සා/පෙළින් සෞන්දර්ය විෂයයන් ඉවත් කිරීමේ සූදානමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ නොපැවත්වීමට ගෙන ඇති තීරණය මඟින් පෙනී යන්නේ පාසල් පද්ධතියෙන් සෞන්දර්යය විෂය ඉවත් කිරීමට ද යන්න පිළිබඳව සාධාරණ සැකයක් සමාජයේ ගොඩනැඟෙමින් පවතින බව ලංකා ගුරු සේවා සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගමගෙදර දිසානායක පවසයි.

මාතලේ දී මාධ්‍ය අමතා ඔහු කියා සිටියේ, ක්‍රමක්‍රමයෙන් අධ්‍යාපනය කඩාවැට්ට වීමකට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ය.

5 ශ්‍රේණියේ කඩඉම් ලකුණු ගැටලු‍ව, විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ දී ඇති වී තිබෙන ගැටලු‍ව ආදී පාසල් පද්ධතියේ විශාල ප්‍රශ්න රැසක් පැනනඟිමින් තිබෙන බව ද දිසානායක මහතා පැවසී ය.

සාමාන්‍ය පෙළ විභාගය පැවත්වීමට දැන් තීරණය කරලා තියෙනවා. නමුත්, මේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සිසුන් ඉදිරිපත් වන්නේ සීමිත පිරිසක්. පාසල් පාදක කරගෙන ලකුණු ලබා දීමේ ක්‍රමයක් ගැන කතා කරනවා. එය එතරම් ප්‍රායෝගික නැහැ. සෞන්දර්යය විෂයයන් හැදෑරීම තුළින් සංවේදී, නිවී සැනහුණු මිනිසෙක් බිහි කළ හැකියි. ඒ නිසා අපි අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, ප්‍රයෝගික පරීක්ෂණ කඩිනමින් පවත්වන්න කියල යැයි ද ඒ මහතා පැවසී ය●

මාතලේ – වසන්ත මොහොට්ටාල
Leave A Reply

Your email address will not be published.