ඉන්දියාවේ ආගමනයට නේපාලය විරුද්ධයි ලංකාව නිහඬයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ දේශපාලනය කිරීමට අපේක්ෂාවෙන් සිටින බව එම පක්ෂය නියෝජනය කරන මහ ඇමැතිවරයෙකු විසින් පක්ෂයේ ප්‍රධානියෙකු උපුටා දක්වමින් පැවසීමත් සමග නේපාල රජය නිල වශයෙන් ඊට විරෝධය පළකර තිබේ.
එහෙත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නිල වශයෙන් කිසිවක් පවසා නැති අතර, මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්.පීරිස් ඇමැතිවරයාගෙන් විමසීමේදී ඔහු පවසා තිබුණේ ඉන්දියාව නිල වශයෙන් කිසිවක් පවසා නැති නිසා අදහසක් පළකළ නොහැකි බවයි. ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා මුලින්ම පවසා තිබූ බව සඳහන් කෙරුණේ භාරතීය ජනතා පක්ෂය අසල්වැසි රටවල දේශපාලනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවයි. ඉන්පසු ලංකාව සහ නේපාලය සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කෙරුණු බව ද සඳහන් විය. පසුගිය 13 දා ට්‍රයිපූර් මහ ඇමැති බිප්ලාබ් කුමාර් මේ පිළිබඳව විවෘතව අදහස් පළකර තිබිණි. මේ පිළිබඳව සැලසුම් සකස් කෙරෙමින් පවතින බව ද අගර්තාලාහි පැවැති උත්සවයකදී මහ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් පසුගිය 16දා නිවේදනයක් නිකුත් කරමින් නේපාල විදේශ කටයුතු ඇමැති ප්‍රදීප් ග්‍යාවලී සඳහන් කර තිබුණේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් නේපාල රජයේ විරෝධය දැනටමත් මෝදි ආණ්ඩුවට දැනුම් දී ඇති බවයි. එහෙත් එය කළේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් විදේශ ඇමැතිවරයා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබුණේ නැත.
කෙසේ වෙතත් හින්දුස්තාන් ටයිම්ස් වෙබ් අඩවිය ඇතුළු ඉන්දීය මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණේ ඉන්දියාවේ නවදිල්ලිහි නේපාල තානාපති නිලම්බර් ආචාර්ය විසින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ඒකාබද්ධ ලේකම් (උතුර) අරින්දම් බග්චි වෙත් මේ පිළිබඳ සිය රජයේ විරෝධය ප්‍රකාශ කර ඇති බවයි. බග්චි යනු නේපාලය සහ භූතානය පිළිබඳ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ වගකිවයුතු නිලධාරියා ය.
කෙසේ වෙතත් ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත. මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබුණේ පක්ෂයේ ප්‍රධාන පෙළේ හමුවකදී භාරතීය ජනතා පක්ෂයේ උතුරු සහ නැගනෙහිර භාර කලාපීය ලේකම් අජේ ජාම්වාල් විසින් පක්ෂය අසල්වැසි රටවල දේශපාලනය කිරීමේ වැදගත්කම් අවධාරණය කළ බවයි. ඊට පිළිතුරු දෙමින් අමිත් ෂා විසින් ලංකාව සහ නේපාලය පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ බව ද ඔහු සඳහන් කර තිබිණි.

 

Leave A Reply

Your email address will not be published.