පළිගැනීම් කොමිසමෙන් පොලිස් චූදිතයන්ට උසස්වීම්

විද්‍යා ඝාතන නඩුවේ චූදිත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යළි සේවයේ පිහිටුවීමටත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට වැටුප් වර්ධක ලබාදීමටත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණට උසස්වීම් ලබාදෙන ලෙසත් වන දේශපාලන පළිගැනීිම් පිළිබද කොමිසමේ වාර්තාව අනුව සැකසු කැබිනට් පත්‍රිකාවක් ඇමති මණ්ඩලය වෙත මේ වන විට ඉදිරිපත්ව ඇත.
පොලිස් නිලධාරීන් 84 කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් වන එම කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් තීරණයක් ලබන සදුදා රැස්වන කැබිනට් මණ්ඩලයේදී ගැනීමට නියමිත බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහිදි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් 2015 රනිල් – මෛත්‍රී ආණ්ඩුව යටතේ පිහිටවනු ලැබූ දේශපාලන පළිගැනීම් කොමිසමට ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කෙනහිලිකම් වූ බවට පැමිණිලි කළ අයෙකි. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමට ද පැමිණිලි කර වැටුප් වර්ධක ලබා ගැනීමට නිර්දේශයන් ලබා ගෙන තිබේ.
දේශපාලන පළිගැනීම් කොමිසමට පැමිණිලි කොට නිර්දේශ ලබාගත් පොලිස් නිලධාරීන් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අය නොව විනය හේතුන් හා ආයතන සංග්‍රහය මත ස්ථානමාරු ලැබු පුද්ගලයන් බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. මෙම 84 දෙනාගෙන් දෙදෙනෙකු හැර අන් සියලු දෙනා කොමිසමෙන් පෞද්ගලික වාසියක් ලබා ගැනීමේ අරමුණින් පැමිණිලි කළ අය වේ.
සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ විදුලි බිල ගෙවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම චෝදනා ගොනු කළ මේ වන විට වැඩ තහනම් කර ඇති පොලිස් පරීක්ෂකවරයෙකුව ද යළි සේවයේ පිහිටුවා හිග වැටුප් ගෙවන ලෙස කොමිසම නියම කර ඇති අතර ඔහුගේ නමද කැබිනට් පත්‍රිකාවට ගිය පොලිස් නිලධාරීන් අතර වේ. මෙම කැබිනට් පත්‍රිකාව නිසා පොලිස් නිලධාරීන් රැසක් කළකිරීමට පත්ව සිටින බවද වාර්තාවේ.

Leave A Reply

Your email address will not be published.