිය සහෝදරයකු වන තරුණ අමල්ව ගෙන්වා ගන්නේ චාරුට උපකාර කිරීමටය. අමල්ගේ පැමිණිමත් සමගම චාරුගේ සිතුම් පැතුම් නිදහස් වන්නට පටන් ගනී. . ඇය අධ්‍යාත්මිකව නොදැනිම මෙන් අමල්ට සමීප වෙයි. එහෙත් ඒ වනවිට අමල් යළිත් චාරැගේ මහ මන්දිරයෙන් පිටව ගොසිනි. චාරුලතා යළිත් මන්දිරය තුල සිරවන කිරිල්ලියක බවට පත්වෙයි . අවසානයේ චාරුත් ඇගේ සැමියාත් නැවත සමගි වන බවක් අපට පසක් වෙයි .මෙම සරල කතා පුවත කේන්ද්‍ර කරගත් රායිගේ චාරැලතා සිත්තම නව කතාවේ හුදු සරල බව පරදවමින් සිනමා සහෘදයන් තුල විශ්මයජනක රූපාවලියක් මවයි . මහා මන්දිරයේ සිරවු චාරුගේ ජීවිතය කියාපාන සංඛෙත රුප මවන රායිගේ සිනමා රුප සහ කෝණ උසස් සංගීත නිර්මානයකදී එකිනෙක මුසු කරන ලද ස්වර රටාවක් මෙන් අප සිත් පහන් කරවයි .
මන්දිරයේ මහා කුලුණු – විශාල කොරිඩෝවන් – සුව පහසු කාමර හරහා දිවෙන කැමරාව හා බැදුනු ආලෝකය හා අදුර අපට කියාපාන්නේ එහි ජීවත්වන චාරැලතාගේ හුදෙකලාව මිස අන් කුමක්ද ? හදිසියේ හමා එන සුළං මාරැතයත් සමගම මන්දිරයට පැමිණෙන අමල්ව අප දකිමු . ක්ෂණයකින්ම මන්දිරය තුල මෙතෙක් පැවති ආලෝක රටා වෙනස් වන්නට පටන් ගනී . ඒ සමගම නැවත ජීවිතයට පණ පොවන චාරැලතාගේ පිබිදීම අප අත් විදින්නෙමු .

රායි ප්‍රිය කරන චිත්‍රපටය ‘චාරැලතා’

සිනමා රූප ගුණයෙන් අනූන වු චාරැලතා 1965 දී බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලේ ප්‍රධාන සම්මානයටද පාත්‍ර විය .එසේම එය ලොව දහස් සංඛ්‍යාත සිනමා රසිකයන් අමන්දානන්දයට පත්කල සිනමා පටයක් ලෙස හැදින්විණි .වරක් සිනමා අදියුරු රායිම ප්‍රකාශ කලේ තම සියළු චිත්‍රපටවලින් තමා වඩාත් ප්‍රිය කරන චිත්‍රපටය චාරැලතා බවයි . එසේ වුවද චාරැලතා නිර්මාණය කිරිම රායිට පහසු කටයුත්තක් නොවිණි . එහි සියලු ඇතුලත රූප ගත කිරිමි මැදිරි තුල සිදුවු අතර සියලු පසුතල නිර්මානය කරන්නට ද සිදුවිණ . අනෙක් කරුණ වූවේ රායි විසින් චාරැලතා සදහා තෝරා ගන්නා ලද මාධබී මුකර්ජි දැඩි ලෙස බුලත් කැමට පුරුදු වි සිටි නිසා ඇගේ දසන් දෙපල අවර්ණ ව තිබීමයි . එකල දත් සුදු කිරිමට සමත් වෙස් ආලේප භාවිතා නොවූ අතර ඒ නිසාම චාරැලතාගේ දසන් නොපෙනෙන ලෙස තමාට කැමරා කෝණ සාදන්නට සිදුවු බව රායි සදහන් කරයි .
රායි නිර්මාණය කල චිත්‍රපට අතර “ මහා නගර් , ද ඉතා අගනා කාතියක් ලෙස හැදින් වෙයි. කල්කටා නගරයේ ජිවත් වන මධ්‍යම පාන්තික යුවළක් වටා ගෙවුනු මහා නගර් වල කතා නායිකාව අර්තී නමි ගැහැණියයි. . සිය සැමියා සහ පවුල ජීවත් කිරීම වෙනුවෙන් දොරින් දොරට යමින් බඩු විකුණන ගැහැණියක වු අර්තී ලෙස මෙම චිත්‍රපටයේ රගපෑවේ මාධබී මුකර්ජිය . ආර්ථික අහේනිය නිසා දුකට පත් සිය පවුල නගා සිටුවන්නට උර දෙන නිදහස් ගැහැණියත් කල්කටාවේ වෙළද සමාජයත් නිරූපිත මහා නගර් කෙරෙහි සිනමා විචාරකයින් එකල නෝක්කාඩු වුවද මහා නගර් තුල සැගවුනු රායිගේ සිනමා කෞශල්‍යය කිසි විටෙක සුළු කොට සැලකිය නොහැක්කකි. මහා නගර් 1964 දී 14 වන බර්ලින් සිනමා උළෙලේ ප්‍රධාන සම්මානය දිනාගත් කාතියකි .

ප්‍රති ද්වන්ධි සිනමා කාතියද රායිගේ සිනමාවේ අප්‍රකට බව ලොවට හඬගා කියන සිත්තමකි. . මෙතෙක් පුද්ගලවාදි දෘෂ්ටියකින් චරිතවල අභ්‍යන්තරයට කතා කල රායි සමාජ අසාධාරණය‘ දේශපාලන දැක්මකින් සෘජු ලෙස ප්‍රකාශ කරනුයේ මෙම චිත්‍රපටය තුලිනි. . ප්‍රති ද්වන්ධිහි නිරැපිත සිද්ධාර්ථ චරිතය අපට සදා අමතක නොවන්නකි . සිද්ධාර්ථ විරැකියාව නිසා කල්කටා පුරය පුරා ඇවිදින්නේ රැකියාවක් සොයන්නටයි . සමිමුඛ පරික්ෂණයකදී බලධාරින් ඔහුගෙන් අසන්නේ පසුගිය දශකයේ සිදුවු වැදගත් සිදුවීම කුමක්ද යන්නයි ? සිද්ධාර්ථ එයට පිළිතුර ලෙස සදහන් කරන්නේ වියට්නාම් යුද්ධයයි . මෙම පිළිතුර නිසාම ඔහුට රැකියාව ලැබීම අහිමි වෙයි. බළධාරින් ඔහු කොමියුනිස්ට් කාරයකු ලෙස සලකා බැහැර කරන අතර අවසානයේ සිද්ධාර්ථ තමාට හමුවන ඕනැම දෙයක් රැකියාවලෙස කරන්නට පටන් ගනියි .සිද්ධාර්ථ ලෙස රගපාන්නේ එකල තාරුණ්‍යයේ හිනිපෙත්තේ සිටි ද්‍රතිමන් චැටර්ජිය. . ඔහු සැබැවින්ම රංගධරයෙකි . වියපත් වු පසුත් රංගනයේ යෙදුනු චැටර්ජි මේ දිනවල තිරගත වන හදගමගේ ඇගේ ඇස අග චිත්‍රපටයේ මහාචාර්ය වරයා ලෙසද රගපායි .
ඉන් නොනවතින රායිගේ සිනමාව අනතුරුව තීන් කන්‍යා- ජල්සගාර්- හරේක් රාජා දේහ්- ඝාරේ බයිරේ- දේවී-කන්චින්ජුන්ගා- නායක්- ආරාදින් රාත්‍රි – ජන ආරණ්‍යා දක්වාම දිවෙයි . රායි කෙතරමි විශිෂ්ඨ චිත්‍රපට නිර්මාණය කලද ඔහුගේ බොහෝ චිත්‍රපට ආදායම් වාර්තා වලට සමීප වුවේ නැත . ඒ නිසාම ඔහුට නිෂ්පාදකයින් සොයා ගැනීමට හැකි චිත්‍රපට කල හැකි බව ලොවට පෙන්වන්නට සිදුවිය . රායි ජල්සාගර් චිත්‍රපටය කරන්නට සැරසෙන්නේ “අපරාජිතෝ, සිනමා කාතිය තුලින් පාඩු ලැබිම නිසා බව පෙනේ .ඒ බව ස්ථිර කරමින් ඔහු වරෙක සිය පොතක සටහනක් තබන්නේ තමා අන් චිත්‍රපට වල ඇති සේ නැටුම් ගැයුමින් පිරි කෘතියක් කල යුතුව තිබූ බවයි . ධනවත් එක් රදල ඉඩමි හිමියකුගේ ගරා වැටෙන ජීවිතය පිලිබදව විවරණය කෙරෙන ජල් සගාර් ඒ අනුව බිහිවන අතර එය නැටුම්න් ගැයුමින් යුත් සිනමා පටයක් වෙයි . එහෙත් එහි සැගව ඇති රායිගේ සිනමා ඉම අති විශිෂ්ටය . එය සිනමා රූපී බවින් අති මුවහත්ය . එසේම ජල්සගාර් ඉන්දියානු බෙංගාලි චිත්‍රපටයක් ලෙසින් ආදායමි ඉපද වූ බවද පෙනේ .

සත්‍යජිත් රායිගේ සිනමා රීතිය ලෙස්ටර් ජෙම්ස් පීරිස් තුලද හමු වෙයි

සත්‍යජිත් රායිගේ සිනමා රීතිය සැබවින්ම ධ්‍යානශීලි වුවකි . එය ආසියානු කලාපයේ 60 වන දශකයේ සිටි බොහෝ සිනමා ඇදුරන් තුලද දක්නට ලැබෙයි. ජපානයේ ඕසු – ශ්‍රී ලංකාවේ අප සිනමාවේ පියාණන් වන ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මැතිදුන්ගේ සිනමා පට තුලදීද අපට මෙම රිතිය හමුවෙයි . රායි සැබැවින්ම සාහිත්‍යෙයන් පෝෂණය ලැබු සිනමාකරුවකු ලෙසද සැලකිය හැකිය . රූප ඥානය ඉහලින්ම භාවිතා කල අලංකාර ශිල්ප හරඹ වලින් විනිර්මුක්ත වූ ඔහුගේ රීතිය සැබැවින්ම සරලය . .සම්ප්‍රදායික රූප ඥාණය ප්‍රගුණ කල සිනමා පරම්පරාවට අයත් වූ රායිගෙ සිනමාවල අපට දැකිය හැක්කේද එම සරල වූ නිරායාසයෙන්ම වෘතාන්තය ගලායාමේ හැකියාවයි .
රායි සැබැවින්ම සංගීත විශාරදයෙකි . කවියෙකි. චිත්‍ර ශිල්පියෙකි .බොහෝ කලා ශිල්ප ප්‍රගුණ කල අයෙකි . චාරුලතාහි පියානෝ වාදනය කරන්නේ අන් කිසිවෙක් නොව සත්‍යජිත් රායිමය . චාරැලතා චිත්‍රපටය් සිට සිය සිනමාකාතිවල සංගීතය නිර්මාණය කරන්නේද ඔහුමය .
භාවමය සත්තාවක් වු සිනමාව කල්පනා ලෝකයක් වුවද ඔහුගේ චිත්‍රපට නරඹන විට කුමක්දෝ ආශ්චර්යයක් සිදුවන බවක් මට දැනෙයි . සංගීත ශිල්පියකුගේ අගනා ස්වර රටාවක් මෙන් මතුව එන රායිගේ රූප සමුදාය සදා අමතක නොවෙන අතර විටෙක මම එහි චරිතයන් හා ආත්මිකව බැදෙන්නෙමි . බෙංගාලි ගම්මානයේ පුංචි ඕපු හා දුර්ගා- පෝස් මාස්ටර් තින් කන්‍යාහී තැපැල් මහත්තයාට බැල මෙහෙ කරන දැරියට මෙන්ම චාරැලතා හි අමල් ට මෙන්ම ප්‍රති ද්වන්ධි හි සිද්ධාර්ථට මා මෙතරමි ප්‍රේම කරන්නේ මන්ද ? . ඒ ඉහ වහා ගිය මානව භක්තියකින් යුතුව වෘතාන්තයේ පාත්‍ර වර්ගයාට රායිගේ සිනමා වියමනෙන් පිදෙන දයාබර බැල්ම නිසා යැයි මට සිතෙයි. . .
-සුදත් දේවප්‍රිය (fb)

Leave A Reply

Your email address will not be published.