මම ඩොනල්ඩ් ට්‍රම්ප් හරිය ?

බයිඩන් මහත්තයා ධවල මන්දිරයේ පදිංචියට එන දවසේ පිට පාරෙන්ම ගම රට බලා ගිය ට්‍රම්පච්චි නිදහසේ හුස්මක් ගත්තෙ අද තමයි. ට්‍රම්ප් මහත්තයාට එරෙහි දෝෂාභියෝගය දිනා ගෙන උන්නැහේගේ දේශපාලනයට ෆුල්ස්ටොප් එක තියන්න කොන්ග්‍රසයේ කතානායිකා නැන්සි පොලොසි නෝනාගේ මූලිකත්වයෙන් ඩිමොක්‍රටික් පක්ෂය ගෙන ගිය සටන අද පරාජයට පත්වුණා.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට මෙහෙම දෝෂාභියෝගයක් එල්ල වුණේ මැතිවරණයෙන් පස්සෙ “ට්‍රම්පච්චි ට්‍රම්පච්චි ඔබයි අපේ අප්පච්චි” කිය කියා පෙළපාලි ඇවිත් කැපිටල් හිල් ගොඩනැගිල්ලේ යකා නටපු නසරානින්ට අනුබල දුන්නා කියන චෝදනාව යටතේ.
ඇමෙරිකා කොන්ග්‍රසයේදී සේම සෙනට් සභාවේදී ද වැඩි ඡන්ද ලැබුණේ දෝෂාභියෝගයට පක්ෂවයි. ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් සභිකයන් හත් දෙනෙකුත් බයිඩන්ගේ දෑත් ශක්තිමත් කරන්න ගිහින් තමන්ගේ හිටපු නායකයාට විරුද්ධව ඡන්දය දුන්නා. ඒ අනුව 57 ට 43 ක් ලෙස සෙනට් සභාවේදීත් දෝෂාභියෝග යෝජනාව ජයග්‍රහණය කළා.
ඒක එහෙම වුණත් දෝෂාභියෝගය ක්‍රියාත්මක වෙන්නනම් සෙනට් සභාවේ තුනෙන් දෙකක වැඩි බහුතරයක් ලැබෙන්න ඕන. ඒ අනුව තමන්ට විරුද්ධව එල්ල වුණු දෙවැනි දෝෂාභියෝගයයෙනුත් ට්‍රම්ප් මහත්තයා ජයගත්තා. තමන්ගේ ධූර කාලයේදී දෝෂාභියෝග දෙකක් එල්ල වූ පළමු ඇමෙරිකානු ජනාධිපතිවරයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් අද නැවතත් ඉතිහාස ගතවෙන්නේ දෝෂාභියෝගය දෙකකින්ම ජයග්‍රහණය කළ පළමු ජනාධිපතිවරයා බවටත් පත්වෙමිනුයි.
ට්‍රම්ප් කියන්නෙ ආගමක් කියාගෙන වන්දනාවේ යන හුදී ජනතාවගේ පහන් සුව පිණිස ඇමෙරිකානු දේශපාලනයේ නෙලුම් පොහොට්ටුවක් වෙමින් ට්‍රම්ප් සුළඟක් ෆ්ලොරීඩාවේ සිට හැමුවත් පුදුම වෙන්න දෙයක් නෑ. ඒ නිසා ඩිමොක්‍රටික් පක්ෂයට වඩා රිපබ්ලිකන් පක්ෂය ට්‍රම්ප් පවුල ගැන සැකයකින් පසුවෙනවා.
-ශානක ලියනගම
(ලෝකය එකම යායක්)

Leave A Reply

Your email address will not be published.