එම්.සී.සී’ ක්‍රියාත්මකයි: වනාන්තර කපන්නේ ගෝඨාභයගේ වුවමනාවට ද?

ගෝඨාභය රාජපක්ෂ නම් බළල් අත විසින් මේ ක්‍රියාවට නංවමින් සිටින්නේ ඔහුගේ තනි කැමැත්තක් නොවේ. එහෙත් ඔහුට මේ කරන දැවැන්ත අපරාධයෙන් ගැලවිය නොහැකිය. ඔහුත්, ඔහුගේ කැබිනට් මණ්ඩලයත් මේ කරමින් සිටින්නේ ඇත්තටම රටේ පාලනය හසුරුවන, ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා ඉටුකිරීම ය. පසුගිය කාලය පුරා ජනතාවගේ ඡන්දයෙන් රටේ පාලනය බාරගත් පිරිස් කළේ ඒක ය. ඔවුන්ට බලයට එන්නට මේ කියන පාර්ශ්ව ඕනෑ තරමක් මුදල් වියදම් කළේ මේ පාරේ ගෙනයන්නට ය. හොඳට නාස් ලණුව දැම්මාට පසු දැඟලිලි බොරු ය. දේශප්‍රේමී, දේශහිතෛෂී වැනි ආකර්ෂණීය වචන යට සිටින්නේ අර මහත්තුරුන්ගේ පදයට නටන මේ මහත්තුරුන් ය. තමන් මේ කරමින් සිටින විනාශයේ බරපතළකම දන්නා ඔවුහු තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සෑම දෙයක් කරති.

ජනතාවගේ ඇස් බොඳ කරයි !

මේ 1977න් පසු බලයට පත්වූ සියලු ආණ්ඩු අඩු-වැඩි වශයෙන් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තියකි. රටේ සමස්ත ජීවීන්ගේ සියලු පොදු ස්වභාවික සම්පත් ඔවුන්ට අහිමි කිරීම ඒ ප්‍රතිපත්තියයි. සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති, අණ-පනත් මෙහිදී අදාළ නොවේ. ස්වභාවික සම්පත් වෙළෙඳ භාණ්ඩ කිරීම පමණක් ඔවුහු සිදුකරති. ඔවුන්ටත් කොටසක් සහිතව ලාබය යන්නේ වෙනත් තැනකට ය. ඒ ලාබය යනු කෙටිකාලීන මුදල්ම නොවේ. දීර්ඝකාලීන සැලසුම් ය.
ජනතාවගේ ආහාර ස්වෛරීභාවය තහවුරු කරන ගොවීන්, ධීවරයන්, කිරි නිෂ්පාදකයන් ඇතුළු සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයන්ගේ භූමිය හා ඔවුන්ගේ පොදු ස්වභාවික සම්පත් වන ජලය, බීජ ඇතුළු සියල්ල අහිමි කිරීමට සංවර්ධන ව්‍යාපෘති, වාණිජ වගා, සංචාරක ව්‍යාපෘති, ආයෝජන ව්‍යාපෘති, කර්මාන්තපුර මහා පරිමාණයෙන් බිහිවෙමින් තිබේ. එමගින් ස්වභාවික පරිසර පද්ධති බොහොමයක් මේ වනවිටත් විනාශ මුඛයේ ය.

වනාන්තර වනසන පරපුර !

දීර්ඝ කාලයක් ආරක්ෂා කළ වනාන්තර ඇතුළු ස්වභාවික පරිසර පද්ධති සංවර්ධන හා ආයෝජන ව්‍යාපෘති සඳහා යොදාගැනීම වේගවත් විය. අද වන විට ලංකාවේ ස්වභාවික වනාන්තර ආවරණය සියයට 17ක් දක්වා අඩු වී ඇති බවයි පැවසෙන්නේ. පසුගිය වසර 10ක කෙටි කාලය තුළදී එය අතිශය වේගවත් වී තිබේ.
යාන් ඔය වාරි ව්‍යාපෘතිය සඳහා වනාන්තර අක්කර 15,000ක්, මොරගහකන්ද හා කළු ගඟ බහුකාර්ය වාරි ව්‍යාපෘති සඳහා වනාන්තර අක්කර 25,000ක්, දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ මාගම්පුර වරාය, මත්තල ගුවන්තොටුපොළ, දකුණු අධිවේගී මාර්ගය පුළුල් කිරීම, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඇතුළු භෞතික සංවර්ධන ව්‍යාපෘති සඳහා වනාන්තර අක්කර 25,000ක් මෙසේ විනාශ කළ ස්වභාවික සම්පත්ය. යුද්ධයේ අවසානයෙන් පසු නැවත පදිංචි කිරීමේ කටයුතු නිසිපරිදි ක්‍රියාත්මක නොකිරීම හා ජනතාව භාවිත කළ ඉඩම් වෙනත් සංවර්ධන ව්‍යාපෘති, සංචාරක ව්‍යාපෘති සහ අධිආරක්ෂක කලාප පවත්වාගෙනයෑම සඳහා භාවිත කිරීම නිසා අලුතින් ජනාවාස ගොඩනැගීමට වනාන්තර අක්කර 17,800ක් පමණ විනාශ කළේය.

මේ විනාශයට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ ප්‍රධානීන් සහ සැලසුම් සකස්කරන්නන් වනාන්තරවල වැදගත්කම තේරුම් නොගැනීමයි. ජල මූලාශ්‍ර, ජල පෝෂක, වනාන්තර භූමි ප්‍රදේශ පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැති මේ පාර්ශ්ව ජාතික භෞතික සැලැස්මේ සඳහන් කර ඇත්තේ මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීමෙන් මෙරට සමස්ත ජල සුරක්ෂිතතාව ඇති කරගත හැකි බවයි. නමුත් මධ්‍යම කඳුකරයෙන් පමණක් නොව වියළි හා අතරමැදි කලාප දෙකෙන් ආරම්භ වන ගංගා රාශියක් වියළි කලාපය පෝෂණය කරන බව ඔවුන් නොදනී.

බොන්න වතුර නැති හෙටක්

ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 65,610කි. වර්ග කිලෝමීටර් 59,217ක් පුරා ගංගා ද්‍රෝණි 103කි. වර්ග කිලෝමීටර් 6,393ක මතුපිට ජල ද්‍රෝණි කිසිවක් නැත. වර්ග කිලෝමීටර් 100ක පමණ වර්ෂා කාලයේදී පමණක් සක්‍රීය වන ජල ද්‍රෝණිය. ඒවායේ ජලය පවතින්නේ වර්ෂා කාලයේදී පමණි. මේ සියල්ලේම පැවැත්ම වනාන්තරය.
ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය හෙක්ටයාර් මීටර් මිලියන 12ක් පමණකි. ඉන් 55%කට වැඩි ජල ප්‍රමාණයක් වාෂ්පීකරණය හා ශාකවලින් උත්ස්වේදනය නිසා ඉවත්වේ. 15%ක පමණ ජල ප්‍රමාණයක් භූගත ජලය ලෙස තැන්පත් වේ. වාරි කර්මාන්තය ඇතුළු අනෙකුත් සියලු කටයුතු සඳහා ඉතිරිවන්නේ සියයට 30ක ජලප්‍රමාණයකි. එනම් හෙක්ටයාර් මිලියන 3.5ක ජල පරිමාවකි. මෙරට භූමි – ජල අනුපාතය වර්ග කිලෝමීටරයකට (නැතහොත් හෙක්ටයාර් 100කට) හෙක්ටයාර් 3කි. එය ලෝකයේ රටවල් අතර ඇති ඉහළම අගයකි. ලංකාවේ මිරිදිය පවතින මතුපිට භූමි පැතිරුම හෙක්ටයාර් 2,60,000කි. වසරේ කිසිදු දිනක නොසිඳෙන ජලාශ හා වැව්වල මතුපිට ජල පැතිරුම හෙක්ටයාර් 1,55,000කි. සෘතුමය වශයෙන් පිරී යන වැව්වල මතුපිට ජල පැතිරුම හෙක්ටයාර් 1,00,000කි. ජලගැලුම් නිම්නය වැනි විල්ලු පරිසර පද්ධතිවල ජල පැතිරුම හෙක්ටයාර් 5,000කි. මේ ආකාරයෙන් පවතින මතුපිට ජලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කෘෂි කර්මාන්තය හා ජල විදුලිබල උත්පාදනය සඳහා භාවිත වේ. අද වන විට භූගත ජලයෙන් විශාල ප්‍රමාණයක් පානීය ජල බෝතල් සඳහා සහ කර්මාන්ත ශාලාවල භාවිතය සඳහා යොදාගනී.

වැඩියෙන් වටින්නේ කවුද ?

අලි – ඇතුන් ඇතුළුව බොහෝ වන සතුන්ගේ වාසස්ථාන මහා පරිමාණ සංවර්ධනයේ නාමයෙන් අහිමි කෙරෙයි. අලි – මිනිස් හා වන සතුන් සමඟ මිනිසුන් අතර ගැටුම් වර්ධනය විය. මේ නිසා සුළු පරිමාණ ගොවීන් වගාබිම්වලින් ඉවත්වෙමින් සිටි. ඒ වගාබිම් මහා පරිමාණ වාණිජ වගාවන් සඳහා විවිධ සමාගම්වලට ලබාදෙමින් සිටී. 1990 වසරේ සිට 2000 වසර දක්වා කාලය තුළදී අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව අලින් 150ක් හා මිනිසුන් 40ක් පමණ මරණයට පත්විය. 2010 සිට 2018 දක්වා කාලය තුළ අලි – මිනිස් ගැටුම නිසා වසරකට මිය යන මිනිසුන්ගේ ප්‍රමාණය 80කි. අලි- ඇතුන්ගේ ප්‍රමාණය 275කි. ඒ තත්ත්වය ඉතා උග්‍ර මට්ටමකට පත්කරමින් 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුම වැඩිම වර්ෂය විය. එම වසරේදී හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි මරණ 406කි. අලින්ගේ පහරදීම් නිසා 122ක් මියගොස් ඇත. 2020 වසරේදී අලි මරණ 317කි. අලින්ගේ පහරදීම් නිසා සිදු වූ මිනිස් මරණ 112කි. මේ තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අලි – ඇතුන්ගේ වාසස්ථාන ශීඝ්‍රයෙන් විනාශ කිරීම, එම වාසස්ථාන කොටස්වලට බෙදෙන පරිදි හානිකර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, රක්ෂිත වනාන්තර තුළ හානිකර මිනිස් ක්‍රියාකාරකම් සිදු කිරීම හා රක්ෂිත වනාන්තර තුළ ආක්‍රමණික ශාක පැතිරීම වැනි හේතු නිසා රක්ෂිත තුළ ගුණාත්මක තත්ත්වය පිරිහී යෑම ය.

විනාශයේ විපාකය

වර්ෂ 1881 වන විට මෙරට වනාන්තර ආවරණය මුළු භූමි ප්‍රමාණයෙන් 84%කි. වර්ෂ 1900දී එය 70% දක්වා පහළ වැටී ඇත. ඊට හේතුව කෝපි හා තේ වගාවන් ව්‍යාප්ත කිරීමට තෙත් කලාපයේ වනාන්තර එළි කිරීමයි. ඉන්පසු වනාන්තර පිළිබඳව පුළුල් සමීක්ෂණයක් සිදුකෙරුණේ 1956 – 1961 දී ය. ඒ වනවිට රටේ වනආවරණය 44.2%ක් නැතහොත් හෙක්ටයාර් 28,98,842ක් විය. වනාන්තර මහ සැලැස්ම සැකසීම සඳහා 1982 – 1985 වසරවල ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් සිදුකරන ලද දෙවැනි වනාන්තර සමීක්ෂණයට අනුව ලංකාවේ වන ආවරණය 37.5%ක් නැතහොත් හෙක්ටයාර් 24,58,250ක් විය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සකස් කළ පරිපාලන වාර්තාවලට අනුව වර්ෂ 1992 වන විට ලංකාවේ වන ආවරණය 31.2%ක් නැතහොත් හෙක්ටයාර් 20,46,599ක් විය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 1996 වසරේ වාර්තාවලට අනුව වන ආවරණය 29.6%කි. 2010 වසරේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ලංකාවේ වන ආවරණය 29.7%කි. මෙම එක්-එක් අධ්‍යයනවලදී වනාන්තර හා වනාන්තර දර්ශක පිළිබඳව එක් නිර්ණායකයක් මත පදනම්ව අධ්‍යයන සිදු කර නොමැත. ඒ නිසා ප්‍රතිශතය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගත නොහැකිය.

2010 වසරේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ජල පෝෂක වනාන්තර ලෙස වැදගත් වන පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ 1.9%කි. එනම් හෙක්ටයාර් 1,23,302 කි. ඉහළ කඳුකර වනාන්තර ප්‍රතිශතය 0.7%කි. එහි ප්‍රමාණය හෙක්ටයාර් 44,758කි. උප කඳුකර වනාන්තර ප්‍රතිශතය 0.4%කි. එහි ප්‍රමාණය හෙක්ටයාර් 28,513කි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර හෙක්ටයාර් 11,21,392ක් නැතහොත් 17.1%කි. 2010න් පසු වනාන්තර විනාශය තව-තවත් වේගවත් විය.

70%ක් අර්බුදයට !

2011 – 2030 ජාතික භෞතික සැලැස්ම සහ 2018 – 2050 ජාතික භෞතික සැලැස්මේ දිගුව ක්‍රියාත්මක කිරීමේදී මෙන්ම වාණිජ වගා ලෙස කටුපොල්, බඩඉරිඟු හා උක් වැනි වගාබිම් මහා පරිමාණයෙන් ව්‍යාප්ත කිරීම හේතුවෙන් මෙරට ඉතිරිවීමට නියමිත ජල පෝෂක බිම් ප්‍රමාණය ඉතාම සුළුය. එය 10%කටත් වඩා අඩු වනු ඇත. එම තත්ත්වයට පත්වුවහොත් ලංකාවේ සමස්ත ජනගහනයෙන් 70%කට වැඩි ප්‍රතිශතයක් ජලය සම්බන්ධයෙන් වන අර්බුදවලට ගොදුරුවේ. ජල අර්බුද පමණක් නොව ජෛව විවිධත්වය විනාශ වීම, පාංශු ඛාදනය උග්‍රවීම, කාලගුණික හා දේශගුණික විපර්යාස වර්ධනය වීම, නාය යෑම් හා ගංවතුර වැනි ආපදා වර්ධනය වීම, කෘෂි කාර්මික අර්බුද උග්‍රවීම, අලි – මිනිස් ගැටුම වර්ධනය වීම වැනි තත්ත්වයන් ද මේ නිසා පාලනය කරගත නොහැකි මට්ටමකට පරිවර්තනය වේ.

ලෝක බැංකුවේ ආදරය දිනූ කැබිනට්ටුව

ලෝක බැංකුව විසින් 1996 වසරේදී මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා සකස් කළ Sri Lanka Nonplantation Crop Sector Policy Alternatives නම් වාර්තාවේ සඳහන් වන්නේ ලංකාවේ සුළු පරිමාණ ගොවීන් විසින් සිදුකරන කුඩා පරිමාණ කෘෂි කර්මාන්තය අවාසිසහගත බැවින් ඒ සඳහා විකල්පයක් ලෙස මහා පරිමාණ වාණිජ වගා සඳහා පිවිසීම වැදගත් වන බව ය. ලෝක බැංකුව විසින් 2015 වසරේදී ප්‍රකාශයට පත් කළ Sri Lanka Ending Poverty and promoting shared prosperity( A systematic country diagnostic නම් වාර්තාවට අනුව රජය විසින් ඉදිරියේදී මෙරට දුප්පත්කම දුරලීම සඳහා ගත යුතු උපායමාර්ග පිළිබඳව අවධාරණය කර ඇත. වාර්තාවෙන් පෙන්වන්නේ මෙරට සංකීර්ණ වූ ඉඩම් නීති හා විදේශිකයන්ට ඉඩම් ලබාගැනීමට ඇති ඉඩ ප්‍රස්ථාවන් නීතියෙන් අහුරා තිබීම ආයෝජන අවස්ථා වර්ධනය නොවීමට බලපා ඇති බව ය. ඒ සඳහා පිළියම් වශයෙන් ඉඩම් නිදහස් වෙළෙඳපොළ යාන්ත්‍රණයට ලක් කළ යුතු බව කියයි. ඊට පළමු පියවර තබමින් පසුගිය ආණ්ඩුව විසින් 2014 අංක 38 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනත සංශෝධනය කර විදේශිකයන්ට, විදේශීය සමාගම්වලට හා විදේශීය කොටස් හිමිකාරිත්වයක් ඇති ආයතනවලට ඉඩම් ලබාගැනීමේදී පනවා තිබූ සීමා හා බදු 2017 අංක 3 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ – සංශෝධන) පනතේ 5(අ) වගන්තිය සංශෝධනය කිරීම මගින් අහෝසි කෙරිණි.
ලෝක බැංකුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම 2018 අයවැයේ මූලික ඉලක්කයකි. අයවැය ප්‍රකාශනයේ සඳහන් කර ඇත්තේ 1958 අංක 1 දරන කුඹුරු පනත හා 1973 අංක 42 දරන කෘෂිකාර්මික ඉඩම් පනත සංශෝධනය කර කුඹුරු ඉඩම් වගා නොවන වෙනත් භාවිතාවන් සඳහා පනතේ වගන්ති සංශෝධනය සිදුකරන බව ය. මීට අමතරව 2017 නොවැම්බර් 14 වැනි දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය කර, ආයෝජන සඳහා පහසුවනු පිණිස කඩිනම් ඉඩම් නිදහස් කරගැනීමේ ක්‍රමවේදයක් සැලසුම් කිරීමට ය.

අයවැයත් අපේ නෙමෙයි !

2015 ලෝක බැංකු වාර්තාවට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2016 ජුනි 03 වැනි දින වසර තුනක් සඳහා ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් අනුමත කිරීමේදී ප්‍රධාන කරුණු 6ක් යටතේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සඳහා කොන්දේසි ඉදිරිපත් කෙරිණි. ඒ යටතේ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව, ආදායම් බලමුළුගැන්වීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය, මූල්‍ය ප්‍රතිපත්ති ඉහළ නැංවීම සහ වෙළෙඳ හා ආයෝජන පහසුකම් සැපයීම සිදු කළ යුතු විය.
2015 ලෝක බැංකු වාර්තාවට අනුව එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසි ක්‍රියාත්මක කිරීම සඳහා 2018 අයවැය ප්‍රකාශනය හා පසුගිය ආණ්ඩුවේ ආර්ථික දර්ශනය වන ‘2025 දැක්ම හා පොහොසත් රටක්‘ ප්‍රතිපත්ති ප්‍රකාශනය වෙන්කර තිබිණි. 2018 අයවැය ප්‍රකාශනයේ ඉඩම් හා කෘෂිකාර්මික අණ-පනත් සංශෝධනය කර ඉඩම් නිදහස් වෙළෙඳපොළ යන්ත්‍රණයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
ආණ්ඩුවේ මේ ක්‍රියාකාරිත්වය යනු පසුගිය ආණ්ඩුවල ක්‍රියාකාරිත්වයේ ම දිගුවකි. ඔවුන් පසුගිය ආණ්ඩුව නැවතූ තැන සිටි අරමුණ වෙනුවෙන් වැඩ කරයි.

සිංහරාජයේ උදාහරණය

මෙරට වන රක්ෂිත වාණිජ පරමාර්ථ මත භාවිතයට ගැනීමට නොහැකි සංකීර්ණ නීති පද්ධතියක් යටතේ පාලනයවේ. එනිසා රක්ෂිත ප්‍රදේශ භාවිත කර, ආදායම් ඉපයිය නොහැකි බව ලෝක බැංකුව දිගින්-දිගට අවධාරණය කරයි. ඔවුන් පවසන්නේ මෙරට රක්ෂිත ප්‍රදේශ පාලනය වන සංකීර්ණ නීති පද්ධතිය ලිහිල් කර රක්ෂිත ප්‍රදේශ තුළ සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වැඩි අවධානයක් ලබාදිය යුතු බව ය. පරිසර පද්ධති කළමනාකරණයට අදාළ ව ලෝක බැංකුව මගින් 2016 වර්ෂයේදී සකස් කළ Ecosystem Conservetion and Management Project – ESCAMP නම් වාර්තාවේ සඳහන් වේ. එම වාර්තාව පදනම් කරගත් ණය ආධාර ව්‍යාපෘතිය යටතේ සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය, නකල්ස් සංරක්ෂණ වනාන්තරය, කන්නෙළිය වන රක්ෂිතය ඇතුළු වනාන්තර ප්‍රධානව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වේ. හෝර්ටන් තැන්නේ යෝජිත නව මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ද ඊට හොඳ උදාහරණයකි.

එම්සීසී අත්සන් කරන්නම ඕනෙ ද?

Millennium Challenge Corporation (MCC) මගින් 2017 වසරේදී සකස් කළ Sri Lanka Constraints Analysis Report නම් වාර්තාවට අනුව ලංකාවේ සංකීර්ණ ඉඩම් නීති පද්ධතිය සංශෝධනයට ලක්කර පහසුවෙන් ආයෝජන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබාදීමට හැකි වන පරිදි නීති පද්ධතිය සංශෝධනයට පියවර ගත යුතු ආකාරය පෙන්වා දී ඇත. මෙහිදී භාවිත වන මූලික සිද්ධාන්තය වන්නේ පහසුවෙන් පැවරිය හැකි ඔප්පු ජනතාව වෙත ලබාදී වාණිජ කෘෂිකර්මාන්තය සඳහා සමාගම්වලට පහසුවෙන් ඉඩම් ලබාගත හැකි ක්‍රමවේදයක් සකස්කිරීමයි. ඒ සඳහා විවිධ අණ-පනත් හා චක්‍රලේඛ මෙන්ම ගැසට් නිවේදන ද සංශෝධනය කිරීමට යෝජනා කෙරිණි. MCC ගිවිසුමට නිල වශයෙන් අත්සන් තැබීමක් සිදුනොකළද, එහි අරමුණු ක්‍රියාත්මක කිරීම වර්තමාන ආණ්ඩුව සිදුකරමින් සිටී.

අවශේෂ වනාන්තර චක්‍රලේඛය අහෝසි කිරීම එහි එක් පියවරකි. වන සම්පත් හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2001 අගෝස්තු 10 වැනි දින අංක 05/2001 දරන චක්‍රලේඛය මගින් රජයේ අවශේෂ කැලෑ ලෙස හැඳින්වූ වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට යටත් කළ චක්‍රලේඛය සංශෝධනය කළේය. එම භූමිය දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් යටතට පවරා හේන් ගොවිතැන් සඳහා ලබාදීමට වර්තමාන කැබිනට් මණ්ඩලය විසින් 2020 ජූලි මස 01 වැනි දින තීරණය කළේය.

2020 නොවැම්බර් මස 4 වැනි දින අංක MWFC/1/2020 නව චක්‍රලේඛය මගින්, අංක 05/2001 දරන චක්‍රලේඛය සංශෝධනය කර රජයට අයත් වනාන්තර ඉඩම්, බොහෝ ඇමතිවරුන්ගේ බලපෑම් මත මේ වන විට මහා පරිමාණයෙන් එළි කරයි. වාණිජ වගාවන් සඳහා අත්පත් කරගනියි.
මීට අමතරව ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශිත 2020 සැප්තැම්බර් 10 වැනි දින අංක 2192/36 දරන ගැසට් නිවේදනයට අනුව ආයෝජන අවස්ථා පුළුල් කිරීම, දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම, දේශීය ආහාර බෝග නිෂ්පාදනය සඳහා රජයේ ඉඩම් ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීම යටතේ රජයේ ඉඩම් අවිධිමත්ව භුක්ති විඳින පුද්ගලයන් ක්‍රමවත්ව හඳුනාගෙන සුදුසුකම් පරීක්ෂා කර බලා නීත්‍යනුකූල ලේඛන ලබාදීමට ආණ්ඩුව සූදානම් වේ.

ජනාධිපති ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි

මෙරට වනාන්තර ඇතුළු ස්වභාවික සම්පත් ජනතාවට අහිමි කර සමාගම්වලට ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ දැක්වෙන 12 (1) උප ව්‍යවස්ථාවේ සඳහන් නීතිය පසිඳලීම හා නීතිය ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය සර්ව සාධාරණව සිදුවිය යුතුය යන්න ද උල්ලංඝනය කිරීමකි. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් 1948 දෙසැම්බර් මස 10 වැනි දින සම්මත කරගත් වගන්ති 30කින් යුත් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 7 වැනි වගන්තියට අනුව සියල්ලෝම නීතිය ඉදිරියේ සමානය යන්න ද උල්ලංඝනය කිරීමකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. නමුත් සිදු කර ඇත්තේ ජනතාවට ජීවත් වීමට ඇති අයිතිය අහිමි කරමින් පරිසරය විනාශ කර අවතැන් කිරීමට හා පරිසරයේ සුරක්ෂිතතාව බිඳ දැමීමට වනාන්තර හා තෘණ භූමි සමාගම්වලට ලබාදීම ය. මේ නිසා ආණ්ඩුවේ වුවමනාව මත රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම උල්ලංඝනය කර ඇත. ආණ්ඩුව හා පෞද්ගලික සමාගම් විසින් සිදු කරන මෙම ස්වාභාවික සම්පත් අයුතු භාවිතයට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ජනතාවට ඇත.

ජනතා මුදලින් පැළ සිටුවමින් භූමිය විකුණන හැටි

මොනරාගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක දෙකේ ගොවීන්ට හා වන සතුන්ට අයත් අක්කර 75,000ක් පමණ ගිවිසුම් මගින් අත්පත් කරගෙන සිටින පෞද්ගලික සමාගමකට කන්තලේ ප්‍රදේශයේ බඩඉරිඟු වගාවට අක්කර 2,000ක්, අම්පාර, පොල්ලෙබැද්ද-රඹකැන්ඔය ඉඩම් අක්කර 5,426ක් සමාගම් 15කට බඩඉරිඟු වගාවට, මොනරාගල, අනුරාධපුරය හා බදුල්ල දිස්ත්‍රික්ක තුනේ වනාන්තර ඉඩම් අක්කර 80,000ක් බඩඉරිඟු වගාවට, පැල්වත්ත සීනි සමාගම සඳහා දෙමළිය හා වන්දම ප්‍රදේශයෙන් වනාන්තර අක්කර 7,000ක් උක් වගාවට, මාගම්පුර වරාය ආශ්‍රිත වනාන්තර අක්කර 15,000ක් චීන කර්මාන්ත ශාලාවක් තැනීමට, අයි.එම්.එස්. හෝල්ඩින් පුද්ගලික සමාගමේ හා ගැසල් වෙන්චර්ස් පෞද්ගලික සමාගමේ උක් වගා ව්‍යාපෘතියක් සඳහා බිබිල ප්‍රදේශයේ අක්කර 62,500ක්, ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විස් පෞද්ගලික සමාගම හා අනුබද්ධ ඇවන්ට් ඇග්‍රෝ පෞද්ගලික සමාගමේ අක්කර 40,000ක බඩඉරිඟු වගා ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා අක්කර 5,000ක්, ඇමෙරිකානු සමාගමක් හා අනුබද්ධ මෙරට පෞද්ගලික සමාගමකට කෝමාරිකා වගා ව්‍යාපෘතියක් සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර ලක්ෂයක් ලබාදීමට සැලසුම් කිරීම හා එහි නියමු ව්‍යාපෘතියක් සඳහා අක්කර 150ක් සහ පොළොන්නරුව, කන්දකාඩුව ප්‍රදේශයේ අක්කර 8,500ක් පෞද්ගලික සමාගම්වලට ලබාදීම වැනි ව්‍යාපෘති රැසකට ආණ්ඩුව මැදිහත් වී ඇත.
වනාන්තර සමාගම්වලට බදු දෙන ආණ්ඩුව 2021 අයවැය ප්‍රකාශනය මගින් මෙරට ජනතාවගේ බදු මුදල්වලින් රුපියල් ලක්ෂ 35,000ක් අක්කර 15,000ක භූමියක ගස් සිටුවීමට වෙන්කර ඇත.

ඔක්කොම යාළුවෝ !

ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්මත්, රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිත් දෙකම එකය. එය කඩිනමින් තේරුම්
නොගන්නා තුරු සියල්ල මේ පාරේම යනු ඇත.
– ශාලික විමලසේන

 

 

Leave A Reply

Your email address will not be published.