භාරතීය ජනතා පක්ෂයේ හස්තය

ඉහත මාතෘකාව මේ දිනවල රටේ දේශපාලනය උණුසුම් කර තිබේ. ඒ හා බැඳුණු දේශප්‍රේමී සටන් පාඨ ද තැනින් තැන ඇසේ. සැබෑ දේශප්‍රේමය හා ව්‍යාජ දේශප්‍රේමය අතර සිවිල් යුද්ධයක් පවා පැවැති ඉතිහාසයක් තිබෙන ශ්‍රී ලංකාවේ මේ සියලු ප්‍රකාශයන් හි සැබෑ අරමුණු තේරුම් ගැනීම ද පහසු නැත. ඒ සැබෑ දේශප්‍රේමයට වඩා කලින් ව්‍යාජ දේශප්‍රේමය පැනනැඟී ජනතාව මුළා කිරීම අරඹන බැවිනි.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ භූ දේශපාලනික වැදගත්කමක් සහිත රටක් නොවන්නට අපේ රටට වන විදේශ බලපෑම් මෙතරම්ම සිදු නොවනු ඇත. රටේ ආර්ථික වැදගත්කමක් තිබුණ ද, එය මෙතරම්ම මාරාන්තික නොවනු ඇත. වර්තමානයේ ඇමෙරිකාවට සහ ඉන්දියාවට මෙන්ම චීනයට ද ලංකාව වැදගත් වන්නේ එම අර්ථයෙනි. එනම් ලෝක භූ දේශපාලන අරගලයේ දී ශ්‍රී ලංකාව මර්මස්ථානයක් වන බැවිනි. මේ සෑම රටක්ම ආර්ථික මැදිහත් වීමක ස්වරූපයෙන් පැමිණිය ද ඒ පසුපස පැමිණෙන්නේ භූ දේශපාලන වුවමනාවයි.

දේශප්‍රේමය හඳුනා ගත යුත්තේ කටේ නරිවාදන්වලින් නොව සැබෑ දේශප්‍රේමී මැදිහත්වීම්වලින්ය. බී.ජේ.පී. ශාඛා ප්‍රශ්නය තේරුම් ගත යුත්තේ ද ඒ අනුවය. එය ද, හිඟන්නාගේ තුවාළය කර ගත හැකි ශ්‍රී ලංකාවේ අවස්ථාවාදී ආණ්ඩු ගැති ව්‍යාජ දේශප්‍රේමය ද හරියටම හඳුනා ගැනීමට ජනතාව සමත් වන්නේ නම්, මේ ඉන්දීය උවදුර පරාජය කළ හැකි බවට වරායේ නැඟෙනහිර ජැටිය රැකගත් අරගලයෙන් වුව ද පැහැදිලි වනු ඇත

ශ්‍රී ලංකාවේ හා නේපාලයේ භාරතීය ජනතා පක්ෂයේ ශාඛාවන් අරඹන සූදානමක් තිබූ බව පිළිබඳව එවකට තානායමක සංග්‍රහයක දී සිදු වූ කතාවක් පදනම්ව, බීජේපීයේ සභාපතිව සිටි අමිත්ෂා පසුගිය 13 සෙනසුරාදා මී ළඟ මුදල් වර්ෂය සඳහා ප්‍රාන්ත අයවැය කතාවේ දී නැවත මතක් කර දීම මත පදනම්ව ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධ සංවාදයක් මතුව තිබේ. මේ අමිත්ෂාගේ කතාව අලුත් එකක් විය හැකි ය. නමුත්, 1984දී රෝහණ විජේවීර විසින් ලියන ලද ‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක් ද?’ කෘතියේ ඉන්දියානු සාගරය තුළ ඉන්දියානු භූ දේශපාලන වුවමනාව මත වන උපායමාර්ගික අවශ්‍යතාව හා මැදිහත්වීම පළල් ලෙස විග්‍රහ කොට තිබේ. එපමණක් නොව 1967 වැනි වකවානුවක ජවිපෙ සුප්‍රසිද්ධ පංති පහ තුළ ද එක් සාකච්ඡාවක්ව තිබුණේ, ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ යන්නයි. ඉන් පසුව ද, පෙර ද මෙරට ඉතිහාසය තුළ ඉන්දියානු මැදිහත් වීම් ආක්‍රමණ බොහෝ සේ දක්නට ලැබේ. (ඒවා ලිඛිත ඉතිහාසය තුළ දක්නට හැකි ය.) රටක් ලෙස අදටත් ගැලවීමට බැරි ඉන්දු-ලංකා ගිවිසුම මේ සියල්ලේම කූටප්‍රාප්තියයි. එදා එම ගිවිසුම මත පදනම්ව රට තුළට පැමිණි ඉන්දියානු ආක්‍රමණික හමුදාව 1988දී පලවාහරින්නේ දැවැන්ත ජීවිත පරිත්‍යාගයක් කළ සිවිල් යුද්ධයක බලපෑම විසිනි. එවකට පාලක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ එජාප ආණ්ඩුව හා එහි ගැත්තන් සිටියේ ගිවිසුම් ගැති දේශද්‍රෝහී පැත්තේ ය. සෑමදාම දුර්වල පාලකයන් විදෙස් බලපෑම් හමුවේ දණගැසීම ලංකා ඉතිහාසයේ නොව ලෝක ඉතිහාසයේ ද ස්වභාවයයි.

එනිසා මෙය ඇමති අමිත්ෂා පැවසූ අලුත් දෙයක් නොවේ. ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් දරන ‘ලොකු අයියා’ යන ආකල්පයේ ප්‍රකාශනයකි. වැදගත් වන්නේ එය නොවේ. ශ්‍රී ලංකාවේ පාලකයන්ගේ හැසිරීමයි. හෙට දිනයේ ආණ්ඩුව ද, ජනාධිපති ද මාධ්‍ය ඉදිරියේ ඔවුන්ගේ අනෙකුත් හොරණෑ සමඟ දේශප්‍රේමී පොර ටෝක් දෙනු ඇත. නැඟෙනහිර ජැටිය යට ගොස් බටහිර මතු වූවා සේම ටික දිනකට බටහිර ජැටිය ද යට යනු ඇත. දැනටමත් උතුරේ දූපත් තුනක් ඩොලර් මිලියන 12කට ඉන්දියාව ඉල්ලා තිබේ. ආණ්ඩුවේ ඇමති ගම්මන්පිල පවසන්නේ, ත්‍රීමලේ තෙල් ටැංකි අපට ලබා ගැනීම පිළිබඳ සාර්ථකව සාකච්ඡා අවසන් බව ය. අපට ඔහු නොකියන්නේ ඒ හිලව්වට ශ්‍රී ලංකාව ගෙවිය යුතු වන්දිය කුමක් ද යන්න ය. මේ තෙල් ටැංකි ඉන්දියාවේ නොව ශ්‍රී ලංකාවේ ය. මේවා ඉන්දියාවට දෙන්නේ ඉන්දු-ලංකා ගිවිසුමේ කොන්දේසියකට යටත්ව ය. පළාත් සභා විරෝධි මහජන මතයක් තිබිය දී පවා රටට සුදු අලියෙක් වන පළාත් සභා තවමත් ආණ්ඩුව පවත්වා ගන්නේ ඉන්දු-ලංකා පාවා දීමේ ගිවිසුමට අනුව  ය. වතුකරයට, උතුරට, නැඟෙනහිරට පමණක් නොව රටටම ඉන්දියාව මැදිහත් වේ. රටේ බලයට එන සියලු ආණ්ඩු ඉන්දියානු ගැති නම්, භාරතීය ජනතා පක්ෂයේ ශාඛා අමුතුවෙන් නැතත් ඒවා සියල්ල ඉන්දියානු ආණ්ඩුවේ ශාඛාවන් ය.

එනිසා ජනතාව දේශප්‍රේමය හඳුනා ගත යුත්තේ කටේ නරිවාදන්වලින් නොව සැබෑ දේශප්‍රේමී මැදිහත්වීම්වලින්ය. බී.ජේ.පී. ශාඛා ප්‍රශ්නය තේරුම් ගත යුත්තේ ද ඒ අනුවය. එය ද, හිඟන්නාගේ තුවාළය කර ගත හැකි ශ්‍රී ලංකාවේ අවස්ථාවාදී ආණ්ඩු ගැති ව්‍යාජ දේශප්‍රේමය ද හරියටම හඳුනා ගැනීමට ජනතාව සමත් වන්නේ නම්, මේ ඉන්දීය උවදුර පරාජය කළ හැකි බවට වරායේ නැඟෙනහිර ජැටිය රැකගත් අරගලයෙන් වුව ද පැහැදිලි වනු ඇත●

Leave A Reply

Your email address will not be published.