ඉන්දියාවේ සහ චීනයේ ආශාවන් අතර හිරවුණ අපි…

දැනට කාලයක සිට ක්‍රියාත්මකව පවතින අපේ රටේ දේශපාලනයේ හැඩරුව තීරණය කිරීම සඳහා වූ බාහිර පාර්ශ්ව මැදිහත් වීම මේ වන විට ඉතා ම උග්‍ර තැනකට පත් වී තිබෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පිහිටීමේ උපායමාර්ගික වැදගත්කම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙනවා යැයි සිතිය හැකියි. සාමාන්‍යයෙන් ඇතැම් දේශපාලන න්‍යායවාදීන් මෙය යථාර්ථයක් ලෙස පිළිගන්නේ නැහැ. ඔවුන්ට අනුව ශ්‍රී ලංකාව ලෝකයේ බලවතුන්ට වැදගත් නැහැ. ඒ වගේම ලංකාවේ විශාල වෙළෙඳපළක් නොමැතිකම හේතුවෙන් එහි බලපෑම අවම බව ඇතැමුන් ප්‍රකාශ කරනවා. නමුත්, මෙම තර්කය පිළිගත නොහැකි වන්නේ, කාලයක සිටත්, මේ වන විටත් රහසිගතව සිදු වන මෙවැනි භූ දේශපාලන මෙහෙයුම් ඉතා තීරණාත්මක ලෙස රටට බලපාමින් තිබීමයි.

1980 දශකයේ සිට එළිපිටම අසල්වැසි ඉන්දියාව මෙවැනි අතපෙවීම් දිගින්දිගටම සිදු කරනු ලැබුවා. එහි අවසන් ප්‍රතිඵලය වූයේ, රට තුළ යුද්ධයක් නිර්මාණය කොට එම යුද්ධය සිය වාසියට විටින් විට භාවිත කරමින් ඉන්දියාව දශක තුනකට අධික කාලයක් මෙම දේශපාලන ක්‍රීඩාවේ නිරත වීමයි. එහි ප්‍රතිඵලය වුණේ, ලංකාව අන්ත දුක්ඛිත තත්ත්වයකට ඇදවැටීමයි. මේ තත්ත්වය ඉන්දියාවේ අධිකාරිවාදී මැදිහත් වීම්වල තරම හෙළි කරනවා.

අවසානයේ දී සිදු වූයේ රනිල් වික්‍රමසිංහගෙන් අවශ්‍ය මැදිහත් වීම ලබා ගැනීමට ඉන්දියාවට නොහැකි වීමයි. එමෙන්ම රනිල් සහ මෛත්‍රී අතර වූ විරසකය ද චීනයේ, ඉන්දියාවේ සහ ඇමෙරිකාවේ බල දේශපාලනයේම දිගුවක් ලෙස කෘත්‍රිමව නිර්මාණය කිරීමක් බව ඒ ආණ්ඩුව සමඟ සමීපව කටයුතු කළ බොහෝ දෙනාගේ මතයයි.

ජේ. එන්. ඩික්ෂිට් රචනා කළ ‘කොළඹ භූමිකාව’ (Assignment Colombo) වැනි කෘති සීරුවට පරිශීලනය කරන්නේ නම්, මේ තත්ත්වය මැනැවින් තේරුම් ගත හැකියි. මෙවැනි මැදිහත් වීම්වල ආසන්න පොළාපැනීම දක්නට ලැබුණේ කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය පිළිබඳ ප්‍රශ්නයේ දී ඉන්දියාව සහ චීනය හැසිරුණු ආකාරය තුළයි. ඉන්දියාව නැඟෙනහිර ජැටිය පිළිබඳව සිය අවධානය යොමු කරන්නේ, අද ඊයේ සිට නොවෙයි. 2011 වසරේ දී චීනයේ මැදිහත් වීමෙන් ඉදි කිරීම් ආරම්භ කරන ලද කොළඹ දකුණු වරාය පර්යන්තය (CSCT) 2013 වසරේ දී විවෘත වුණා. ඒ සමඟ කොළඹ වරාය ලෝකයේ වැදගත්ම වරායවල් අතර තව තවත් ඉහළට පැමිණියා.

35 වසරක කාලයක් තුළ දී නැවත වරාය අධිකාරියට ලැබෙන පරිදි  BOT නැතිනම්build” operate” and transfer agreement පදනම යටතේ එය ඉදි කර තිබෙන අතර, චීන සමාගමට එහි කොටස් 85%ක් හිමියි. ඒ සමඟ ඉන්දියාව අවස්ථා ගණනාවක දී ම මෙම චීන මැදිහත් වීම පිළිබඳව සිය අකැමැත්ත සහ අප්‍රසාදය ප්‍රකාශ කළා. අනෙක් පසින් ‘පෝර්ට් සිටි’ ලෙස එවකට ප්‍රකට වූ 2016දී නැවත නම් කරන ලද ‘කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය’ ඉන්දියාව අප්‍රසාදය පළ කළ අනෙක් ව්‍යාපෘතියයි. චීනය මෙම ව්‍යාපෘතිය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජන සිදු කිරීමට සැලැසුම් කරමින් සිටිනවා. මේ අතර හම්බන්තොට වරාය මෙරට ඇති දෙවන විශාලතම වරාය වන අතර කොළඹ දකුණු සහ නැඟෙනහිර වරාය ගැඹුර මීටර් 18ක් වන විට හම්බන්තොට වරායේ ගැඹුර මීටර් 17ක් වනවා. එමෙන්ම එහි අවසන් අදියර වන විට මෙහි ගැඹුර මීටර් 21 දක්වා වැඩි කිරීමට චීනය සැලැසුම් කර ඇති බවත් ප්‍රකාශිතයි. එවිට හම්බන්තොට වරාය මෙරට සහ දකුණු ආසියාවේ ඇති ගැඹුරුම වරාය මෙන්ම තවත් දශක දෙකක ඇවෑමෙන් දකුණු ආසියාවේ කාර්යබහුල ම වරාය ද වනු ඇති. චීනය දිගින්දිගටම සිදු කරන මෙවැනි ආයෝජන ක්‍රියාකාරකම් ඉන්දියාවට වහකදුරු මෙන් වුණා. එවකට පැවැති රාජපක්ෂ පාලනය චීනය සමඟ ඉතාම සමීප සම්බන්ධයකින් කටයුතු කළ අතර, චීනයට සුවපහසු ලෙස මෙරට ආයෝජන සිදු කිරීමට හා අවශ්‍ය පමණට ණය ලබා දීමට (ණය යනු බලවත් රටවල ආයෝජනයන් ය) හා ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට අවස්ථාව උදා වූ බව නොරහසක්. විශේෂයෙන් 2013 වසරේ දී චීනය ප්‍රකාශයට පත් කළ Belt & Road Initiative ව්‍යාපෘතිය තුළ ලංකාව ප්‍රධාන මර්මස්ථානයක් ලෙස චීනය සලකන අතර, ඊට අදාළ වැඩපිළිවෙළට අනුව චීනය කටයුතු කරමින් සිටිනවා. මේ තත්ත්වයට  ඉන්දියාව කැමැති වූයේ නැහැ.

මෙහි අවසන් ප්‍රතිඵලය වුණේ, ඉන්දියාව සැලැසුම්සහගත ලෙස අපේ රටේ දේශපාලන පාලන තන්ත්‍රය වෙනස් කිරීමට මැදිහත් වීමයි. මෙම තත්ත්වය නිසි ලෙස කළමනාකරණයට ඉන්දියාවට පහසු වූයේ ඒ වන විටත් රාජපක්ෂ පාලනය පිළිබඳව රටේ ජනතාව තුළ තිබූ විරෝධයයි. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ප්‍රගතිශීලී බලවේග විසින් ඒ වන විටත් ගෙන යමින් තිබූ අරගලය හා බැඳි අවස්ථාව උපායමාර්ගික ලෙස මැදිහත් වී වෙනස් කිරීමට ඉන්දියාව සහ ඒ වෙනුවෙන් ඇමෙරිකාව මැදිහත් වූ බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. මෙම කරුණ වරක් හිටපු ජනාධිපතිවරයා ම ප්‍රකාශ කළා.

2015 මෙරට ඇති වූ ආණ්ඩු පෙරළිය ඒ අනුව ඉන්දියාව සහ ඇමෙරිකාව ඇතුළු බටහිර බලවේග උපායමාර්ගික ලෙස ලංකාවේ දේශපාලනය භාවිත කළ අවස්ථාවක් ලෙස සැලැකිය හැකියි.  ඉන්දියාවේ අරමුණ වුණේ, නව පාලනාධිකාරිය යොදාගෙන චීන ආර්ථික බලව්‍යාපෘතිය නැවැත්වීම හෝ දුබල කිරීමයි. නමුත්, තත්ත්වය ඒ ආකාරයෙන්ම සිදු වුණේ නැහැ. ඒ වෙනුවට එම ආණ්ඩුව බලයට පත් වූ මුල් අවස්ථාවේ දී පෝර්ට් සිටිය ඇතුළු චීන ව්‍යාපෘති පිළිබඳව තදබල ලෙස සලකා බලන බව ප්‍රකාශ කළත්, එසේ ප්‍රායෝගිකව සිදු වුණේ නැහැ. ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුද හමුවේ ඇමෙරිකාවට හෝ ඉන්දියාවට චීනය මෙන් ප්‍රමාණවත් ලෙස මුදල් යොදවමින් උපායමාර්ගික ලෙස හැසිරීම එතරම් ලෙහසි පහසු වූයේ නැහැ. ඊට හේතු වූයේ ඉන්දියාවට මෙන් ම ඇමෙරිකා එක්සත් ජනපදයටත් එලෙස භු දේශපාලනික උපායයන් වෙනුවෙන් ඇති තරම් මුදල් වියදම් කිරීමට හැකියාව නොමැති වීමයි.

අවසානයේ දී සිදු වූයේ රනිල් වික්‍රමසිංහගෙන් අවශ්‍ය මැදිහත් වීම ලබා ගැනීමට ඉන්දියාවට නොහැකි වීමයි. එමෙන්ම රනිල් සහ මෛත්‍රී අතර වූ විරසකය ද චීනයේ, ඉන්දියාවේ සහ ඇමෙරිකාවේ බල දේශපාලනයේම දිගුවක් ලෙස කෘත්‍රිමව නිර්මාණය කිරීමක් බව ඒ ආණ්ඩුව සමඟ සමීපව කටයුතු කළ බොහෝ දෙනාගේ මතයයි.

මෙහි දී මෛත්‍රී දැන හෝ නොදැන චීනයට බර ප්‍රතිපත්තියක් අනුගමනය කළා. එම පාලන තන්ත්‍රයට මෙම භූ දේශපාලන ගැටුම අතිවිශාල බලපෑමක් සිදු කළ බව නොරහසක්. අන්තිමට හම්බන්තොට වරාය මෙන්ම හම්බන්තොට භූමියෙන් ද කොටසක් චීනය ලබා ගත්තා. එමෙන්ම නැවතත් 2018න් පසුව ක්‍රමයෙන් ඉන්දියානු න්‍යාය පත්‍රය අර්බුදයට ලක් වූ අතර, මෛත්‍රී විසින් සෘජුවත්, වක්‍රවත් චීන අවශ්‍යතාව ඉටු කරනු ලැබුවා. රනිල් බලයට පත් වන විට ඉන්දියාව ඔහුගෙන් බලාපොරොත්තු වූ ක්‍රියාවලිය නැවතත් ඉටු වුණේ නැහැ. ඒ වෙනුවට වෙනත් වටයකින් චීන මැදිහත් වීම් උත්සන්න වුණා. අවසානයේ දී එම පාලන තන්ත්‍රය ද පෙරළා දැමීමට ඉන්දියාව සහ ඇමෙරිකාව මැදිහත් වූ බව බොහෝ දෙනාගේ මතය සහ විශ්වාසයයි. ඊට අදාළ කරුණු සහ සිදුවීම් රැසක් පිළිබඳ තොරතුරු පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී සහ ඒ සඳහා පත් කරනු ලැබූ ජනාධිපති කොමිසමේ දී හෙළි වුණා.

දැන් නැවතත් සිදුව ඇත්තේ, වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමෙන් අපේක්ෂා කළ අරමුණු ජය ගැනීමට නොහැකි තත්ත්වයක් ඉන්දියාවට උද්ගත වීමයි. නැඟෙනහිර ජැටියේ ප්‍රශ්නයෙන් මෙය මොනවට පැහැදිලි වනවා. එම සිදුවීමෙන් පසු ලබා දී තිබූ ඩොලර් මිලියන 400ක ණය ඉන්දියාව හනික ඉල්ලූ අතර එය ආණ්ඩුව විසින් නොපමාව නැවත ලබා දුන්නා. ඒ හේතුවෙන් උත්සන්න වන විදේශ සංචිත ගැටලුව මඟහරවා ගැනීමට ඩොලර් බිලියන 1.5ක් ලබා දීමට චීනය කඩිනමින් ඉදිරිපත් වී තිබෙනවා. මේ බව මහ බැංකුව ද මෑතක දී ප්‍රකාශ කළා. මෙම සිදුවීම ම මෙම ගැටුම සායනිකව තේරුම් ගැනීමට හොඳටම ප්‍රමාණවත්. මෙම සිදුවීම් සියල්ල සමඟ නැවතත් රට අර්බුදයක් කරා ගමන් කරවීමට ඉන්දියාව සහ ඇමෙරිකාව කටයුතු කරමින් සිටිනවා දැයි සැක සිතිය හැකි සිදුවීම් කිහිපයක් මේ වන විට මතු වෙමින් තිබෙනවා.  නැඟෙනහිරින් ආරම්භ වී යාපනය දක්වා ගිය දෙමළ කතා කරන ජනතාවගේ විරෝධතා පෙළපාළිය (මෙම විරෝධයට හේතු වන අහිංසක දේශපාලන බලාපොරොත්තු සාමාන්‍ය ජනතාවට තිබිය හැකියි.) අවසන් වන විට අත්පත් කර ගෙන තිබූ ජවය මඟින් පෙන්වා දෙන්නේ, එය කිසියම් විදිහක වෙනත් පාර්ශ්වයක් මෙහෙයවමින් හෝ බලගන්වමින් හෝ තිබුණු බවයි.

එසේම ජිනීවා මානව හිමිකම් කතාබහ නැවත කරළියට ගෙන තිබෙන්නේ ද එහි ම දිගුවක් ලෙස නොවේ දැයි සිතිය නොහැකි ද? එමෙන් ම ඉන්දියානු විදේශ කටයුතු ඇමතිවරයා එරට පාර්ලිමේන්තුව අමතමින් හදිසියේ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා අනිවාර්යයෙන්ම බලය බෙදිය යුතු බවයි.

එමඟින් හැ‍ඟෙන්නේ කුමක් ද? වත්මන් ආණ්ඩුව සිංහල ජනතාව ඉදිරියේ තබා ඇති දේශපාලන ආස්ථානයට සපුරා වෙනස් ස්ථාවරයක් වෙත ඉන්දියාව කඩිනමින් අවතීර්ණ වී ඇති බව නොවේ ද? එහි ඉලක්කය ආණ්ඩුව දේශපාලනිකව හිර කිරීම විය නොහැකිද? එපමණක් නොව උතුරේ දූපත් 03ක් බලශක්ති ව්‍යාපෘතියක් සඳහා චීනයට ලබා දී තිබීම සහ ඊට ඉන්දියාව දක්වන විරෝධය අප හිතන තරම් සරල ද?  එමෙන් ම උතුරේ ඉන්දියානු ධීවර ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔවුන් බරපතළ ප්‍රකාශ ගණනාවක් සිදු කරමින් සිටීම සාමාන්‍ය තත්ත්වයක් ද? චීන තේ සමාගමක් විසින් ශ්‍රී ලංකා තේ කිලෝ මිලියන 4 බැගින් වාර්ෂිකව මිල දී ගැනීමට ගනු ලැබ ඇති තීරණයට ඉන්දියාව දක්වන විරෝධය සරල ද? මේ කිසිවක් සරල නැහැ.

ඉන්දියාවට සහ ඇමෙරිකාවට සිය න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට අපේ රට තුළ ඉඩ නොලැබෙන හැම විට ම සිදු වන්නේ, විවිධ අර්බුද නිර්මාණය කිරීමයි. ඒවා ස්වාභාවික බව පෙනුණත්, කිසිවක් ස්වාභාවික ඒවා නොවෙයි. මෙම තත්ත්වය ගැඹුරින් දැන හඳුනා ගැනීමකින් තොරව කටයුතු කළ පාලකයන් නිසා පසුගිය දශක ගණනාවක් මුළුල්ලේ රටට විශාල හානියක් සිදුව තිබෙනවා. විශේෂයෙන් ස්ථාවර විදේශ ප්‍රතිපත්තියක් නොමැතිකම හේතුවෙන් තත්ත්වය දිගින්දිගට ම තීව්‍ර වෙමින් තිබෙනවා. වත්මන් ආණ්ඩුව මෙම භු දේශපාලන පාර්ශ්වකරුවන්ගෙන් කුමන පැත්තේ පැහැදිලි ලෙස හිටගනී ද යන්න තවමත් නිශ්චිත ලෙස පැහැදිලි නැහැ. නමුත්, මේ දෙක සමබර කිරීමට නම් අවස්ථාවක් හිමි නොවන බව පමණක් සිතිය හැකියි●

අනුහස් බණ්ඩාර
Leave A Reply

Your email address will not be published.