හා නැද්ද…?

මට දැන් මෙලෝ දෙයක් ඔළුවට එන්නේ නෑ. රටේ ලෝකේ ප්‍රශ්න පිරිලා. එකක් ගැන හිතන කොට තව ප්‍රශ්නයක් ඇවිල්ලා. හිත හිත ඉන්න ප්‍රශ්නෙ උඩට තව ප්‍රශ්නයක් ආවම ප්‍රශ්න දෙකයි. නැගෙකහිර ජැටිය ගැන හිතල හුස්මක් කටක් ගන්න බැරි වුණා. ඒක බටහිර වුණා. ඇත්තටම නැගෙනහිර ද බටහිර ද? මට පැටලුණා ද?

කොවිඩ් 19 ආවේ කවද්ද? එව්වෙ කවුද? තාම කොවිඩ් සමාජගත වෙලා නෑ නේද? අම්මෝ ඇති යන්තං එහෙනම් බය වෙන්න දෙයක් නෑ. රටටම කොවිඩ් හැදෙනකම් බකං නිලං හිටිය ට්‍රම්ප්ට අපේ රටෙන් ආදර්ශයක් ගන්න තිබ්බ නෙ. හා නැද්ද?

පාස්කු ප්‍රහාරය කියන්නෙ මොකක්ද? දුමින්ද මාම එළියට ආවද? තාම නැද්ද? තාප්පවල චිත්‍ර ඇඳලා ඉවරද? ආදාහනය කරනව ද භූමදානය කරනව ද? ආයෙ භූමදානය බැයි ද? මැරිච්ච අපේ බලු කුක්කව භූමදානය කළොත් පී.එච්.අයි. බනියි ද? දැන් දවස් දහයෙන් නිරෝධායනේ ඉවර ද? නිරෝධායන මධ්‍යස්ථාන තාමත් සුපිරි හෝටල් වගේලු නේ ද? ඉවර වෙලා ගෙදරටම වාහනේකින් එන්නත් පුළුවන්ද? ෂා මරු නේ…

ඉන්දියාව ද වැඩිය ලොකු චීනෙ ද? වොයිස් එකේ දි කසුන්ගෙ ඇස් ගෙඩි දෙක කොයි වෙලේ හරි එළියට පනියි ද? මහේල ක්‍රිකට් හදයි ද? අනේ මන්දා අයියො… ඒ අස්සෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් මැසේජ් එකක් දාල. අර සුදු රෝස බබා ඉන්නෙ නාමල් අයියට ද එයාගෙ මල්ලිට ද? මං කිව්වා පොඩ්ඩක් ඉවසන්න කියල. කොහෙද දැම්ම හොයල ඕනෙලු. ඒක හොයන්න ගියපු ටිකට රූට් අවුට් වෙලා. රූට අවුට් වුණේ කොහොම ද? කෝලියගෙ නැටිල්ල. ෂික් විතරක්… ඒ වුණාට රූටා ලේසියෙන් අවුට් වෙන එකෙක් නෙමේ මට මතක විදියට. රූට් කියන්නෙ මුල්වලට. මුල් ඇදල පොළොවටම. හරියට ගහක් වගේ. ගහක් වගේ රූට් ගැන හිතල එහෙක් කරල මෙහෙක් කරද්දි ඔන්න ගහකට හබක් වෙලාලු නේද? ගහක් රකින්න ඕන ගහක් වගේ නායකයෙක්. හා නැද්ද?

මලිඳු කාවින්ද කුමාරසිංහ
Leave A Reply

Your email address will not be published.