ළමා හිංසන පැමිණිල්ල ඉවත්කරන්න බලපෑම් !

ගාල්ලේ ටෙල්ෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ සිසු දරුවන් 35 දෙනෙකු පසුගිය ජනවාරි 27 උදෑසන 9.00 සිට දහවල් 1.30 දක්වා විද්‍යාගාර ගොඩනැගිල්ලක සිර කර තැබීම සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විසින් සිදුකරන විමර්ශන යටපත් කිරීම  සඳහා අදිසි හස්තයක් ක්‍රියාත්මක වී ඇතැයි වාර්තාවේ.

මෙලෙස දරුවන් විද්‍යාගාර ගොනැගිල්ල තුළ සිරකර ඇත්තේ එහි විදුහල්පතිවරයාගේ අනුදැනුම ඇතිව එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරිය ලෙස කටයුතු කරන කාන්තාවක විසිනි.

වසය අවුරුදු 7 සිට 15 දක්වා වයසේ දරුවන් 35 දෙනෙකු මෙලෙස බලහත්කාරයෙන් සිරකර ඇත්තේ එම දෙමාපියන් විසින් පාසල් වාරික ගාස්තු නොගෙවූ බවට චෝදනා කරමිනි. මීට පෙරද අවස්ථා ගණනාවකදී මෙලෙස දරුවන් විද්‍යාගාර ගොඩනැගිල්ලේ සිරකර තැබුවද තම දරුවන්ගෙන් විදුහල්පතිවරයා පළිගනීවී යැයි බිය නිසා තමන් මේ සම්බන්ධයෙන් පැමිණිලි නොකළ බව එම දෙමාපියෝ පවසති.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසුව ගාල්ල පොලිසිය හා ළමා හා කාන්තා කාර්යංශ නිලධාරීන් පැමිණ අදාළ ගොඩනැල්ල විවෘත කර දරුවන් මුදාගන්නා විට ඔවුන් ඉතා භීතියට පත්ව සිට ඇති අතර ඇතැම් දරුවන් මනෝවෛද්‍යවරුන් වෙත යොමුකිරීමට ද සිදුව ඇත. මෙම ළමා හිංසනය සම්බන්ධයෙන් එම දරුවන්ගේ මව්පියන් ගාල්ල පොලිසියට සිදුකල පැමිණිල්ලේ පැමිණිලි අංකය ඔවුන් වෙත ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති පොලිසිය මේ වන විට පැමිණිල්ල ඉවත්කර ගන්නා ලෙස දෙමව්පියන්ට බලපෑම් කරමින් සිටී.

“මේ සම්බන්ධයෙන් කටඋත්තර ටයිප් කරන්න මාස තුනක් යනවා, නඩුවක් දාන්න අවුරුදු 8ක් යනවා, ඒක හින්දා මේ පැමිණිල්ල ඉවත්කර ගන්න” යනුවෙන් ගාල්ල පොලිසියේ සාජන් නිහාල් (56401) නමැති නිලධාරියකු පැවසූ බව පැමිණිලිකාර දෙමව්පියෝ කියා සිටිති●

ගාල්ල – ධම්මික ප්‍රියදර්ශන
Leave A Reply

Your email address will not be published.