ආයුබොවන්ඩ ඩලස්,

මට මතකයි ඩලෝ අපි හිච්චි එවුන් සංදියේ ගමේ ඉන්න අණ්ඩපාලයන්ට අපේ කිරි අත්තල නිතර දොඩන කතාවක්. එහෙව් තක්කඩියෙක් අහුවුණාම උන්දැලාගෙ කටින් පිටවෙන වචන සැට්ටෙක තමා ‘බොලාලගෙ ඔය උප්පරවැට්ටි ඔලට කොණ්ඩෙ බැඳපු චීනෙක් අල්ල ගනියව්’ කියන එක. හැබැයි ඉතිං මේ දවස්වල අහන්ඩ දකින්ඩ සිද්දවෙන විජ්ජුම්බර දිහා බලනකොටනං ඒ කතන්දරේ කණපිට ගහපු ගතියක් තමා අපිටනං දැනෙන්නෙ.  පීකිං පැත්තෙන් ලැබෙන ආරංචිඔල විදිහටනං  චීන්නු දැන් උන්නෙ රටේ ඇම්බැට්ටයින්ට කියන්නෙ ‘ඔය දහංගැටඔලට ලංකාවෙ පොලිටික්කෙක් අල්ලා ගනිල්ලා’ය කියන කතාව වග ඔහෙටත් ආරංචි ඇති නේද?

හැබෑටම සෑර් අර උතුරුකරේ තියෙන දූපත් කෑලි තුනක චීන බාපොච්චිලා අටවන්ඩ යනවය කියන දෙමුහුන් වියාපුරුතියක්ද මොකක්ද කියන කුණු හරුපෙට ඔහෙත් කැමැත්ත පොරකාස කොළාය කියන කතාවෙ ඇත්තක් තියෙනවද? මෙපමණ කාලෙකට කාගෙන්වත් ඇයි- බොලං කියලවත් වචනයක් නාහාපු අපෙ සෑර්වත් චීන හුළඟට අහුවෙලා ගහගෙන ගියොත් ඉතිං අපි ඉඳල වැඩක් නැහැ රත්තරනේ. චීන බාපොච්චිලා එකතු වෙලා අහිංසක තමුන්නැහැහැගෙ ඉහටත් හෙනහුරෙක් කඩා පාත් කොරන්ඩ වගෙයි කුරුමානං අල්ලන්නෙ.

අපි-ඔහෙලා ඉතිං ඒ වංගියෙ හිටංම පොගිතිසීලී කඳවුරේ මාර කකුල් වෙලා උන්නු හන්දම වෙන්ඩැති ඩලෝ මේ පුරස්නෙ අපේම එකක් වගේ අපිට දැනෙන්නෙ. මතකද ඒ සංදියෙ අපි ජේආර් පප්පටයි – පේමදාස ලොක්කටයි කටඋත්තර නැති වෙන්ඩ පත්තරවලින් දීපු ගේම කාරිය. කොම්රේඩ්ගෙ පෑනෙන් ඒ දවස්වල වචන ගලාගෙන ආවේ මේ දවස්වල චීන ආධාර-උපකාර ගලා එනවටත් වැඩි වේගෙන්. බැරි වෙලාවත් අපෙ සෑර් චීනුන්ගෙ ඔය දහන්ගැටේට අහු වුණා නං එහෙම වෙන්ඩ ඇත්තෙ එදා පටන්ම මුන්නැහැගෙ ඇට- මස් -ලේ ඔලට කාවැදිලා තියෙන මානවහිතවාදි ගුණය හන්දා මිසක වෙන හාල් කෑල්ලක තරංවත් කට්ට කයිරාටික කොමක් තුන් හිතකවත් තියෙන හංදා නොවන බවනං අපි ටක්කෙටම දන්නවා.

හැබැයි අපේ අසල්වැසි ඉන්දියන් අයියලා වගේ නෙමේ ඩලෝ ඔය චීන්නු මහා එපා කොරපු උං. ඔහේට තිබුණේ එකපාරටම හාං කියන්නෙ නැතුව බූ දේසපාලනේ නැත්නං කලාපීය සංහිඳියාව වගේ වචනයක් දෙකක් දාලා පොඩි වහෙන්ඔරෝ ටෝකක් දෙන්ඩ. මේ වගෙ තුරුම්පු ගැන ඉතිං ඔහේට අමුතුවෙන් කියල දෙන්ඩ ඕනා නෑනේ? ඩිංගිත්තක් හරි කල්පනා කොරල බලන්ඩ තිබුණා නේද ආයිබොවන්ඩ තමුන්නනැහැ මේ කොරන්ඩ යන්නෙ අඬන්ඩ බලාගෙන උන්නු මෝදිගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ බයානක වැඩක්ය කියලා.

මෝදි උන්නැහැලගෙ පක්ස සාකාවක් අපේ රටෙත් පිහිටුවන්ඩ ගත්තු තීරණේ පිටිපස්සෙ ඔය කියන දූපත් පුරස්නෙත් තියෙනව කියලා කතා පතුරුවන්නේ අපෙ සෑර්ට කටුව අනින්ඩ බලං ඉන්න පෝරිසාදයෝ ටිකම වෙන්ඩෑ. අපිනං කියන්නෙ ඩලෝ ඔය ඇම්ඩංලටනං තුට්ටුවකටවත් සැකන්ඩ් වෙන්ඩෙපා කියලයි. ඔහේට දැන් ගහන්ඩ තියෙන  හොඳම තුරුම්පුව තමා මෙච්චර තෙම්පරාදු වෙච්ච විමලෙ මල්ලි වගේ රජ වැඩකාරයෙක්ගෙ ඇහැ යුආන් වලිං හරි ඩොලර්වලිං හරි වහලා ටයිල් නැවක් එවන්ඩ ඇහැක් උනු චීනුන්ට., එහෙමට තැලිල -පොඩිවෙලා නැති ළපටි හිතක් ඇති තමුන්නැහැ කිසි දවසක ඇහැටවත් දැකල නැති දූපත්කෑලි තුනකට හොර ඔප්පුවක් ලියාගන්න එක මොන කජ්ජක්ද කියලා මාද්දිය හරඹයක් පවත්තන එක විතරයි ඩලෝ●

විශ්ව මිත්‍ර
Leave A Reply

Your email address will not be published.