සැම්සුන් සමාගමට ඔස්ට්‍රේලියාව නඩු පවරයි

සිය සමාගමේ නිෂ්පාදිත ජංගම දුරකතනවල ජල ප්‍රතිරෝධී උපාංග ඇතුළත් බව සඳහන් කරමින් පාරිභෝගිකයන් නොමග යවන ආකාරයේ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණයට එරෙහිව සැම්සුන් සමාගමට එරෙහිව නඩු පැවරීමට ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික කොමිසම ක්‍රියා කර තිබේ.

පිහිනන විට සහ දිය මත ලිස්සා යන ක්‍රියාකාරකම්වලදී ජංගම දුරකතනය භාවිත කළ හැකි බව පෙන්වමින් සැම්සුන් සමාගම ‘ව්‍යාජ’ තොරතුරු ප්‍රචාරණය සිදු කර ඇති බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම චෝදනා එල්ල කරයි. නඩු පැවරීමට පෙර සැම්සුන් සමාගම පළ කළ 300කට අධික වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක් නැරඹූ බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පැවසීය.

කෙසේනමුත්, සිය සමාගමේ වෙළෙඳ දැන්වීම්වල නිරවද්‍යතාව වෙනුවෙන් පෙනී සිට පැමිණිල්ලට වගඋත්තර ලබා දෙන බව සැම්සුන් සමාගම රොයිටර් පුවත් සේවයට පවසා තිබුණි.

මුහුදු ජලයට නිරාවරණය වීමෙන් සහ නාන තටාකවල භාවිත කිරීමෙන් සැම්සුන් ජංගම දුරකථනවල කල් පැවැත්මට බාධාවක් නොවේ යැයි ඔවුන්ගේ වෙළෙඳ දැන්වීම්වල ප්‍රචාරණය කෙරෙන බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වේ.

තාක්ෂණික උපාංගවල ජාත්‍යන්තර ආරක්ෂණ මිනුම්වලට අනුව සැම්සුන් දුරකතනවල ජලයෙන් සුරක්ෂිත IP68ක් (International Protection Marking) ලෙස සඳහන් කර ඇතත්, එම මිනුමට ලවණ මිශ්‍ර ජලය හෝ නාන තටාකවල ජලය අයත් නොවන බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පවසයි. Galaxy S10 යන ජංගම දුරකථනය මුහුදු වෙරළේ හෝ නාන තටාකවල භාවිත කළ නොහැකි බව සැම්සුන් සමාගමේ වෙබ් අඩවියේ ද දක්වා ඇති බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පැවසීය. වෙළෙඳ දැන්වීමේ පෙන්වන මට්ටමට සැම්සුන් සමාගම සිය ජංගම දුරකථනවල කල් පැවැත්ම පරීක්ෂා කර නොමැති බව ද එම කොමිසම පවසයි.

“පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමේ අරමුණින්, ජංගම දුරකථන භාවිත නොකළ යුතු තැන් වල ගැලැක්සි ජංගම දුරකතන පාවිච්චි කෙරෙන අවස්ථා වෙළෙඳ දැන්වීම්වල පෙන්වනවා,” ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පැවසීය. කෙසේවෙතත්, සැම්සුන් සමාගම පාරිභෝගිකයන් නොමග යවා ඇති බව තහවුරු වුවහොත් ඔවුන්ට විශාල වන්දියක් ගෙවීමට සිදු වෙනු ඇත.

BBC

Leave A Reply

Your email address will not be published.

twelve − two =