විස්ස (බලය) වෙනුවෙන් උකසට තැබූ මුස්ලිම් මරණ…

පහුගිය සතියේ මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රීවරු මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූහ. එහි ප්‍රධාන අරමුණ වූයේ විසිවැනි සංශෝධනයට ඡන්දය දීම වෙනුවෙන් ජනතාවගෙන් සමාව ගැනීම ය. එහෙත්, සාකච්ඡාව තුළ එවැන්නක් සිදු නොවී ය. ඒ වෙනුවට ඔවුහු සියලු දෙනා ම තමන් එයට ඡන්දය දුන්නේ මුස්ලිම් කොරෝනා මරණ භූමදානයට ඉඩ දෙන බවට දුන් පොරොන්දුව නිසා යැයි කියූහ. විස්ස සම්මත වන අවස්ථාවේ මේ පිළිබඳව හාංකවිසියක්වත් එළියට ආවේ නැත. මහා ලොකුවට කයිවාරු ගහපු ඊනියා දේශප්‍රේමීහු කිසිවෙක් මේ ගැන කිසි දෙයක් කිව්වේ නැත. නමුත්, දැන් ඇත්ත හෙළි වී තිබේ. විස්සට ඡන්ද ටික ගන්න නන්දසේන රාජපක්ෂ ජනාධිපතිවරයා කොයි තරම් පහළට වැටුණේ ද යන්න දැන් තේරුම් ගත හැකි ය. විස්ස ගෙන එන කොට ම එයට අවශ්‍ය ඡන්ද ටික ගන්න පුළුවන් ය යන විශ්වාසය ආණ්ඩුවට තිබුණේ ය. ඒ නිසා ම ද්විත්ව පුරවැසිකම පිළිබඳව දාපු කොන්දේසිවලට යට වුණේ ද නැත. එය එසේ වූයේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද ටික උපරිමයෙන් විශ්වාස වූ නිසා ය.

මාස කිහිපයකට පසු ඇත්ත හෙළි වුණේ ය. ඒ හෙළි වුණේ, එක කරුණක් පමණ ය. තව මොන මොන දේවල් දුන්නා ද, මොන මොන දේවල්වලට එකඟ වුණා ද යන්න තවමත් රහසකි. ප්‍රමාද වෙලා හෝ මෙය එළියට එන්නේ, මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයෙන් පසුව ය. ඔහු භූමදානයට අවසර දෙන බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. එයට පහුවදා ම ආණ්ඩු පක්ෂයේ ම මන්ත්‍රීවරියක් කියා සිටියේ, එහෙම තීන්දුවක් නොමැති බව ය. ටික දවසකින් මේ පිළිබඳව දෙවනුව පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව ගැන ද හෙළිදරවු විණි.

ප්‍රශ්නය ඇත්තේ මුස්ලිම් කොරෝනා මරණ භූමදානයට ඉඩ සැලැසීම නොවේ ය. ඒ ප්‍රශ්නය දේශපාලන තුරුම්පුවක් කර ගැනීම ය. එය තවත් ඩීල් එකකට පාවිච්චි කර ගැනීම ය. ජන කොටසකගේ සංස්කෘතිකමය අයිතියක් දේශපාලන සූදු පිටියක ඔට්ටුවට තැබීම ය. කිසි හිරිකිතයක්, ලැජ්ජාවක් නැතිව රාජපක්ෂ පාලනය එය සිදු කළේ ය. තනි සිංහල ආණ්ඩුවක් වෙනුවෙන් ඡන්දය දීපු ඡන්දදායකයෝ අන්ත අසරණ වූහ. පොදුජන පෙරමුණ ආරම්භයේ සිට ම මේ ප්‍රශ්නය පාවිච්චි කළේ තමන්ගේ බල වුවමනාව වෙනුවෙන් ය සහරාන්ගේ බෝම්බය ආශීර්වාදයක් කර ගත්තේ ය. ජාතික ආරක්ෂාව බිඳවැට්ටුවා යැයි මතයක්ද රෝපණය කළේ ය. මුස්ලිම් ජනතාවට එරෙහි සිංහල ජාතිවාදී හැඟීම් අවුස්සන්නට එය උපරිමයෙන්ම යොදා ගත්තේ ය. වඳ කොත්තු, වඳ සැත්කම්, වඳ පෙති කතා වැපිර වූහ. බලය වෙනුවෙන් අන්තිම හිරිකිත විදියට ජාතිවාදය ඇවිස්සූහ. එයම යොදා ගනිමින්, ජනාධිපතිවරණය දිනා ගත්තේ ය.

ඉන් පසුව ආවේ කොරෝනා පළමු රැල්ල ය. පළමු වතාවට එහි දී මුස්ලිම් ජනතාවගේ මෘතදේහ භූමදානය හා ආදාහනය පිළිබඳ ප්‍රශ්නය ආවේ ය.  පරණ තිබුණු නිරෝධායන නීති පවා වෙනස් කරමින්, අලුත් ගැසට්ටුවක් ගැහුවේ ය. එයට ගැළපෙන ආකාරයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයගෙන් යුත් කමිටුවක් ද පත් කළේ ය. ‘දී කිරට බළල්ලුත් සාක්ෂි දෙන්නාක්’ මෙන් එයින් ද දේශපාලනයට අවශ්‍ය තීරණයම දුන්නේ ය. මහා මැතිවරණය පුරාවට පළමුව ඇවිස්ස වූ ජාතිවාදය ම නැවත ඇවිස්සුවේ ය. “මුස්ලිම් ඡන්ද අපට ඕනෑ නැහැ යැ”යි  ප්‍රසිද්ධියේ කිව්වේ ය. දිවුරුම් දෙන අවස්ථාවේත් ‘තනි සිංහල නායකයෙක්, තනි සිංහල ආණ්ඩුවක්’ සෑදූ බව මහා උජාරුවෙන් කිව්වේ ය. ඒ වෙනුවෙන් ඡන්දය දුන් බොහෝ අය ප්‍රීතියෙන් ඉපිල ගියහ. හතර අතින් ප්‍රශංසා කළහ.

ගත වූයේ සති කිහිපයකි. නන්දසේන ගෝඨාභය මහතා ඉස්ඉස්සෙල්ලා ම අත තිබ්බේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ය. දහනවයෙන් ලැබුණු බලය මඳි බව කියා පූර්ණ බලය ගැනීම වෙනුවෙන් විස්ස සංශෝධනය ගෙන ආවේ ය. එහෙත්, එයට එකසිය පනහක මන්ත්‍රීවරු ප්‍රමාණය සොයා ගැනීම තරමක අපහසුවක් වූයේ ය. එය එසේ වූයේ ආණ්ඩුව ඇතුළේ ඉන්න සමහර අය යම් යම් කොන්දේසි දැමීමත් එක්ක ය. එසේ නොමැති වුවත්, තිබුණේ, එකසිය හතළිස්නවයකි. එක ඡන්දයක් අඩු බැවින්, වැඩේ කර ගන්නට බැරිව තිබිණි.

ආණඩුව බලයට ගෙනාපු ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලා පවා යම් යම් බලපෑම් කරන්නට වූහ. එහෙත්, ඒ කිසිවෙක් නොසලකා තමන්ට අවශ්‍ය සියලු දේ ඇතුළත් කර ගනිමින්, විස්ස ගෙනාවේ ය. මුළු රට ම වික්ෂිප්ත කරමින්, එකසිය පනස්හයක ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ ය. පුදුමයෙන් පුදුමයට පත් වූයේ, රටද තදබල මුස්ලිම් විරෝධයක් මතු කර තිබිය දී පවා රවුෆ් හකීම්ගේ හා රිෂාද් බදියුදීන්ගේ මන්ත්‍රීවරු සියලු දෙනා ම  විස්සට පක්ෂව ඡන්දය දීමෙන් ය. ‘සල්ලිවලට, වරදාන, වරප්‍රසාදවලට ඡන්දය දුන්නා’ යන මතය ප්‍රසිද්ධ වූ කාරණයයි. එයත් එසේ සිදු වන්නට ඇත. ඊටත් වඩා බරපතළ කාරණය වන්නේ තමන් විසින් ම බරපතළ ලෙස විරෝධය දක්වන ලද දෙය තුරුම්පුවක් ලෙස යොදා ගැනීම ය.

මාස කිහිපයකට පසු ඇත්ත හෙළි වුණේ ය. ඒ හෙළි වුණේ, එක කරුණක් පමණ ය. තව මොන මොන දේවල් දුන්නා ද, මොන මොන දේවල්වලට එකඟ වුණා ද යන්න තවමත් රහසකි. ප්‍රමාද වෙලා හෝ මෙය එළියට එන්නේ, මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයෙන් පසුව ය. ඔහු භූමදානයට අවසර දෙන බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. එයට පහුවදා ම ආණ්ඩු පක්ෂයේ ම මන්ත්‍රීවරියක් කියා සිටියේ, එහෙම තීන්දුවක් නොමැති බව ය. ටික දවසකින් මේ පිළිබඳව දෙවනුව පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව ගැන ද හෙළිදරවු විණි. එහි සභාපතිනි, මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය තම කමිටුවේ වාර්තාව පහුගිය දෙසැම්බර් මාසේ භාර දුන් බව කිව්වා ය. එයට අනුව කොන්දේසි මත භූමදානයට අවසර ඇති බව ඇය විස්තර කළා ය. දැන් ප්‍රශ්නය ඇත්තේ, ඊට අදාළ ගැසට් නිවේදනය වෙනස් නොකිරීම ය. එයට බලය ඇත්තේ, සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට ය. ඔහුට නියෝගය ලැබිය යුත්තේ, ඇමතිවරියගෙනි. ඇමතිවරියට නියෝගය ආ යුත්තේ, ජනාධිපතිවරයාගෙන් ය. එහෙත්, එය තවමත් සිදු වී නොමැත.

එය ප්‍රමාද කරන්නේ, තව දුරටත් මේ ප්‍රශ්නය දේශපාලන තුරුම්පුවක් කර ගන්නට ය. ආරම්භයේ සිටම මේ ප්‍රශ්නය ආණ්ඩුව පාපන්දුවක් කර ගත්තේ ය. තමන්ට බලය ගන්න ඕනෑ වුණා ම ජනතාව තුළ එකී මතය පෝෂණය කරමින්, ජනතාවගේ ඡන්ද ටික ගත්තේ ය. විස්සට මන්ත්‍රීවරුන්ගේ ඡන්ද ටික ගන්න ඕනෑ වුණා ම ආයෙත් වතාවක් ඒ ප්‍රශ්නයම දඩමීමා කර ගත්තේ ය. නැවත එය පාපන්දුවක් ලෙස යොදා ගත්තේ ය. තව දුරටත් එය එසේම කරමින් සිටියි. එසේ නොමැතිව කිසි දවසක ජනතාවගේ ප්‍රශ්න ඇත්ත ප්‍රශ්න යන දෘෂ්ටියෙන් බැලුවේ නැත; බලන්නේ ද නැත. දිගින්දිගට ම කරන්නේ බලය වෙනුවෙන් එය පාවිච්චි කර ගැනීම ය. ඉතිහාසයේ ඉඳන් හැම පාලකයකු ම කළේ මේක ය. අදටත් එලෙස ම ය. මෙවැනි කරුණු මත පදනම් වූ ජාතිවාදයක් ජන කණ්ඩායම් දෙක තුළ ම අවුස්සා ඉන් වාසි ගැනීම ය. එකී ප්‍රශ්න බලය වෙනුවෙන් ඩීල් දැමීමට පාවිච්චි කිරීම ය. විස්සට ඡන්දය දීමෙන් දෙගොල්ලෝ ම දෙපැත්තට ඩීල් දැමුවෝ ය.  එක පැත්තකින් මුස්ලිම් පක්ෂවල මන්ත්‍රීවරු ඩීල් දැමූහ. අනෙක් පැත්තෙන් රාජපක්ෂවරු ඩීල් දැමූහ. මේ කිසිවක් නොදන්නා සිංහල, මුස්ලිම් ජනතාව දෙපැත්තට වී ගොඩවල් දෙකට බෙදුණහ. සමහර අවස්ථාවල කා කොටා ගන්නා තත්ත්වයට ද ආවේ ය. අන්තිමේ දී ජාතිවාදය අවුස්සලා පාලකයෝ තමන්ගේ බල වුවමනාව ඉටු කර ගත්හ. ඉදිරියට මෙය තව තවත් බරපතල වන්නට පුළුවන් ය. එක සිද්ධියකින් දෙකකින් අවසන් වන්නක් නොවේ ය. මාස කිහිපයක් ම රහසක් සේ තබා ගත් මේ දේ වාගේ තව බොහෝ දේවල් තිබෙන්නට පුළුවන් ය. දැන්වත් ජනතාව මෙය හොඳින් තේරුම් ගත යුතු ය. ජාතිවාදය ඇවිස්සීම පිටුපස ඇති දේශපාලන වුවමනාව හොඳින් වටහා ගත යුතු ය. වටහා ගැනීමෙන් නොනැවැතී, එය පරාජය කළ යුතු ය. ඒ වෙනුවෙන් ජාතිවාදයට එරෙහිව ජාතික සමඟියේ දිශාවෙන් දේශපාලනය තෝරා ගත යුතු ය. සැබෑ ජනතා ජයග්‍රහණය ඇත්තේ එතැන ය.●

ජගදාක්‍ෂි
Leave A Reply

Your email address will not be published.