කොංගෝවේ ඉතාලි තානාපතිවරයා ඝාතනය වෙයි

එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුමකට අයත් රථ පෙලකට අද උදෑසන එල්ල කරන ලද ප්‍රහාරයකින් කොංගෝවේ ඉතාලි තානාපතිවරයා මියගොස් තිබෙනවා. තානාපති ලූකා අත්තනාසියෝ සමඟ ඉතාලි කැරබිනේරි පොලිස් නිලධාරියකුද මිය ගිය බව ඉතාලි විදේශ අමාත්‍යාංශය නිවේදනය කරනවා.
කොංගෝවේ කන්යමහෝරෝ නගරයට ආසන්නයේදී ලෝක ආහාර සංවිධානයේ රථ පෙළට එල්ල වූ ප්‍රහාරය යම් පැහැර ගැනීමේ උත්සාහයක් බවට වාර්තා පළවෙනවා ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකුද මියගොස් තිබෙනවා.
වසර 60 කට න් පසු කොංගෝවේ පළමු වරට ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුවක් සිද්ධ වුණේ 2019 දී. ඒ මැතිවරණයෙන් ජයගත් ෆීලික්ස් ෂිසේකේඩි ජනාධිපතිවරයා බවට පත්වුණා. ඔහුට කළින් බලයේ සිටියේ ජෝෂප් කබිලායි. නමුත් මැතිවරණයේ ඇත්ත ජයග්‍රාහකයා විපක්ෂ අපේක්ෂකයා බව පැවසෙනවා. කබිලා හා ෂිසේකේඩි එක්ව කම්පියුටර් ජිල්මාට් එකකින් විපක්ෂ අපේක්ෂකයා පැරදවූ බවයි මත පලවෙන්නේ.
ප්‍රමාණයෙන් බටහිර යුරෝපය තරම් විශාල කොංගෝව ස්වාභාවික සම්පත් වලින් පොහොසත් රටක්. 1870 දී කොංගෝව අල්ලා ගත් බෙල්ජියම ලෝක ඉතිහාසයේ වාර්තාවන කෲරතම යටත් විජිත පාලනය එහි ගෙනගියා. කොංගෝ ජාතිකයන් මිලියන ගණනාවක් වහලුන් ලෙස භාවිතා කළා. බෙල්ජියම් දරුවන්ට විනෝද වීමට සතුන් මෙන් කූඩුවල දමා බෙල්ජියමයට රැගෙන ගිය බවට වාර්තා තිබෙනවා . පසුව හෙළිවුණේ යටත් විජිත පාලනය නිමා වන විට කොංගෝ ජනගහනයෙන් අඩකට වඩා මරාදමා තිබුණු බවයි.
කොහොම නමුත් නිදහසින් පසුව වුවත් කොංගෝවට ගොඩ යන්න බැරිවුණා. දේශීය දූෂිත පාලකයන් නිසා කොංගෝව තව තවත් වලපල්ලටම ගියා. අසල් වැසි රටවල් සමඟ නිරන්තර ගැටුම් ඇතිකර ගත්තා. බොහෝ ප්‍රදේශ වල විවිධ කැරළිකාර කණ්ඩායම් ක්‍රියාත්මක වෙන වර්තමාන කොංගෝවේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක වනවා.
-ශානක ලියනගම (ලෝකය එකම යායක්)

අන්තර්ජාල ඡයාරූප

Leave A Reply

Your email address will not be published.