“දේශපාලක ලොකුබණ්ඩාර මියගොස් බොහෝ කල්ය”

කෝවිඩ් 19 වසංගතය විසින් වි.ජ.මු ලොකුබණ්ඩාර පැහැරගෙන ගිය පුවත දැනගන්නට ලැබිණි. ඒ බොහෝ පුවත්හී ඔහුගේ නමට ඉදිරියෙන් විශේෂණ පද කිහිපයක් සඳහන්ව තිබිණි. ඒ හිටපු අමාත්‍ය මෙන්ම හිටපු කතානායක ආදී වශයෙනි.
මා දන්නා වි.ජමු ලොකු බණ්ඩාරලා දෙදෙනකි. ඉහත සඳහන් විශේෂණ පද ඉන් පළමුවැන්නාහටය. මේ පළමු ලොකුබණ්ඩාර මගේ කිසිදු ආකාරයක ගෞරවය හෝ ඇගයුමක් නොලබන්නෙකි. මට අනුව නම් ඔහු දේශපාලන චරිතයක් ලෙස අයත් වන්නේ බොහෝ දේ කිරීමට හැකිව තිබූ එහෙත් දේශපාලනය තුළ යහපත් වෙනසක් සඳහා වෙහෙස නොදැරූ එමෙන්ම මේ මජර ක්‍රමය පවත්වාගෙන යාමට ඊට සුදු හුණු ගෑ අනෙක් අති බහුතර දේශපාලකයන් ගොඩටමය. ඒ දේශපාලනයේදී ඔහු අති දක්ෂ රංගධරයෙක් වීය. සියුම් ලෙස්සන්නෙක් වීය. උපහාසයද උත්ප්‍රාසයද මනාව මුහු කරමින් ඉසියුම් කපටිකමින් දේශපාලනයේ රැඳී සිටියේය. කතානායක තනතුර දැරූවද මේ කතානායකයා ගැන අපට දේශපාලකයකු ලෙස කතා කරන්නට ඇත්තේ පාර්ලිමේන්තුවේදී සම්ප්‍රදායිකව කරනා ගුණ කථන වැනි මුරුංගා අත්තේ තැබීම් සහිතව නොවේ. දේශපාලකයකු ලෙස ජනතාව වෙනුවෙන් සිය මෙහෙය කරන්නට අසමත්වූ ඒ වෙනුවට පාදඩ දේශපාලන ක්‍රමය ආරක්ෂා කිරීමට මෙහෙ කළ අයකු ලෙසටය.
එහෙත් මා දන්නා දෙවන ලොකුබණ්ඩාර විශේෂිත පුරුෂයෙකි. හෙතෙම සිංහල, ඉංග්‍රීසි , පාලි, සංස්කෘත ආදී භාෂා දැන්මින් පිරිපුන්ය. හෙල හවුලෙහි බස මෙන්ම මුනිදාස කුමාරතුංග සහ රැයිපියෙල් තෙන්නකෝන් යන යුග පුරුෂයන්ගේ සාහිත්යය කාර්යය සහ සමකාලීන සහ සම්භාව්‍ය සිංහල සාහිත්යය පිලිබඳ මනා දැනුමෙන් යුක්තය. විචාරයෙහි විද්වත්ය. දේශපාලකයා මෙන් නොව මේ දැනුමින් සහ අත්දැකීමෙන් සපිරි බුද්ධිමතා හා කතා බහ සුපසන්ය. ඒ ලොකුබණ්ඩාර සමග කතා බහින් උගත හැකි දේ බොහෝය. සී ගිරි- ගී සිරි, ඔහු විසින් රචිත ඒ කෘතියෙහි නමම ගත්තද මේ මිනිසා තුළ වූ හැකියාපූර්ණ පුද්ගලයාගේ දිග පලල කියා දෙයි. එහෙත් මේ ලොකුබණ්ඩාර බොහෝවිට දේශපාලක ලොකුබණ්ඩාර විසින් යටපත් කරන ලද්දේය.
අප රටෙහි දේශපාලකයන් යයි කියනා අන් බොහෝ අය පරිදිම මා දැන සිටි දේශපාලක ලොකුබණ්ඩාර මියගොස් බොහෝ කල්ය. නමුදු මා දෙවනුව කී මිනිසා මියගොස් නැත. දේශපාලක ලොකුබණ්ඩාර විසින් මේ දෙවැන්නා කප්පාදු කරන්නට තැත් කළද ඒ උත්සාහයන් පරයා අවස්ථාව ලද විගස දෙවන ලොකුබණ්ඩාර නැගී සිටියේය. ඒ දෙවන ලොකුබණ්ඩාර විවේචනයන් සහිතව වුව මගේ ගෞරවයට ලක් වෙයි. මම වරෙක ඔහුගේ මුහුණටම මේ දේශපාලක ලොකුබණ්ඩාර වෙතැති අපේ පිලිකුල සහ දෙවැන්නා යටපත් කර දැමීම ගැන අපේ කෝපය කියා සිටියෙමි. ඔහු සුපුරුදු සිනහවෙන් මගේ අත මද වෙලාවක් අල්ලාගෙන සුහදව අනේ යයි කීවේය.
පළමු ලොකු බණ්ඩාර යමකු නොවිය යුත්තේ කවරකුදැයි අපට කියා දුන්නේය. දෙවන ලොකුබණ්ඩාර තමන් කෙතරම් ශක්යතාවන් සහිත අයෙක්දැයි අපට පෙන්වා දුන්නේය. ඒ සමගම ඒ මාවතෙහි යමින් යුග පුරුෂයකු විය හැකිව තිබියදී ඒ මගහැර නොයා යුතු මගෙක ගියේය. නැතිනම් ඒ මගෙහි සැබැවින්ම දේශපාලකයකු ලෙස තමන් කළ යුතු මෙහෙවර මගහැරියේය.
වර්තමානය තමන් දේශපාලකයන් යයි සිතා ඉන්නා අන් බොහෝ පුබ්බරුවන්ට කල්පනා කරන්නට වේදිකාවක් තනමින් සිටියි. වි ජ මු ලොකුබණ්ඩාර ඊට පමා වැඩිය. නමුදු භාෂා දැනුම සහ සාහිත දැනුම අතින් ගත් කළ වි ජ මු ලොකුබණ්ඩාර සිටිනුයේ මට ඉරිසියා හිතෙන තරම් පෙරමුණෙහිය. ඒ වියත්කමට මම හිස නමමි. ඒ සමගම ඒ වියත්කම අවියත් දේශපාලනයක ගිල්වා මරා දැමීම ගැන ඔහු විවේචනය කරමි.
-චුලානන්ද සමරනායක

Leave A Reply

Your email address will not be published.