‘ඉරා අඳුරු පට’ වාරණය වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

ශ්‍රී ලංකාවට ඉහළ අහස, අඳුරු වලාකුළුවලින් බර වෙමින් තිබෙන මොහොතක, හදිසියේ මතු වූ රිදී රේඛාවක් බඳු අසිරියක ආශ්වාදය විඳගැනීමේ ප්‍රහර්ෂමත් අත්දැකීමක් ඊයේ (පෙබ. 17) ලැබිණි. එනම් භාෂණයේ, ප්‍රකාශනයේ හා තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන හා එය තවදුරටත් පුළුල් කෙරෙන ආකාරයේ සුවිශේෂී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකි.
ජාතික රූපවාහිනිය මගින් විකාශනය කරමින් තිබූ සංවාදමය වැඩසටහනක්, බලධාරීන්ගේ අත්තනෝමතික තීරණයක් මත හිටි අඩියේ නතර කර දැමීමෙන් එම සංවාද මණ්ඩපයේ සිටි ආරාධිතයකුගේත්, එම වැඩසටහන උද්යෝගිමත්ව නරඹමින් දුරකථනය ඔස්සේ ඊට ප්‍රතිචාර දැක්වීමේ අපේක්ෂාවෙන් සිටි ප්‍රේක්ෂකයකුගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔවුන් දෙදෙනාට වන්දි වශයෙන් රු. 30,000/= බැගින් ගෙවන ලෙස ජාතික රූපවාහිනී සංස්ථාවටත්, රු. 50,000/= බැගින් ගෙවන ලෙස එම සංස්ථාවේ එවකට හිටපු සභාපති මහාචාර්ය ආරියරත්න ඇතුගලටත් නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ අංක 556/2008 සහ 557/2008 යන ඉහත මූලික අයිතිවාසිකම් පෙත්සමේ පැමිණිලිකරුවන් වූයේ එවකට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු වූ උවිඳු කුරුකුලසූරිය සහ රාවය පුවත්පතේ හිටපු විශේෂාංග කර්තෘවරයා වූ ජයසිරි ජයසේකරයි. පළමුවන වගඋත්තරකරු ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවත්, දෙවන වගඋත්තරකරු ලෙස එහි එවකට සභාපතිධුරය දැරූ මහාචාර්ය ආරියරත්න ඇතුගලත් නම් කර තිබූ අතර වැඩසටහන් නිෂ්පාදක ලක්ෂ්මන් මුතුතන්ත්‍රි, එවකට ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, සහ නීතිපතිවරයා සෙසු වගඋත්තරකරුවන් විය. ජනාධිපති නීතිඥ ජේ.සී වැලිඅමුණ සහ නීතිඥ පසිඳු සිල්වා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුවරුන් ඉදිරියේ මෙම නඩුව විභාග කෙරිණි.

වසර 12ක නඩු විභාගයක්

2008 වසරේ නොවැම්බර් 04 වැනිදා සිදුවූ අදාළ සිදුවීම සම්බන්ධයෙන් 2021 පෙබරවාරි 17 වැනිදා මෙම තීන්දුව ප්‍රකාශයට පත් වන්නේ, වසර 12කට අධික කාලයක් ගත වූ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය. එදා මෙදා තුර ලාංකීය සමාජයත්, මෙම නඩුවේ පාත්‍රවර්ගයාත් බරපතල වෙනස්කම්වලට භාජනය වී තිබේ. එවකට බලයේ සිටි රජය ඉන් පසු නැවත වරක් ජයග්‍රහණය කළ අතර එම පාලන කාලයද අවසන් වී ඊළඟ මැතිවරණයේදී පරාජයට පත් විය. ඉන් පසු බලයට පැමිණි රජයේ පාලන කාලයද අවසන් වී එවකට සිටි පාලනයට සම්බන්ධ අයම නැවත බලයට පැමිණ සිටී. ජනමාධ්‍ය ඇමතිවරු කිහිපදෙනෙකු මෙන්ම රූපවාහිනී සභාපතිවරු කිහිප දෙනෙකුම වරින්වර නිල තත්ත්වය අනුව මෙම නඩුවේ වගඋත්තරකරුවන් බවට පත් විය. මතුවට සඳහන් කළ යුතු තවත් වෙනස්කම්ද බොහොමයකි.
ගත වූ කාලය පිළිබඳ මේ සාධකය තිබියදීත්, අදාළ පෙත්සම් පිළිබඳ තීන්දුව නිදහස් මත දැරීමේ, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය පිළිබඳ සුවිශේෂ වැදගත්කමක් සහිත නඩු තීන්දුවකි. මුලින්ම සඳහන් කළ පරිදි මේ මොහොතේ පැතිරෙමින් තිබෙන ‘අඳුරට එරෙහි රිදී ඉරක්’
ලෙස සැලකිය හැකි වැදගත් ආලෝක දහරා රැසක් එමගින් විහිදුවන බව කිව හැකිය. විනිසුරු අලුවිහාරේ විසින් ලියන ලද පිටු 52 කින් යුත් නඩු තීන්දුව ගරා- පෙරා එම ආලෝක දහරා මතු කර ගැනීමත් ඒ පිළිබඳව සමාජය දැනුවත් කිරීමත් අදාළ විෂයයන් පිළිබඳ ප්‍රාමාණිකයන් විසින් කළ යුත්තකි. එහෙත් මේ සටහන එවැන්නක් නොවේ. පුවත්පත මුද්‍රණයට යැවීමට මත්තෙන් කෙටි කාලයක් තුළ අදාළ කරුණ සම්බන්ධයෙන් හැකි තාක් සාධාරණ ලෙස කරුණු ඉදිරිපත් කිරීමේ පුවත්පත් කලා යථාර්ථයට යටත්ව ලියැවෙන්නකි. මෙහිදී වඩාත් උපයෝගී කර ගැනෙන්නේ අදාළ නඩු තීන්දුව නොව මෙම පෙත්සම් දෙකෙන් එකක පෙත්සම්කරු ලෙස මගේ මතකයයි.

‘ඉරා අඳුරු පට’ එළැඹි හෝරාව

මෙම නඩුවට නිමිති වූයේ රූපවාහිනියෙන් සති පතා ප්‍රචාරය කෙරුණු ‘ඉරා අඳුරු පට’ නමැති සංවාදමය වැඩසටහනේ, 2008 නොවැම්බර් මස 4 වැනිදා ප්‍රචාරය වූ සංවාදයයි. එවකට ජනමාධ්‍ය ඇමතිවරයා විසින් රූපවාහිනී පනත ප්‍රකාරව, පෞද්ගලික රූපවාහිනී සේවාවන් නියාමනය කිරීම සඳහා වන රෙගුලාසි ඇතුළත් කොට පළ කරන ලද ගැසට් නිවේදනයක් (අංක 1570/35) අදාළ සංවාදය සඳහා නිමිති වූ අතර නඩුවේ එක් පැමිණිලිකරුවකු වන උවිඳු කුරුකුලසූරිය, එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශක හා පේරාදෙණිය වි.වි. කථිකාචාර්ය චරිත හේරත්, කොළඹ වි.වි. කථිකාචාර්ය ධම්ම දිසානායක සංචාද මණ්ඩපයට එක් වූ ආරාධිතයන්ය. අදාළ මාතෘකාව ‘රෙගුලාසි සහ මාධ්‍ය නිදහස’ වූ බැවින් එවකට පැවති මහින්ද රාජපක්ෂ රජයේ මර්දනකාරී පිළිවෙත උවිඳුගේ විවේචනයට ලක් විය. ලිපි දෙකක් ලිවීම හේතුකොටගෙන දින 100කට අධික කාලයක් මාධ්‍යවේදී තිස්සනායගම් සිරගත කර සිටින බවත්, මාධ්‍ය බරපතළ තර්ජනවලට හා ඒ නිසා ඇති වූ භයානක ස්වයං වාරණයකට යටත්ව ඇති බවත් එහිදී සඳහන් විය. මාධ්‍යයේ පිහිටෙන් බලයට ආ මහින්ද රාජපක්ෂ මහතා යටතේ මෙවැනි තත්ත්වයක් උදා වීම කනගාටුදායක බවද උවිඳු සිහි කළේය. පැය දෙකක පමණ කාලයක් විකාශනය වීමට නියමිතව තිබූ වැඩසටහන විනාඩි 45ක පමණ කාලයකදී හිටි අඩියේ නතර කර දැමීමට හේතු වී තිබුණේ එම විවේචනාත්මක අදහස් දැක්වීමයි.
නඩුවේදී රූපවාහිනිය පාර්ශ්වයෙන් අධිකරණයට ඉදිරිපත් වූ කරුණු අනුව එම අදහස් පළ කිරීම හේතුකොටගෙන, රූපවාහිනියේ නීති උපදේශක (ජයන්ත ද සිල්වා)ගේද උපදෙස් අනුව වැඩසටහන නතර කිරීමට තීරණය කළ බව සභාපතිවරයාගේ ස්ථාවරය වී තිබිණි. එහෙත් මෙම කරුණ පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකාබලන විනිසුරුවරු, රූපවාහිනියේ හා සභාපතිවරයාගේ ස්ථාවරය බැහැර කරති. ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා විවේචනය කිරීම අදහස් වාරණය කිරීමට හේතුවක් නොවිය යුතු බවද, ශිෂ්ටසම්පන්න ලෙස කෙරෙන විවේචනයට ඉඩ තිබිය යුතු බවද අවධාරණය කරති.
අධිකරණ අපහාසය ගැන..
මේ වන විට යළි කරළියට පැමිණ ඇති වැදගත් මාතෘකාවක් වන අධිකරණ අපහාසය හා අධිකරණය ඉදිරියේ ඇති කරුණු මාධ්‍ය ඔස්සේ සාකච්ඡා කිරීම යන කාරණා සම්බන්ධයෙන්ද මෙම නඩු තීන්දුව වැදගත් ආලෝකයක් සපයයි. එනම් අධිරණ අපහාසය වරදක් ලෙස පිළිගෙන ඇතත් ඒ පිළිබඳ පැහැදිලි නෛතික නිර්ණායක නොමැති වීම පිළිබඳ ගැටලුවයි ඒ. එමෙන්ම මෙම සාකච්ඡාවේදී අධිකරණය ඉදිරියේ විභාග වන නඩුවක් පිළිබඳව කරුණුමය වශයෙන් වැරදි නොවන සඳහනක් කර තිබෙනු මිස ඉන් අධිකරණයට බලපෑමක් සිදු කර නොමැති බවද සඳහන් කර තිබේ. තීන්දුවේ 36 වන ඡේදයේ ඒ පිළිබඳව කෙරෙන විවරණයෙහි සරල අදහස මෙබඳුය.
“පෙත්සම්කරු කුරුකුලසූරිය අදාළ අපරාධ නඩුවේ අධිකරණ කටයුතුවලට කරුණුමය වශයෙන් බාධා කරන හෝ අධිකරණය විවේචනය කරන කිසිවක් ගැන කතා කළේ නැත. ඔහු හුදෙක් එම මාධ්‍යවේදියා (තිස්සනායගම්) රඳවා තබා ගැනීම පිළිබඳ සත්‍ය තත්ත්වය ගැන සඳහන් කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන අනිසි ලෙස භාවිත කරමින්, පාලන තන්ත්‍රය විවේචනය කිරීම සඳහා ලිපි දෙකක් ලිවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියා රඳවාගෙන සිටින බව පෙත්සම්කරු ප්‍රකාශ කළේය. එම ප්‍රකාශය අපහාසාත්මක යැයි කිව නොහැක.”
දේශපාලනය අකැපද?

එමෙන්ම අදාළ මාතෘකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇති කරගත් රාමුවට පිටස්තර ලෙස දේශපාලන අදහස් පළ කළ බවට රූපවාහිනිය පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ කරුණුද විනිසුරුවරු ඉතා පැහැදිලිව බැහැර කරති. අදහස් පළ කිරීමේ නිදහස පිළිබඳ විවිධ නිර්ණායක හා නඩු තීන්දු ගැන සඳහන් කරමින් ඒ සඳහා ඇති අයිතියද, එහි අදාළත්වයද සහතික කරති. කොටින්ම රාජ්‍ය පාලිත රූපවාහිනියේ වැඩසටහනකදී (අපහාසාත්මක නොවන ආකාරයේ) ජනාධිපතිවරයා විවේචනය කිරීම ගැටලුවක් නොවන බව අවධාරණය කර තිබේ.
“පෙත්සම්කරු කුරුකුලසූරිය, රූපවහිනිය විසින් විකාශය කරන ලද සංවාදයකදී ජනාධිපතිවරයා විවේචනය කළේය. මගේ මතය අනුව, පෙත්සම්කරු, භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ක්‍රියාත්මක කිරීමේදී, ප්‍රසිද්ධ පුද්ගලයකු පිළිබඳ නීත්‍යානුකූල විවේචනයක් කරමින් සිටියේය. පෙත්සම්කරු ජනාධිපතිවරයා රළු වචනවලින් හෙළා දැක නැත. මගේ මතය නම්, ඔහු ජනාධිපතිවරයා විවේචනය කිරීම වරදක් නොවන බවයි.”
මෙවැනි වැදගත් රිදී රේඛා ගණනාවක් අදාළ නඩු තීන්දුවේ ඇත. එක් තැනක මෙසේ සඳහන් ය. “පවතින රජයේ හෝ දේශපාලනඥයන්ගේ අඩුපාඩු පෙන්වා දෙන සෑම කථාවක්ම දේශපාලන කථාවක් ලෙස අර්ථකථනය කොට වාරණය කරනු ලැබුවහොත්, වඩා හොඳ පාලනයක් ප්‍රවර්ධනය කළ හැකි නීත්‍යානුකූල විවේචනයක් කිසි විටෙකත් සිදු නොවනු ඇත.”

ප්‍රේක්ෂකයකුටද අයිතියක් ඇත!

ප්‍රේක්ෂකයකු ලෙස මා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ හරය වූයේ, අදාළ වැඩසටහන හිටි අඩියේ කිසිදු දැනුම්දීමකින් තොරව නතර කිරීම නිසා ප්‍රේක්ෂකයකු ලෙස, සංවාදයට ලක් වූ කරුණ පිළිබඳව දැනුවත් වීමට තිබූ අවස්ථාව අහිමි වූ බවයි. එමෙන්ම අදාළ වැඩසටහනට දුරකථනය මගින් ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව විවෘතව පැවති බැවින් මා ඒ ඔස්සේ මගේ අදහස් පළ කිරීමට සූදානම්ව සිටි අතර වැඩසටහන හදිසියේ නතර කිරීම නිසා එම අවස්ථාව අහිමි වූ බවයි.
වැඩසටහන හදිසියේ විරාමයකට යෑමෙන් පසු, දිගින් දිගටම වෙළෙඳ දැන්වීම් හා පසුව ගීත ප්‍රචාරය කරමින් පැවති අතර වැඩසටහන නතර කළ බවක් දැනුම් දුන්නේ නැත. එබැවින් මා 0112-599 506 අංකය ඔස්සේ රූපවාහිනිය අමතා වැඩසටහන පිළිබඳව විමසුවද නිසි පිළිතුරක් නොලැබිණි. වැඩසටහන් අංශය සම්බන්ධ කළද එහි කිසිවකු පිළිතුරු දීමට දුරකථනයට පැමිණියේ නැත. මා අදාළ වැඩසටහනේ ප්‍රේක්ෂකයකු බව තහවුරු කළ එකම සාධකය එපමණි. එසේ වුවද වැඩසටහන නතර කිරීම හේතුවෙන් මගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව අදාළ තීන්දුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කොට, රූපවාහිනී සංස්ථාව හා හිටපු සභාපතිවරයා මට මුදලින් වන්දි ගෙවිය යුතු බවද තීරණය කර තිබේ.
ගරු විනිසුරුවරු මෙසේ කියති. “වැඩසටහන අත්හිටුවීම පෙත්සම්කරු කුරුකුලසූරියට මෙන්ම වැඩසටහනට පෙනී සිටි අනෙකුත් කමිටු සාමාජිකයින්ටද ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම වළක්වාලීමට බලපෑවේය. පෙත්සම්කරු ජයසේකර සම්බන්ධයෙන් ගත් කල, වැඩසටහන අත්හිටුවීම පෙත්සම්කරුට සහ අනෙකුත් සියලුම සහභාගී වූ ප්‍රේක්ෂකයන්ට බලපෑ අතර එමඟින් වැඩසටහන නැරඹීමෙන් ඔවුන් බලාපොරොත්තු වූ තොරතුරු ලබා ගැනීමට නොහැකි විය.”
කාලය මැවු වෙනසක අරුමේ
නඩු තීන්දුවේ ඇති රිදී රේඛා තවදුරටත් සොයා යෑමට ඒ පිළිබඳ ප්‍රවීණයන්ට ඉඩ දී, එක විට සලකා බැලුණු මෙම නඩු දෙකෙන් එකක ජයග්‍රාහී පෙත්සම්කරු ලෙස කෙටියෙන් අදහසක් දැක්වීමට මෙය අවස්ථාවක් කර ගනිමි. මා මෙම පෙත්සම ඉදිරිපත් කළේ, ඒ මොහොතේ බලයේ සිටි රජය විසින් මාධ්‍යයට එරෙහි ගෙනගිය මර්දනකාරී පිළිවෙතට පුරවැසියකු ලෙස අභියෝග කිරීමේ දේශපාලන අර්ථයෙනි. අවම වශයෙන් එම රජයේ දෙවන පාලන සමය තුළ හෝ මෙම තීන්දුව ලැබුණේ නම්, එකී මර්දනකාරී පිළිවෙතට එරෙහි සටන් ව්‍යාපාරයට එය විශාල ශක්තියක් වීමට තිබිණි. ඉන් පසුව ගෙවී ගිය කාලය කෙතරම් සංකීර්ණ අවස්ථාවන් උදා කළේද යත්, එක් පෙත්සම්කරුවකු වූ උවිඳු මෙන්ම අපගේ නීතිඥවරයා වූ ජේ.සී. වැලිඅමුණද ස්වයං පිටුවහලක ජීවත් වෙති. එම සාධකය නොවුණද, අප එක් ටීපෝවක් මැදි කොට හිඳගෙන මේ ජයග්‍රහණය භුක්ති විඳින චිත්ත රූපයක් මට මවාගත නොහැකිය. එහෙත් භාෂණයේ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ අප සියලු දෙනා එක් අදහසක සිටින බවට සැකයක් නැත.
ලිපියේ කූඨප්‍රාප්තියට අපූරුවට ගැළපෙන විහිළු කතාවක්ද තිබේ. අවුරුදු 12කට පෙර මම උද්යෝගිමත් රූපවාහිනී ප්‍රේක්ෂකයකු ලෙස සිටි අවදියේ මගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියෙමි. ගරු අධිකරණය මගේ අයිතිවාසිකම් කඩ වූ බවට තීරණය කර වන්දි නියම කරන අවස්ථාව වන විට මා රූපවාහිනී නාළිකා නමැති වෛරසය ජීවිතයෙන් බැහැර කර වසර 5කටත් වැඩිය!.
-ජයසිරි ජයසේකර

Leave A Reply

Your email address will not be published.