හිස් මිනිසුන්ගේ මළමිනී දේශපාලනය

කොරෝනා ව්‍යාප්තියත් සමග මරණ සංඛ්‍යාවද ඉහළ ගිය බැවින් කොරෝනා මරණ භුමදානය කරනවාද ආදාහනය කරනවාද යන පැනය ඉස්මතු විය. කොරෝනා මරණ භූමදානයට අවසර දෙන බව මේ කතා බහ අස්සේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. ඒ සමගි ජන බලවේගයේ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඇසු පැනයකට පිළිතුරු දෙමිනි.

ඉන් පසු දින පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන කීවේ අගමැතිවරයා කීවේ “මුස්ලිම් මරණ භූමදානය කිරීමට ඉඩ දෙනවා කියා මිසක කොවිඩ් මළ සිරුරු භුමදානය කරන්න අවසර දෙනවා නොවේය” කියාය. අගමැතිවරයාගේ ප්‍රකාශය මෙරට මාධ්‍ය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයද වාර්තා කර තිබුණේ කොවිඩ් මෘත දේහයන් භූමදානය කිරීමට අවසර දෙන බවට අගමැතිවරයා කියූ බවකි.
පාර්ලිමේන්තුවේදී ද මේ ගැන නැවත කතාබහක් ඇති වූ අවස්ථාවේදි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කීවේ කොවිඩ් මරණ භූමදානය ගැන පෞද්ගලිකව දක්වන මත නීතිය නොවන බවයි. මේ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත හැක්කේ ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කොට ඇති තාක්ෂණික කමිටුව මගින් බවද ඇමතිනිය කීවාය.
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියත් සමග රටතුළ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම අරමුණු කර ගනිමින් 1940 ගණනවලදී සම්මත කර ගන්නා ලද නිරෝධායන පනත යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට ඇති බලතල ප්‍රකාරව නව නීති ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කළේය. එහිදී කොවිඩ් වැලඳී මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කරන බවට එම ගැසට් නිවේදනයට ඇතුළත් කර තිබුනි.

පසුව මරණ සංඛ්‍යාව ඉහළ යද්දී මේ ගැන විමර්ශනය කිරීමට තාක්ෂණික කමිටුවක් පත් කළේය. එහි සභාපතිත්වයට අයි.ඩී.එච්. රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දන පෙරේරා පත් කළේය. සෙසු සාමාජිකයන් ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම (කායික රෝග), වෛද්‍ය රොෂාන් රුවන්පුර (අධිකරණ වෛද්‍ය), වෛද්‍ය පී.බී. දසනායක (අධිකරණ වෛද්‍ය), ශිරාණි චන්ද්‍රසිරි (ක්ෂුද්‍රජීව විද්‍යාව), මල්ලිකා කරුණාරත්න (ක්ෂුද්‍රජීව විද්‍යාව) වෛද්‍ය දුල්මිණි කුමාරසිංහ (වෛරසවේදය), වෛද්‍ය ප්‍රභාත් සේනාසිංහ (අධිකරණ වෛද්‍ය), වෛද්‍ය ශිරන්ත අමරරත්න (අධිකරණ වෛද්‍ය), මහාචාර්ය මෙත්තිකා විතානගේ (ස්වභාවික සම්පත්), වෛද්‍ය හසිත තිසේරා (වසංගතවේදය) යන පිරිස පත් කරන ලදී.
මෙහිදී මහාචාර්ය මෙත්තිකා විතානගේ කියා සිටියේ කොවිඩ් මෘතදේහ භූමදානය තුළින් ජලයට වෛරසය යා හැකි බවය. එම කරුණ පදනම් කරගනිමින් තාක්ෂණික කමිටුවෙන් ලැබුණේ බෙදුණු තීන්දුවකි. එම නිසා නැවතත් ඔවුන්ගේ තීන්දුව වූවේ මෘතදේහයන් ආදාහනය කළ යුතු බවය. නමුත් මුස්ලිම් නායකයන් මෙන්ම සිවිල් සංවිධානවලින් දිගින් දිගටම ප්‍රකාශ වූවේ කොවිඩ් මරණ භූමදානයට ඉඩ දිය යුතුය යන්නය.
ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෘතදේහ සම්බන්ධයෙන් ආදාහනය හා භූමදානය යන අවස්ථා දෙකටම අවසර දී තිබුණි. ආදාහනයේදී මෙන්ම භූමදානයේදීද අනුගමනය කළ යුතු කාරණා රැසක් ඔවුන් ඊට ඇතුළත් කර තිබුනි. ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් ආදාහනය හා භූමදානය යන දෙකටම අවසර දී තිබේ.
නමුත් ලංකාවේ ජලයට වෛරසය ඇතුළත්වේය යන මතය ඉදිරිපත් කළේ මහාචාර්ය මෙත්තිකා විතානගේය. ඊට අදාළ පරිසර තත්ත්වයන් අධ්‍යයනය කළේදැයි මාධ්‍ය කළ විමසුම්වලදී ඇය එසේ නොකළ බවත්, ඩෙන්මාර්කයේ මින්ක් සතුන්ගෙන් භූගත ජලයට කොවිඩ් වෛරසය මුසුවී ඇති බවට තමා තුල ප්‍රකාශය කළේ ඒ සම්බන්ධව පර්යේෂණ සාධක පවා නොමැතිව බවත් පිළිගත්තාය.

කෙසේ නමුත් ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටින මුස්ලිම් නායකයන්ගේ හා මුස්ලිම් රටවල තානාපතිවරුන්ගේ සංසදයේ ඉල්ලීම වූයේ කොවිඩ් ආසාදිතව මරණයට පත් වන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානයට අවසර දෙන ලෙසය. එහිදී මුස්ලිම් තානාපති හා මහකොමසාරිස් සංසදය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා තිබුණේ හැකිනම් කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර දෙන ලෙසය.
ඕමාන් සුල්තාන්, පලස්තීන තානාපති, කුවේට් තානාපති, ඉන්දුනීසියා තානාපති, ඊජිප්තු තානාපති, එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති, සෞදි අරාබි තානාපති, ලිබියා තානාපති, ඉරාන තානාපති, ඉරාක තානාපති, ඇෆ්ගනිස්ථාන හා තුර්කි තානාපතිවරුන් මෙන්ම මාලදිවයින, පකිස්ථානය, මැලේසියාව, බංග්ලාදේශය යන රටවල තානාපතිවරුන් ද මෙම ලිපියට අත්සන් තබා තිබුණි.

අවසානයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නැවතත් මේ ගැන සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කළේය. එහි සභාපතිධුරයට ශ්‍රී ලංකා එන්නත් හා බෝවන රෝග පිළිබඳ සංසදයේ හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිනි, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍රජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා පත් කරනු ලැබීය.

සෙසු සාමාජිකයන් ලෙස මහාචාර්ය නිලිකා මලවිගේ (ක්ෂුද්‍රජීව විද්‍යාව), වෛද්‍ය ගීතානි ගලගොඩ
(වෛරසවේදය), වෛද්‍ය රජීව ද සිල්වා (ප්‍රතිශක්තිකරණවේදය), වෛද්‍ය කාන්ති නානයක්කාර (වෛරසවේදය), මාලිකා කරුණාරත්න (ක්ෂුද්‍රජීව විද්‍යාව), වෛද්‍ය රෝහිත මුතුගල (වෛරසවේදය), වෛද්‍ය නදික ජනගේ (වෛරසවේදය), වෛද්‍ය සුරංග සුමතිපාල (වෛරසවේදය), වෛද්‍ය දුලිමිණි කරුණාසිංහ (වෛරසවේදය), ජානකී අබේනායක (වෛරසවේදය) යන පිරිස පත් කර තිබුණි.

මෙම පිරිස පත් කරන ලද්දේ 2020 වසරේ දෙසැම්බර් මස 24 දාය. එදිනම විද්වත් කමිටුව රැස්ව තිබූ අතර ඔවුන් සිය වාර්තාව දෙසැම්බර් 28 දා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත බාර දී තිබුණි.
එය නොබෙදුනු වාර්තාවක් වූ අතර කොවිඩ් මෘතදේහ ආදාහනය හා භූමදානය යන දෙකටම අවසර දිය යුතුය යන නිර්දේශය වාර්තාවට ඇතුළත් කර ඇත. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් මහාචාර්ය ජෙනිෆර් පෙරේරා කියා තිබුණේ කොන්දේසි ගණනාවකට යටත්ව භූමදානයට අවසර දුන් බවය. එහිදී විශේෂ අසුරණ දෙකක් තුළ මෘත දේහය ඇසිරිය යුතු බවටද, ඥාතීන් දෙදෙනෙකුට දේහය බැලීමට අවසර දිය යුතු බවට හා ආගමික නායකයෙකුට දේහය අසල සිට ආගමික වතාවත් කිරීමට අවසර දිය යුතු බවට එම වාර්තාවෙන් නිර්දේශ කර තිබුණි. ඔවුන් සියලු දෙනා සෞඛ්‍ය අමාත්‍යාංශය නම් කරන නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ නිරෝධායන රෙගුලාසි අනුව සෞඛ්‍යාරක්ෂිතව සිටිය යුතු බවට ද නිර්දේශ කර ඇත. එසේම මෘතදේහ වියළි භූමියක මිහිදන් කළ යුතු බවට ද ඔවුන්ගේ නිර්දේශවල ඇතුළත් තවත් කරුණකි.

නිරෝධායන නීතිය මෙරටට හඳුන්වා දෙන්නේ බි්‍රතාන්‍යයන් ශ්‍රී ලංකාව පාලනය කරන අවධියේදීය. එහිදී කොලරාව, පාචනය, මැලේරියාව, වසූරිය වැනි වසංගත වෙනුවෙනි. කොලරාව, පාචනය වැනි රෝග ජලයෙන් බෝ වුණත් බි්‍රතාන්‍යයන් ඇති කළ නිරෝධායන පනත අනුව මෙවැනි රෝගවලින් මිය යන පුද්ගලයන්ව ද භූමදානය කිරීමට අවසර දී තිබුණි.

නිරෝධායන පනත යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ හැකිය. ඒ යටතේ කොවිඩ් මරණ ආදාහනය කළ යුතු බවට එවක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ නියම කර තිබුනි. නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් අමාත්‍යාංශ ලේකම් ධුරයට මාරු වී ගිය පසු ඔහු කියා තිබුණේ එම අවස්ථාවේ වෛරසය ගැන නිසි වැටහීමක් ලෝකයටම නොතිබූ නිසා ආදාහනය කිරීමට පමණක් නියම කළ බවයි.

අගමැති මහින්ද රාජපක්ෂ කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර දෙන බව කීවේ වෙනත් දෙයක් හිතේ තබාගෙන බව පැහැදිලිය. එනම් ලබන මස ඇරඹෙන ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය අරමුණු කරගෙනය. ලෝක සෞඛ්‍ය සංවිධානය අවසරදී තිබියදීත්
ශ්‍රී ලංකා රජය මුස්ලිම් ජනතාවට කොවිඩ් මෘතදේහ භුමදානයට අවසර නොදී ආඥාදායක පාලනයක් ගෙන යමින් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කර තිබෙන බව කියමින් මානව හිමිකම් කමිටුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය හමුවේ යෝජනාවක් පවතින අතර ශ්‍රී ලංකා රජය එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ. 2009 දී ශ්‍රී ලංකා රජයට එරෙහිව මානව හිමිකම් කමිටුව ඉදිරියට යෝජනාවක් පැමිණි අවස්ථාවේදී ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ රටවල් අතරට සෞදි අරාබිය, පකිස්ථානය, ඉන්දුනීසියාව, මැලේසියාව ආදි රටවල් ගණනාවක් එක්ව තිබුණි. එය ශ්‍රී ලංකාවට වාසියක් වූවේය. මෙවරද අගමැතිවරයා මුස්ලිම් සිරුරු භූමදානයට අවසර දෙන බව කී සැනින් පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්, ශ්‍රී ලංකා අගමැතිවරයාගේ ප්‍රකාශය ගැන සිය සතුට පළ කර තිබුණි.

නමුත් රජයේ ප්‍රතිචාරය සුළු කාලයකදී වෙනස්වීම ලෝක මුස්ලිම් ප්‍රජාව අතරද කණගාටුවට හේතු වී තිබේ. එහි දැඩි බලපෑම එන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදීය. දැනටම ඔවුන් රජයේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කනස්සල්ලෙන් පසුවේ. එහි ප්‍රතිඵල දැකිය හැකි වන්නේ මානව හිමිකම් සමුළුවේදීය.
කොරෝනා මෘතදේහ භූමදානය කරන්නට අවසර දුන් කමිටුවට එරෙහිව දැනටම සිංහල සංවිධාන මෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද පෙරට පැමිණ ඇත. ඔවුන් විද්වත් කමිටුවට මෙන්ම එහි සභාපතිනිය ඇතුළු සාමාජිකයන්ට ද සිය විරෝධය පළ කරමින් සිටිති. ඊට සමහර මාධ්‍ය ආයතනද සෘජුව සහාය දක්වමින් විශාල ප්‍රචාරයක් ලබාදෙමින් සිටිති. ඒ සියලු කාරණා පදනම් කර ගනිමින් ආණ්ඩුව, විද්වත් කමිටු වාර්තාව තාක්ෂණික කමිටුව වෙත බාරදී අවසන් තීන්දුව ගත යුත්තේ ඔවුන් යැයි පවසයි. තාක්ෂණික කමිටුව විද්වත් කමිටු වාර්තාවට අවසර දී නැත.

එසේ නොවුණද විද්වත් කමිටුව පත් කරන ලද්දේ වත්මන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බැවින් ඔහුට විද්වත් කමිටුවේ වාර්තාව පදනම් කර ගනිමින් භූමදානයට අවසර දී ගැසට් නිවේදනයක් නිකුත් කළ හැකිය. ඔහු එසේ නොකිරීමෙන් පැහැදිලි වන්නේ අගමැතිවරයා කුමක් කීවද ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ බහුතරයක් භූමදානයට අකමැති බවකි.

සියලු කාරණා සමග ආණ්ඩුව ජාත්‍යන්තරය අමනාප කර ගන්නා තැනකට පැමිණ තිබේ. මානව හිමිකම් කමිටු යෝජනාව පරාජය වී නැවතත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ මාතෘකාව ඉදිරිපත් කරමින් ජනතාවගේ ජාතිවාදී හැඟීම් මත දේශපාලනය කිරීමට ආණ්ඩුව අලුත් වටයකින් සූදානම් වන බව පෙනේ●
-ලසන්ත වීරකුලසූරිය

Leave A Reply

Your email address will not be published.