සියල්ලට ම  ප්‍රථම ආකල්ප වෙනස් කර ගනිමු

වේගයෙන් දියුණු වන සමාජ ක්‍රමයක් තුළ දවසක් ගෙවී දවසක් ආරම්භ  වන විට ලෝකයේ සංවර්ධනය ගවු ගණනක්  දුර ගොස් ය. සෑම  ‍ක්‍ෂේත‍්‍රයක් තුළින් ම සංවර්ධනයේ ඉහළම ඵල නෙළා ගැනීමට වර්තමානය වන විට ඉතාමත් සූක්ෂ්මව සමත් වී තිබේ. එහෙත්, එම පැතිකඩවල් මොන තරම් වේගෙන් දියුණු වුවත්, මිනිසාගේ සිතුම් පැතුම්, ආකල්ප මෙම  සංවර්ධනයන් සමඟ බැඳී සාර්ථක ප‍්‍රතිඵල ලබා ගෙන ඇද්දැයි විමසා බැලීමේ දී තාමත් එකම තැන යැයි හඳුනා ගත හැකිය.

සිතුම් පැතුම්, ආකල්ප යනු පුද්ගල සමාජය තුළ  අතිශය වැදගත් ම අංගයකි. මහජන සම්බන්ධතාව පවත්වා ගැනීමේ දී, සමාජීය වශයෙන් වැඩකටයුතු සිදු කිරීමේ දී ආකල්ප මිනිසා මිනිසකු ලෙස ජීවත් කරනවා යැයි කීම වඩාත් නිවැරැදි ය. ආකල්ප මිනිස් පෞරුෂය කෙරෙහි ද විවිධ අයුරින් බලපෑම් ඇති කරනු ලබයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට මුහුණ දෙන අවස්ථා හා එහි ස්වභාවය, සමාජ වටාපිටාව මත ආකල්ප වෙනස් වේ. අප නොදැනුම්වත්ව ම  ආකල්ප මඟින් අපගේ ජීවිතය පාලනය කරනු ලබයි. ප්‍රධාන වශයෙන් මිනිස් ආකල්ප සංවර්ධනය කළ යුත්තේ කුඩා අවධියේ පටන්‍ ය.

වර්තමාන සමාජයේ මානව සම්බන්ධතා තුළ පවතින  තරගකාරිත්වය හේතුකොටගෙන  ආකල්ප සංවර්ධනය නොවීමේ අහිතකර ප‍්‍රතිඵලයක් නිර්මාණය වී ඇත. ආකල්ප වර්ධනය තම පවුල් පරිසරය තුළින්  පටන් ගත යුතු අතර, එය ප‍්‍රායෝගිකව අත්විඳීමට ද ඉඩ සැලැස්විය යුතු කරුණකි.

වර්තමානයේ පවුල, පාසල, සමාජයේ රැකියා ස්ථානයේ මෙන්ම රටේ දියුණුව සඳහා ද යහපත් ආකල්ප වර්ධනයේ අවශ්‍යතාව ප්‍රධාන වශයෙන් ම  මතු වෙමින් පවතී. කිසියම් සමාජ ආකල්පයක් සෘණාත්මක හෝ ධනාත්මක හෝ වීමට බලපාන සාධක රාශියකි. කිසියම් පුද්ගලයකු සතු මනෝභාවය, ඒ පුද්ගලයා සමාජයෙහි සෙසු පුද්ගලයන් හා කටයුතු කරන, හැසිරෙන ආකාරය සාර්ථක හෝ අසාර්ථක වීමට බලපානු ලබන්නේ සෘණාත්මක හෝ ධනාත්මක ආකල්පයි. කිසියම් සමාජ ආකල්පයක් ගොඩනැඟීම සඳහා පුද්ගල ආකල්ප හේතුසාධක වන බව නොරහසකි. මෙම හේතුව නිසා පුද්ගල ආකල්පවල බලපෑම සමාජ ආකල්ප සකස් වීම් කෙරෙහි සෘජු බලපෑමක් සිදු කරන බව පිළිගැනීමට සිදු වේ. වර්තමානයේ සමාජය, ආකල්පමය වශයෙන් දූෂිත යැයි පවසන්නේ, වර්තමාන සමාජ ආකල්පමය වශයෙන් දුර්වලව ඇති බැවිනි.

සෑම අතින් ම අද වන විට මිනිසුන්ගේ ආකල්ප අයහපත්ව ක්‍රියාත්මක වීමට  මිනිසුන්ගේ සෘණාත්මක ආකල්ප බලපෑ බව අතීතයේ සිට වර්තමානය දක්වා වූ සිද්ධිදාමයන්  මනාව සාක්‍ෂි ගෙනෙයි.

රැකියා පරිසරය තුළ පවා අද වන විට විවිධ මිනිසුන්ගේ අධි මානසික ආකල්ප ක්‍රියාත්මක වීම තුළ ද ඇති වන පීඩනය එකිනෙකා අතර අයහපත් තත්ත්වයන් ඇති කරලීමට නිරන්තර බලපෑම් කරයි. දේශපාලන, සංස්කෘතික වටාපිටාවට ආකල්පවලින් වන බලපෑම අප ලාංකික සමාජයේ දැකිය හැකි ප්‍රධානම කරුණකි.

සමාජයේ ඍණාත්මක ආකල්පවලින් යුත් යම් යම් සමාජාකල්ප නිසැකයෙන්ම රට විනාශමුඛයට ඇදදැමීමට හේතු වේ. මතුපිටින් නොපෙනුණත්, ඇතැම් අවස්ථාවල දී සොර සතුරන් කරන හානියට වඩා වැඩි හානියක් ඍණාත්මක සමාජාකල්ප සිදු කරන බව පැහැදිලිව දැකිය හැකි කරුණකි. ඍණාත්මක සාමාජාකල්පවලින් යුතු මිනිසුන් සමූහයක් එක් වී එක් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට හෝ සමාජ ස්ථරයකට හෝ මානසික හා සාමාජික මට්ටම් බිඳදැමීම් ක්‍රියාත්මක වේ. මින් සිදු වන සමාජ හානිය පිළිබඳව බොහෝ පුද්ගලයන්ට හෝ පුද්ගල සමාජයට නිසි අවබෝධයක් නොමැති බැවින්, සමාජය තුළ  වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ආත්මාර්ථය, පළිගැනීම, කුහකකම, එකිනෙකා කෙටවීම, දැඩි ආශාව වැනි විවිධ අයහපත්  ආකල්ප හට ගැනීමට ඉවහල් වන වටාපිටාවක් නිර්මාණය වීමට පසුබිම සැකැසේ.

වර්තමාන සමාජයේ මානව සම්බන්ධතා තුළ පවතින  තරගකාරිත්වය හේතුකොටගෙන  ආකල්ප සංවර්ධනය නොවීමේ අහිතකර ප‍්‍රතිඵලයක් නිර්මාණය වී ඇත. ආකල්ප වර්ධනය තම පවුල් පරිසරය තුළින්  පටන් ගත යුතු අතර, එය ප‍්‍රායෝගිකව අත්විඳීමට ද ඉඩ සැලැස්විය යුතු කරුණකි. එය නූතන  සමාජය කෙරෙහි ද ව්‍යාප්ත කළ යුත්තකි.  මිනිසකුගේ ජීවිත වෙනස් කිරීමට පළමුව  ඔහුගේ ආකල්ප වෙනස් කළ යුතු ය. මන්ද, ඕනෑ ම කෙනකුගේ  ආකල්ප  මඟින්   ජීවිතයක්  තීරණය කරන බැවිනි.

 

සංජානා තන්ත්‍රීගේ
කැලණිය විශ්වවිද්‍යාලය
Leave A Reply

Your email address will not be published.