මුස්ලිම් දෙන්නෙක් කැමති වුණත් පොදු විවාහ නීතියට අනුව විවාහ වෙන්න, ඔය කියන පොදු නීතියෙන්ම ඒකට ඉඩක් දෙන්නෙ නැහැ

සමාජ ක්‍රියාකාරිනී ශ්‍රීන් අබ්දුල් සරූර්

මේ වෙනකොට ලංකාවේ මූලික නීතියට අමතරව තේසවලාමෙයි නීතිය, මුස්ලිම් නීතිය, උඩරන නීතිය වගේ තවත් නීති ක්‍රියාත්මක වෙනවා. මේක ලංකාවෙ පමණක් තිඛෙන තත්ත්වයක්ද, නැත්නම් ලෝකයේ අනෙක් රටවල් වලත් මෙවැනි නීති ක්‍රියාත්මක වෙනවද?

විශේෂයෙන්ම විවිධ සංස්කෘතික අනන්‍යතා තිඛෙන ජන වර්ග කිහිපයක් එක රටක් තුළ ජීවත් වෙනවනම් ඔවුන්ගේ අනන්‍යතා ආරක්ෂා කරන්න වෙනත් රට වලත් මෙවැනි නීති ක්‍රියාත්මක වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි ඉන්දියාව. ඉන්දියාවෙ මූලික නීතියට අමතරව වෙනත් නීති කිහිපයක්ම ක්‍රියාත්මක වෙනවා. මුස්ලිම් අයටත් ඉන්දියාවෙ මුස්ලිම් නීතියක් තියෙනවා. ඒත් එකම අධිකරණයක් තුළ තමයි ඒ නීති කටයුතු සිද්ධ වෙන්නෙ.

එක රටක් – එක නීතියක් කියන සංකල්පය වැරදියි කියලද කියන්නෙ?

ඒ සංකල්පය තරමක් ගැටලූකාරී තත්ත්වයක් කියලයි මමනම් දකින්නෙ. ඒ වෙනුවට එක රටක් – එක අධිකරණ පද්ධතියක් කියල ඒක නිවැරදි වෙන්න ඕනෙ. නීති වර්ග ගොඩක් තියෙන්න පුළුවන්. මුස්ලිම් නීතිය, තේසවලාමෙයි නීතිය වගේ නීති වලට අමතරව සිවිල් නීතිය, අපරාධ නීතිය, ඉඩම් නීතිය, වගේ නීති ගොඩක් දැනටමත් ක්‍රියාත්මක වෙනවා. ජාතිකත්ව හෝ ජන වර්ග වලට අදාල නීති හැර අනෙක් හැම නීතියක්ම එකම අධිකරණ පද්ධතියක් තුළ දැනටත් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා වෙන්න ඕනෙ දේ තමයි, රටේ පොදු අධිකරණ පද්ධතිය ඇතුළට මේ හැම නීතියක්ම ගේන එක. ඒත් අද තියෙන ගැටළුව තමයි, ඇතැම් නීති ක්‍රියාත්මක වෙන්නෙ එහෙම නොවෙන එක. කවුද එතකොට ඒ නීති ක්‍රියාවට නගන්නෙ? මොකක්ද ඔවුන්ට ඒකට තියෙන සුදුසුකම? කාටද ඒ අය වගකියන්නෙ? ඒ නිසයි මම කියන්නෙ, එක රටක් – එක නීතියක් කියන එක වෙනුවට එක රටක් – එක අධිකරණ පද්ධතියක් කියන සංකල්පය කි්‍රයාත්මක කළ යුතුයි කියල.

ඒ කියන්නෙ මුස්ලිම් නීතියෙ ගැටලූවක් නැහැ, ක්‍රියාත්මක වෙන විදිහෙ තමයි ගැටළුවක් තියෙන්නෙ?

මොකද නැත්තෙ? ගැටළු ගණනාවක්ම තියෙනවා. මම කලින් කිව්ව වගේ මේ හැම නීතියක්ම එකම අධිකරණ පද්ධතියක් ඇතුළට ගේන්න කලින් කරන්න ඕනෙ දේ තමයි එවායේ වෙනස් විය යුතු තැන් වෙනස් කර ගන්න එක. ඒකට හොඳම උදාහරණයක් තමයි තේසවලාමෙයි නීතිය. ඒ නීතිය පදනම් වෙන්නෙ දෙමළ ජනතාවගෙ ඉඩම් අයිතිය සම්බන්ධයෙන්. තේසවලාමෙයි නීතියට අනුව ඉඩම් සම්බන්ධයෙන් තීරණ ගන්න දෙමළ කාන්තාවට තියන ඉඩ ඉතාම අල්පයි. මේ වෙනකොට දෙමළ කාන්තාවන් විශාල ප්‍රමාණයක් ඉන්නව, යුද්ධය නිසා තමන්ගෙ ස්වාමිපුරුෂයක් අතුරුදහන් වුණු. ඔවුන්ට මරණ සහතිකයක් නැහැ. දැන් ඒ කාන්තාවන්ට තමන්ගෙ ඉඩම සම්බන්ධයෙන් තීරණයක් ගන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නීති වෙනස් වෙන්න ඕනෙ. ඒ වගේම තමයි මුස්ලිම් නීතියත්. මුස්ලිම් නීතිය අනුව මුස්ලිම් පිරිමින්ට අසීමිත බලයක් ලැබිල තියෙනව. දරුවන් විවාහ කර දීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ඔවුන්ට ලැබිල තියෙනව. විවාහ හතරක් කර ගැනීමේ අයිතිය තියෙනව. ඇත්තටම මුස්ලිම් නීතියට අනුව විවාහය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවෙන නිසා හතරක් නෙමෙයි කැමති ගණනක් විවාහ කර ගන්න පුළුවන්. සියලූ තීන්දු තීරණ ගන්නෙත්, ඒව ක්‍රියාත්මක කරන්නෙත්, නීති රීති හදන්නෙ සහ ඒව ක්‍රියාත්මක කරන්නෙත් පිරිමි විතරයි. ඉතින් ඒව වෙනස් වෙන්න ඕනෙ.

මොකක්ද ඔබ කියන ඒ වෙනස?

ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙ කියල තියෙනව, නීතියේ ක්‍රියාකාරීත්වයත්, නීතියේ රැකවරණයත් සැමට සමාන සහ සාධාරණ විය යුතුයි කියල. කිසිදු නීතියකින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ඒ වගන්තිය උල්ලංඝනය වෙන්න බැහැ. ඒත් දැන් ක්‍රියාත්මක වෙන මුස්ලිම් නීතියෙන් ඒක උල්ලංඝනය වෙනව. මුස්ලිම් නීතියත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යටත්ව ක්‍රියාත්මක වෙන නීතියක් බවට පත් විය යුතුයි. එහෙම නොවෙන තැන් වෙනස් විය යුතුයි.

ඒ වෙනුවට ජාතිකත්ව අනුව තියෙන නීති අහෝසි කරල, හැමෝටම පොදු නීති පද්ධතියක් ක්‍රියාත්මක කරන එක නෙමෙයිද ඒකට තියෙන හොඳම විසඳුම?

නැහැ. ඒක හොඳම විසඳුම නෙමෙයි. විවිධ ජන වර්ග වලට විවිධ අනන්‍යතා තියෙනවා. වෙනස් වූ සංස්කෘතීන් තියෙනවා. ඒව ආරක්ෂා වෙන්න ඕනෙ. රටේ ප්‍රධාන ජන වර්ගය වුණු සිංහල ජාතිකත්වයට ගැලපෙන හැම නීතියක්ම අනෙකුත් ජාතිකත්වයන්ට ගැලපෙන්නෙ නැති වෙන්න පුළුවන්. මේ රට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මිසක් ශ්‍රී ලංකා සිංහල ජනරජය නෙමෙයිනෙ. සුළුතර ජනතාවගේ අයිතීන් බහුතර ජනතාව පිළිගන්න ඕනෙ. ඔවුන්ගේ අයිතීන් වලට ඉඩක් තියෙන්න ඕනෙ. ඒ අයිතීන් වල පැවැත්මට නීතියෙන් ඉඩක් තියෙන්න ඕනෙ. ඒත් ඒව රටේ පොදු නීති පද්ධතියට අභියෝගයක් වෙන්න බැහැ. මෙවැනි නීති තියෙන්න ඕනෙ කියන එකත්, ඒක රටේ පොදු නීති පද්ධතියත් එක්ක අන්තර් සම්බන්ධිතව පවතින්න ඕනෙ කියන එකත් දෙකම ගැන හිතන්නෙ නැතිව මේකට විසඳුම් හොයන්න බැහැ.

මුස්ලිම් විවාහ නීතියට අනුව විවාහ හරතක් කර ගන්න පුළුවන් වුණාට රටේ පොදු නීතියට අනුව වෙනත් කෙනෙක් විවාහ දෙකක් කර ගැනීම වරදක්. අවුරුදු දහසයට අඩු දරුවෙක් විවාහ කර ගැනීම අපරාධ වරදක්. සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා කරන්න වෙනම නීති තියෙන්න ඕනෙ කියල කියල එහෙම නීති පවත්වාගෙන යාමෙන් නීතියේ ක්‍රියාකාරීත්වයේ සමාන බව බිඳෙනව නේද?

ඒක ඇත්ත. ඒක නිසාම තමයි මුස්ලිම් නීතිය සංශෝධනය වෙන්න ඕනෙ කියල කියන්නෙත්. ඒ වෙනුවෙන් වසර ගණනාවක් පුරා අපි කතා කළා. මුස්ලිම් දේශපාලකයන්, ජමියතුල් උලමා සංවිධානය ඇතුළු මුස්ලිම් සංවිධාන එක්ක මේ ගැන කතා කළා. ඒ විතරක් නෙමෙයි, අපි මේ කියන මතය සමාජය ඉස්සරහටත් අරගෙන ආව. පාර්ලිමේන්තුව ඉස්සහර උද්ඝෝෂණයකුත් කළා. ඒක නිසා ඒ කාරණාවත් එක්ක මම සම්පූර්ණයෙන්ම එකඟයි.

ඒත් බහු විවාහය මුස්ලිම් සංස්කෘතියේ කොටසක්නම්, ඒ සංස්කෘතියට මොකද වෙන්නෙ?

ඇත්තටම බහු විවාහ ක්‍රමය මුස්ලිම් සමාජයට ආවේ ඉතිහාසයේ එක්තරා අවදියක කාන්තාවන්ගෙ ආරක්ෂාව වෙනුවෙන්. වහල් ක්‍රමයක් වෙනුවට ඊට වඩා ප්‍රගතිශීලී සමාජ තත්ත්වයක් නිර්මාණය වෙනකොට මුස්ලිම් සමාජය තුළ තමන් යටතේ ඉන්න කාන්තාවන් විවාහ කර ගෙන ඔවුන්ව රැක බලා ගන්න ඕනෙ කියල නීතියක් නැත්නම් පොදු සංකල්පයක් තහවුරු වුණා. බහු විවාහ ක්‍රමය ඇති වෙන්නෙ එහෙමයි. ඒත් අද තත්ත්වය වෙනස්. ඕනෙම සමාජයකට අනන්‍ය සංස්කෘතියක් තියෙනව වගේම පවතින තත්ත්වයන් එක්ක ඒ සංස්කෘතික අනන්‍යතා වෙනස් වෙන්නත් ඕනෙ. ඒ නිසා විවාහ නීතිය වෙනස් කිරීමෙන් මුස්ලිම් සංස්කෘතියට හානියක් වෙන්නෙ නැහැ. අනිත් එක තමයි මුස්ලිම් විවාහ නීතිය කියන්නෙ බහු විවාහය නැත්නම් බාල වයස්කරුවන් විවාහ කර ගැනීම විතරක්ම නෙමෙයි. ඒක ඇතුළෙ හොඳ දේවලූත් තියෙනවා. ඒ හොඳ දේවල් තියාගෙන නොගැලපෙන දේවල් වෙනස් කරන එක තමයි කරන්න ඕනෙ. ඒ විතරක් නෙමෙයි, පොදු විවාහ නීතියත් ඒ වෙනුවෙන් වෙනස් වෙන්න ඕනෙ.

මොකක්ද පොදු විවාහ නීතියේ වෙන්න ඕනෙ වෙනස්කම?

පොදු විවාහ නීතියේ කියල තියෙනව, විවාහ වෙන දෙදෙනාම මුස්ලිම් ජාතිකත්වයට අයත්නම් ඔවුන් මුස්ලිම් විවාහ නීතියට යටත්ව විවාහ විය යුතුයි කියල. ඒකත් වෙනස් කරන්න ඕනෙ. එහෙම නැත්නම් විවාහ වෙන දෙන්නගෙම කැමැත්ත තිබුණත්, පොදු විවාහ නීතිය අනුව විවාහ වෙන්න ඔවුන්ට නීතියෙන්ම ඉඩක් නැහැ.

ඇයි මුස්ලිම් සමාජය මේ වගේ නීති සංශෝධනයකට කැමති නොවෙන්නෙ?

මුස්ලිම් සමාජය නෙමෙයි, මුස්ලිම් පිරිමි තමයි අකමැති. ඒකෙන් ඔවුන්ට තියෙන අධි වරප්‍රසාදිත ජීවිතය අහිමි වෙනවා. ඔවුන් අකමැතියි ඒක අහිමි කර ගන්න. අකමැතියි විතරක් නෙමෙයි, එවැනි නීති වෙනස් කිරීමක් ගැන අපි කතා කරනකොට පල්ලි වල අපිට විරුද්ධව මත පල කළා. අපි මුස්ලිම් නෙමෙයි කියල කිව්වා. අපිව විනාශ කළ යුතු පුද්ගලයන්ගේ ලැයිස්තුවට දැම්මා. අපිට තර්ජනය කළා. ඒ අයට ඕනෙ කොහොම හරි මේ අධි වරප්‍රසාදිත ජීවිතය පවත්වාගෙන යන්න.

මේ වගේ තත්ත්වයක් ඇතුළෙ කරන්න ඕනෙ මොනව කියලද ඔබ හිතන්නෙ?

මොන තත්ත්වයක් ඇතුළෙ වුණත් මේව වෙනස් වෙන්න ඕනෙ. වෙනස් කරන්න ඕනෙ. ඒ වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම කරන්න මම සූදානමින් ඉන්නවා.

චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

17 + thirteen =