“උගත් මිනිස්සු හදල දුන්න වාර්තාව,O/L පාස් නැති මිනිස්සුන්ට මේක තීරණය කරන්න දෙන්නෙ නෑ”

පාස්කු දින ප්‍රහාරය පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිසමේ වාර්තාව ජනපතිවරයා අතට පත්වී ඇති අතර නැවත එය අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් තවත් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කිරීමට කටුවාපිටිය ප්‍රදේශවාසීහු විරෝධය පළ කළේය. කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ද මෙම විරෝධතාවය අතරතුර එම ස්ථානයට පැමිණියේය.
ඒ ඊයේ (20) මීගමුව කටුවාපිටිය ප්‍රදේශවාසීහු කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වෙමිනි.

කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන් ඇතුළු පිරිසක් එම විරෝධතාවට එක් විය එහිදී ඔවුන් ඉල්ලා සිටියේ පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ වරදකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරවන ලෙසය.

එහිදී කාදිනල් හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්,

“කොමිසමේ වාර්තාව ලැබීමත් සමඟම යම් ආකාරයකට රජය බයවෙලා කියලා සමහර දේවල් එළිකරන්න, ඒගොල්ලන්ට මොනවා හරි කරන්න අමාරු දේවල් නිසා මේක හංගනවා කියලා අපට යම් ආකාරයක හැඟීමක් එනවා. ඒ කොමිෂන් සභාවෙන්ම ඉදිරිපත් කරපු විදියටම හැම එකක්ම ප්‍රසිද්ධ කරන්න ඕනෙ. ඒකෙ එකකවත් හංගන්න බෑ, එකක්වත් තෝරන්න බෑ. අපට ඕනෙ මේ වාර්තාව හෙළිදරව් කරන්න. ඒ හැමදෙයක්ම එළිදරව් කරන්න ඕනෙ”

“අපි දන්නෙ නෑ ඒවා ඇතුළෙ මොනවද තියෙන්නෙ කියලා. ඒ නිසා මම කියන්නෙ ආණ්ඩුව මේ ලියවිල්ල එළිදරව් කරන්න ඕනෙ. මේක අපට බාරදෙන්න ඕනෙ. එතකොට අපට ඒ අනුව සුදුසු දේවල් කරනවා”

මේ වාර්තාව අධ්‍යයනය කිරීමට ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කිරීම පිළිබඳව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ගෙන් මාධ්‍ය ඒ මොහොතේ අදහසක් ඉල්ලා සිටියේය. එයට පිළිතුරු දුන් කාදිනල් හිමියන්,
“මම හිතන්නෙ නෑ එහෙම සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියලා. මොකද මේකෙන් මම දකින්නෙ යම් යම් කරුණු හංගන්න දරණ උත්සාහයක් හැටියටයි”

“අපි බලාපොරොත්තු වෙන්නෙ පිටකොන්ද ඇති නායකයෙක්. අපි හිතනවා නායකයෝ පිටකොන්ද ඇතුව කටයුතු කරයි කියල. අපිට මේ පොළවෙ මැරිච්ච මිනිස්සුන්ට සාධාරණය ඉටුකරන්නේ නැතුව අපි ඔලුව නමන්න සුදානම් නෑ. මේ කොමිසන්සභාව රෙකමන්ඩ් කරල තියන දේවල් රෙකමන්ඩ් කරල තියෙන්නෙ ජනාධිපතිතුමාට නෙමෙයි නීතිපතිතුමාට. නීතිපතිතුමා ආපහු කරන්න ඕනෙ දේ ජනාධිපතිතුමා ගෙන් අහන්න ඕනේ නෑ. එතුමා කටයුතු කරන්න ඕනෙ. උගත් මිනිස්සු පස්දෙනෙක්ගේ කොමිසන්සභාව මේ වාර්තාව හදල දුන්නෙ ක්‍රියාත්මක කරන්න. එහෙම මිසක් ඕලෙවල් පාස් නැති මිනිස්සුන්ට මේක කරන්න දෙන්න පුලුවන්ද?.”

“මේ ගැන සාධාරණය ඉටු නොවුනොත් අපි කිව්වානෙ අපි ජාත්‍යන්තර සංවිධාන වලට යනවා කියලා. ඒක අපි කරනවා” යනුවෙන් සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.