මුතු මිණ පසුව මතුවිණ එනමුදු ඔහුය රෝහණ!

ජයලාල් රෝහණගේ සන්නාම කාය ‘මුතුමිණ’ වග නිසැක ය. බොහෝ දෙනා ඔහු හඳුනා ගත්තේ එම චරිතයෙනි. නමුත් ඔහුට ඇත්තේ ඊට වඩා බෙහෙවින් බරපතළ සහ ගැඹුරු ඉතිහාසයක් බව ද තව බොහෝ දෙනෙක් දනිති. 1964 දී උපන් ජයලාල් රෝහණ ද ඇතුළත් පරම්පරාව සිය යොවුන් සහ තුරුණු විය ගෙවා දමන්නේ 80 දශකය සහ ඒ අවට කාල පරාසය තුළ ය. ඒ කාල සීමාව සිහිපත් කළ සැණින් එසැණින් අපේ සිහියට නැගෙන සුප්‍රකට සහ කුප්‍රකට සිදුවීම් බොහොමයක් තිබේ. දළ වශයෙන් ඒවා මෙසේ පෙළ ගසන්නට හැකිය. 80 මහා වැඩ වර්ජනය – යාපනය පුස්තකාලය ගිනිබත් කිරීම – ලාම්පු කළගෙඩි සෙල්ලම – 83 කලු‍ ජූලිය – ඉන්දු ලංකා ගිවිසුම – 88/89 සමය!

එකී පරම්පරාව සිය තාරුණ්‍ය ගෙවා දමන්නේ මෙකී සමාජ – දේශපාලන – සංස්කෘතික චලනයන් සමගිනි. ජයලාල් රෝහණ ද හොඳට හෝ නරකට එම ආභාසයන්ට යටත් වූවෙකු බව ඔහුගේ ම පැරණි ලියවිලි අපට සිහිපත් කර දෙයි.

“…කෝට්ටේ පාගොඩ ආනන්ද බාලිකා මාවත – එවකට පස්වන පටුමග – වරක් රතු කොඩි වලින් ‍පිරී ගියේය. ‘ශාන්ත බණ්ඩාර ස‍හෝදරයා එනවා’ බොහෝ දෙනා කියවන්නට විය. ආනන්ද බාලිකා මා‍වතේ ආණ්ඩුවේ පයිප්ප තුනක් විය. එකක් ආනන්ද බාලිකාව ළඟය. අනෙක ගුණසිරි අයියාගේ ගෙය ළඟය. අනෙක මාවතේ කෙළවර අමරසිංහගේ නිවස ළඟය. මේ ස්ථාන තුන අසළ ශාන්ත බණ්ඩාර සහෝදරයා ඇතුළු පිරිස ඉතා ශූර විලාසයෙන් රැස්වීම් පවත්වමින් ජනතාව ඇමතුවේය. ඒ අතර එකෙකු මගේ කරට අතදාමින් ‘මල්ලී, මට පුංචි උදව්වක් කරනවද?‘ යැයි ඇසුවේය. ඔහුට අවශ්‍ය වූයේ පෑනක් සහ කඩදාසියකි. නිවසට ගොස් එය ගෙනැවිත් දෙන අතර ඔහු මා සමඟ විය. ඒ ටිකට මට කොක්ක ඇමිණී අවසානය…”‍
(‘පෙරමුණක් නැති සෙනෙවියෙකුගේ කගපතක මුවහත’ කෘතියට ජයලාල් රෝහණ ලියූ ලිපියකින් කොටසකි. උපුටා ගැනීම – බූන්දි වෙබ් අඩවිය.)

රෝහණ විජේවීරගේ පක්ෂයේ ‘කොක්ක’ ජයලාල් රෝහණ නම් 21 හැවිරිදි තරුණයාට වදින්නේ එහෙම ය. කෙසේ වුව පසුකාලීනව ඔහු සෘජු දේශපාලනය වෙනුවට කලාව සිය නිශ්චිත ගමන් මාවත ලෙස තෝරාගෙන තිබුණි. ඉක්බිති වේදිකාව තුළ තිරය ඉදිරිපිට මෙන්ම පසුපසත් මහා ශ්‍රමයක්ව වැගිරෙන්නේ ඒ මැදිහත්වීමෙහි ප්‍රතිඵල ය. 1987 දී ‘ලෝකා’ නාට්‍ය වෙනුවෙන් හොඳම නළුවා, හොඳම අංග රචනය, හොඳම වේදිකා පරිපාලනය සහ හොඳම ආලෝකකරණය යන සිව් සම්මාන ජයග්‍රහණය කරද්දී ඔහු යන්තම් 23 හැවිරිදි නෑඹුල් තරුණයෙකි. එතැන් සිට පසුගිය දින සිදුවූ හදිසි සමුගැන්ම දක්වා ඔහුගේ රංගන – කලා – සාහිත්‍යය පෞරුෂය සහ භාවිතය ගැන අපට තක්සේරුවක් කළ හැකිය.
ජයලාල් රෝහණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි. ඔහුගේ විෂයය රසායන විද්‍යාවයි. ඔහු කලා සහ ශාස්ත්‍ර විෂයයන් හදාරන්නේ සිය පශ්චාත් උපාධි වශයෙනි. මේ විද්‍යාව සහ කලාව අතර දෙමුහුම ඉතාම අපූරු ය. ඇතැමුන් විද්‍යාවේ ප්‍රතිවාදියා කලාවත්, කලාවේ ප්‍රතිවාදියා විද්‍යාවත් ලෙස දකින තත්ත්වයක (රත්න ශ්‍රී විජේසිංහ ඔහුගේ ලියුම් සහ කියුම් අතර මේ තත්ත්වය පිළිබඳ මනා විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ.) මෙබඳු ද්වීපාර්ශ්වීය මැදිහත්වීමක අගය වඩා තදින් දැනෙයි.

කෙසේ වුව දේශපාලනික බීකරයක දමා ජයලාල් රෝහණ අනුමාපනය කර බැලීමේ දී ඔහුගේ පසුකාලීන භාවිතාවන් සහ කියුම් – කෙරුම් ගැන යම් ගැටලු‍ ද පැන නගියි. එය වැඩිමනත් එසේ වන්නේ ඔහු දේශපාලනික ගර්භාෂයක උපන් සාහිත්‍යය – කලා දරුවෙකු බැවිනි. ආරම්භක මතවාදවලින් විතැන් වුවද වඩා ප්‍රගතිශීලී අදහස් දරමින් ‘වැඩ’ කරන කලාකරුවන් අපට දක්නට ලැබෙයි. නමුත් ජයලාල් රෝහණගෙන් අපට පසුකාලීනව බොහෝ විට දැකගන්නට ලැබුණේ නිශ්චිත දෘෂ්ටිවාදයකින් තොරව හුදු ජනප්‍රිය වදන් තෙපලන මිනිසෙකි. ඒවා සමාජ මාධ්‍ය තුළ ද බොහෝ සේ ජනප්‍රිය වෙමින් හුවමාරු විය. නමුත් ජයලාල් රෝහණ යනු ඊට වඩා තියුණු සහ දියුණු මැදිහත්වීමක් කළ හැකි විභවයක් සහිත ව සිටී මිනිසෙකු වග අපේ විශ්වාසයයි.
තත්ත්වය එසේ වුව කේවල චරිත පමණක් නොව දේශපාලන පක්ෂ සහ මහා සිවිල් සංවිධාන පවා බුරුතු පිටින් අයාලේ ගිය – යමින් සිටින සමයක ඔහුට ‘ස්තුතියි, සුබ ගමන්’ කියා කියන්නත්, පතන්නත් අප එය බාධාවක් කරගන්නේ නැත.
-කසුන් සමරතුංග

Leave A Reply

Your email address will not be published.