සුදු වීරයින් මවන ඔස්කාර් සිනමාව

2019 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය , හොඳම සහාය නළුවාට හිමි සම්මානය හා හොඳම පිටපත් රචනයට හිමි සම්මානය යන සම්මාන ත්‍රිත්වයම දිනාගත්තේ green book චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ පීටර් ෆෙරිල්ය.
Green Book යනු අප්‍රිකානු සම්භවයක් සහිත කලු ඇමරිකානුවන් භාවිත කළ චාරිකා මාර්ගෝපදේශ පොතකි. කලු ඇමරිකානුවන් පිළිකුල් කළ යුගයක, කලු ජාතිකයින් ඔවුනට හිරිහැරයක් නොමැතිව නවාතැන් ගත හැකි ස්ථාන පිළිබඳව විස්තර ලබාගත්තේ මෙම Green Book පොත ඇසුරිනි.
මෙම Green Book චිත්‍රපටයට පාදක වන කතාව සැකෙවින් මෙසේයි. මෙහි කතානායකයා වන ටෝනි වැලලොංගා (විගෝ මෝටර්සන්)සිය රැකියාව අහිමිව සිටින අවධියක සංගීතය පිළිබඳ ආචාර්ය උපාධියක් ඇති ඇප්‍රිකානු ඇමරිකානු ජාතිකයෙකු වන ඩොන් ෂර්ලි (මහරෂලා අලි) ගේ රියදුරා ලෙස කටයුතු කිරීමට ආරාධනාවක් ලැබෙයි. ඇමරිකාවේ දකුණු කොටසෙහි සංගීත චාරිකාවක නියැලෙන ෂර්ලිගේ රියදුරා හා පුද්ගලික ආරක්ෂකයා ලෙස ටෝනිට වගකීම පැවරෙයි. එහිදී ෂර්ලි නවතින තැන් තීරණය කෙරෙන්නේ මෙකී Green book එක භාවිත කරමිනි. මේ සංචාරය තුළ ඔවුන් දෙදෙනා මුහුණදෙන අත්දැකීම් මාලාව මෙම චිත්‍රපටයට පාදක වෙයි.
චිත්‍රපටයේ රඟපෑම් ගැන කිව යුතුමය. රඟපැමක් යැයි නොසිතෙන තරමටම මෙහි රංගනය තාත්විකය. චිත්‍රපටයේ සාර්ථකත්වයට මූලික හේතුවක් ලෙස එම රංගනය දැක්විය හැකිය. එමෙන්ම කැමරාකරණය, පසුතල නිර්මාණය ඉතාම ඉහළ මට්ටමක පවතී.
බැලූ බැල්මට මේ චිත්‍රපටය ඇමරිකාව තුළ අසාධාරණයට ලක්වන කලු ජාතිකයින් පිළිබඳ කතාබහ කෙරෙන ලිබරල් ආකෘතියේ චිත්‍රපටයක් ලෙස දිස්වෙයි. එහෙත් මෙහි වීරයා වන්නේ සුදු ජාතිකයෙකි. මේ කතාවත් සුපුරුදු ලෙස ලියවෙන්නේ සුදු ජාතිකයින් අතිනි. ඔවුන් ටෝනි ගේ චරිතය ඉස්මතු කරන්නේ ඔහු වීරයෙක් කරමිනි. එමඟින් කලු ජාතිකයින් වෙනුවෙන් පෙනී සිටින සුදු වීරයෙකු ගැන කලු ජනතාවට ඒ්ත්තු ගන්වයි. එහෙත් සැබවින්ම කලු ජාතිකයින් පෙලන ගැටලුව මෙහිදී අධ්‍යක්ෂවරයා ඉස්මතු නොකරයි. මේ චිත්‍රපටය ගැන ෂර්ලි ගේ සහෝදරයා විරෝධය පළකර තිබුනේ සැබෑ ෂර්ලි මීට වඩා වෙනස් චරිතයක් බව පවසමිනි.
මේ පිළිබඳව එක් විචාරයක පැවසුනේ “ දුර්වල උඩෘතයකින් සැරසුන සුදු ගැළවුම්කාරයෙකුගේ “ කතාවක් බවයි.
“The main issues for me with Green Book are that it centers a white man’s experience in what should have been, according to the title, a Black story; and it misrepresents the (Negro Motorist) Green Book and it misrepresents Dr. Shirley. So, whether audiences would enjoy the film should be secondary to questions of whether this film harms Dr. Shirley’s legacy, whether it harms his living family members, and whether it harms Black people as a whole.”
ලෝකය හමුවේ සිය සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කටමැත දොඩන ඇමරිකාවේ සැබෑ තත්වය ඊට ඉඳුරාම වෙනස් බව වරින්වර මතුවන කලු ඇමරිකානුවන්ගේ ගැටලුවෙන් පෙනෙයි. සිය සළුපිළි ගැලවීම වළක්වා ගැනීම උදෙසා ඔවුන් මෙවැනි චිත්‍රපටි සඳහා ඔස්කාර් සම්මානය ලබාදුන් පළමු අවස්ථාව මෙය නොවේ.
-රශ්මික මණ්ඩාවල

Leave A Reply

Your email address will not be published.