“හිතෙන හිතෙන දේ කරන්න පුළුවන් වල්බූරු නිදහසක් කොමිෂන් සභාවලට නෑ”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ
විජයදාස රාජපක්ෂ

මේ ආණ්ඩුව බලයට පත් කරන්න ඔබ බොහෝ වෙහෙසක් ගත්කෙනෙක්. දැන් ඒ ගැන සතුටු වෙනව ද? දුක් වෙනව ද?

මෙහෙමයි, ඒ වෙලාවේ තිබුණු තත්ත්වය අනුව පැවැති ආණ්ඩුවෙන් රට මුදාගන්න තිබුණු වුවමනාව නිසා කරපු වෙහෙස ගැන සතුටු වෙනවා. නමුත්, අපි හදපු ආණ්ඩුවේ අපි බලාපොරොත්තු වෙච්ච දේවල් ඉටු නොවුණු තත්ත්වයක් තමයි තියෙන්නේ. ආණ්ඩුව අපි බලාපොරොත්තු වෙච්ච මාර්ගය වෙනුවට වෙනත් මාර්ගයක තමයි යන්නේ. ඒ ගැන සතුටු වෙන්න බෑ.

■ දේශපාලන පළිගැනීම් සොයන්න පත් කළ ජනාධිපතිකො මිසමේ වාර්තාව පසුගිය දා ජනාධිපතිවරයාට භාර දුන්නා. මේ පිළිබඳව ඔබේ විවේචනය එල්ල වුණේ, ඒ වෙනත් මාර්ගයක ආණ්ඩුව යන නිසා ද?

රටක නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාම සඳහා නේ දේශපාලන ක්‍රියාදාමය අවශ්‍ය වන්නේ. දේශපාලන පළිගැනීම් පිළිබඳ කමිටුව පත් කරපුවහ ම ඊට අදාළව ඕනෑ ම පුරවැසියකුට සිතාසියක් ලැබුණහ ම තමන් දන්න තොරතුරු සාක්ෂි විදියට ඉදිරිපත් කරන එක පුරවැසි වගකීමක්. මම මගේ ඒ වගකීම ඉටු කළා. විවේචනය කිරීමකට වඩා මම කරලා තියෙන්නේ කොමිෂන් සභාවල තියෙන බලතල මොනවා ද කියලා රටේ ජනතාවට පැහැදිලි කරලා දෙන එක. කොමිෂන් සභා කියන්නේ ඒකාධිපති බලයක් තියෙන හිතෙන හිතෙන දේවල් කරන්න පුළුවන් ආයතනයක් නොවෙයි. ඒ වගේ වල්බූරු නිදහසක් කොමිෂන්වලට නෑ.

■ ජනාධිපති කොමිෂන්වලට තියෙන බලතල මොනවාද?

කොමිෂන්වලට තියෙන බලතල මොනවා ද කියලා කොමිෂන් සභා පනතේ තියෙනවා. දඬුවම් දීමේ බලයක් කොමිෂන්වලට නෑ. කොමිසමට තියෙන්නේ යම් පැමිණිල්ලක් තියෙනවා නම්, ඒ ගැන හොයා බලන එක. එතැන දී කොමිසමට දීලා තියෙන බලය තමයි, දේශපාලනික වශයෙන් යම් යම් අයගෙන් පළිගැනීම සඳහා නීතිය අයුතු ලෙස යොදා ගත්තා ද? ඒ මොන අවස්ථාවල ද? එය බලපෑවේ කාට ද කියලා තොරතුරු සොයාගැනීමේ කාර්යයයි කොමිසමට කරන්න තියෙන්නේ. තොරතුරු සෙවීමේ කොමිසමක් තමයි මේක. මෙයින් මිනිසුන්ට දඬුවම් දෙන්නවත්, තව කොමිසමක් දාලා ප්‍රජා අයිතිය නැති කරන්න කියන්නවත් බලයක් කොමිෂන් සභාවලට නෑ. අනෙක් පැත්තෙන් නඩු පවරන්නේ නීතිපති. නීතිපති පවරන නඩුවල හරි
වැරැද්ද කතා කරන්න කොමිෂන්වලට අයිතියක් නෑ. නීතිපතිට සාක්ෂි නැත්නම් නීතිපති නඩු පවරන්නේ නෑ.

■ අධිකරණයේ වසර ගණනක් විභාග වන නඩු 91ක් ඉල්ලා අස් කර ගන්න කියලා කොමිසම එහෙම නම් කිව්වේ කොහොම ද?

ඒක තමයි මම කියන්නේ. එහෙම කියන්න බලයක් එයාලට නෑ. මේ කොමිසමට, නීතිපතිට කියන්න බෑ, ඔබ විසින් පැවරූ නඩු ඔබ විසින්ම ඉල්ලා අස් කර ගත යුතුයි කියලා. මෙහෙම කියනවාට වඩා හොඳයි, නීතිපති දෙපාර්තමේන්තුව වහලා දාන්න කියලා නිර්දේශයක් දෙන එක.

■ මෙම කොමිසම තමන්ට පැවරී ඇති බලතලවලට එහා යමින් සීමාව ඉක්මවා කටයුතු කළ බව ද ඔබ කියන්නේ ?

අපොයි ඔව්. මේ කොමිසම සීමාව ඉක්මවා ගියා පමණක් නොවෙයි. ජනාධිපතිගේ බලතලවලටත් වැඩිය බලතල එයාලා පාවිච්චි කරලා තියෙනවා.

■ බලතල, නීති අභිබවා යමින්, නීතිය හෑල්ලු කරන්න පුළුවන් වුණේ
කොහොම ද?

ඒක තමයි ප්‍රශ්නය. අධිකරණයටවත් නැති බලයක් ගන්න හදන්නේ. අධිකරණයට නඩු අහන්න, තීන්දු දෙන්න විතරක් නොවෙයි, මිනිස්සු එල්ලන්නත් බලය තියෙනවා. එහෙම බලයක් නැති කොමිෂන් සභාව අධිකරණයටවත් දෙන්න බැරි තීන්දු දෙන එක බරපතළ කාරණයක්. එය ආණ්ඩුව ද, විපක්ෂය ද කියන කාරණයට අදාළ දෙයක් නොවෙයි. එය රටේ පැවැත්ම පිළිබඳ, රටේ ජනතාවගේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ, අධිකරණය ගැන තියෙන විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්. මම දේශපාලනඥයෙක් වුණත්, නොවුණත් ජනාධිපති නීතිඥවරයෙක් විදියට රටේ ජනතාව දැනුම්වත් කිරීම ජාතික වගකීමක්.

■ විභාග වන නඩු ඉවත් කරන්න, පැමිණිලිකරුවන්ට වන්දි ගෙවන්න වගේ දේවල්  කොමිසමෙන් කියලා තියෙනවා. කොමිසම හරහා කරලා තියෙන්නේ ආණ්ඩුවට අවශ්‍ය දේ ද?

ආණ්ඩුවක් බලාපොරොත්තු වන දේවල් ඉටු කරන්න කොමිසමකට බලයක් නෑ. කොමිසමට තියෙන්නේ ජනාධිපතිවරයා විසින් ලබා දෙන බලසීමාව ඇතුළේ ක්‍රියාකරන්නයි. හැබැයි, ජනාධිපතිවරයා බලයක් දීලා තියෙනවා කියලා තමන්ට තිබෙන බලසීමාව ඉක්මවා යන්න බෑ. මොක ද? ඒ බලය කුමක් ද කියලා කොමිෂන් සභා පනතේ තියෙනවා. පාර්ලිමේන්තුවට වැඩිය කොමිසම උත්තරීතර නැහැ නේ. පාර්ලිමේන්තුව නේ උත්තරීතරයි කියන්නේ. පාර්ලිමේන්තුව නේ නීති හදන්නේ. කොමිෂන්වලට බලය දෙන නීති හැදුවෙත් පාර්ලිමේන්තුවෙන්. එහෙම වුණත්, පාර්ලිමේන්තුව තුළත් අධිකරණය ඉදිරියේ විභාග වන නඩුවක් ගැන කතා කරන්න තහනම්. ප්‍රශ්නයක් අහන්න තහනම්. යෝජනාවක් ඉදිරිපත් කරන්න තහනම්. හැබැයි, මේ කොමිසම කියනවා තියෙන නඩු ටික අස් කර ගන්න කියලා. ඒක හරි විහිළුවක් වෙලා තියෙනවා.

■ නැති බලයක් අරගෙන ක්‍රියා කරන මෙවැනි කොමිෂන් සභාවලට, එහි සාමාජිකයන්ට එරෙහිව නීතිය අනුව ගන්න පුළුවන් පියවරක් තියෙනවා ද?

ඔව්. පුළුවන්. සිරිසේන කුරේ හිටපු ඇමතිවරයාට එරෙහිව කොමිසමක් ක්‍රියාත්මක වුණා, ලලිත් ඇතුළත්මුදලි ඝාතනය සම්බන්ධයෙන්. හැබැයි ඒ කොමිසමත් දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ද්වේෂයෙන්, පිරිසිදු චේතනාවෙන් තොරව පැවැති ආණ්ඩුව ගෙනාවා කියන කාරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඔප්පු වුණා. ඒ අනුව කොමිසමේ නිර්දේශ, කොමිසමේ සඳහන් සොයාගැනීම් සියල්ල අහෝසි කරලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා. ඒ නිසා මේ කොමිසමේ තීන්දුවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිහින් හරියට කරුණු ඉදිරිපත් කළොත්, එය අවලංගු වීමේ ප්‍රවණතාව බොහොම වැඩියි.

■ ව්‍යවස්ථා සංශෝධනයෙන් ජේ. ආර්. ජයවර්ධනකොමිෂන් සභා බලතල වැඩි කරලා මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කොට රට ඉදිරියේ කළු පැල්ලමක් ඇති කළා. ඒ ගමන මේ ආණ්ඩුවත් යන්න හදන බව තමයි, විපක්ෂය කියන්නේ. ඔබ හිතන්නේ මොකක් ද?

දේශපාලන පළිගැනීම් මත මේ රටේ නඩු පවරන බව අපි දන්නවා. ඒක සඟවන්න කාරණයක් නොවෙයි. හැබැයි එහෙම වුණා ය කියලා අපට අපේ රටේ අධිකරණ ක්‍රමය තුළ එය ප්‍රශ්නයක් වුණේ නැහැ. හේතුව දේශපාලන වශයෙන් බලපෑම් කරලා, අයුතු බලපෑම් කරලා, වැරැදි ආකාරයට නඩු පැවරුවොත් අපට බලය තියෙනවා, එය ඒ අධිකරණවලට ඉදිරිපත් කරලා විනිශ්චයකාරතුමා හරහා තීන්දුවක් ගන්න. කොහෙවත් යන කොමිසමකට ඒ බලය නෑ. මම උදාහරණයකට කියන්නම්, උඩතලවින්න නඩුවේ විත්තිය වෙනුවෙන් මම පෙනී හිටියේ. එතැන දසදෙනකු මරලා තිබුණා. හැබැයි, රත්වත්තේ සහ ඔහුගේ පවුලේ අය මේ නඩුවේ චූදිතයෝ කළේ දේශපාලන පළිගැනීමක් ඇතුව කියලා මම අධිකරණය ඉදිරියේ ඔප්පු කළා. ඒක කළේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට පාර්ලිමේන්තුවේ බහුතර බලය තියා ගන්න නම්, අනිවාර්යයෙන්ම මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අවශ්‍ය වුණා. මුස්ලිම් කොන්ග්‍රසයේ බලපෑම නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයට සිද්ධ වුණා, පොලිසියට බලපෑම් කරලා අනුරුද්ධ රත්වත්තේ පටළවන්න. අපි එය අධිකරණය ඉදිරියේ සාක්ෂිවලින් ඔප්පු කළා දේශපාලන පළිගැනීම අනුවයි, නඩුව පවරලා තියෙන්නේ කියලා. එය තීන්දු කරන්නේ අධිකරණ විනිශ්චයකාරවරු. එහෙම නැතුව කොහෙවත් යන කොමිසමක සාමාජිකයන්ට, නිලධාරීන්ට ඒක තීන්දු කරන්න බෑ. අනෙක් කාරණය 1978 වෙන කොටත් කොමිෂන් සභා පනත තිබුණා. එය 1951දී ගෙනාපු නීතියක්. හැබැයි ජේ. ආර්. ජයවර්ධනට වුවමනා වුණා, ඉන් ඔබ්බට ගිහිල්ලා විශේෂ ජනාධිපති කොමිෂන් සභා කියලා අලුත් පනතක් ගෙනැල්ලා සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න. ඒ පනත ගෙනාවේ කිසිම හේතුවක් නිසා නොවෙයි ජේ. ආර්. දැනගත්තා 1982 මැතිවරණයේ දී සිරිමාවෝ මැතිනිය එක්ක තරග කළොත් පරාදයි කියලා. ඒ නිසා මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කළා. ඒක හොඳටම ඔප්පු වුණා. කොබ්බෑකඩුව වගේ කෙනෙක් එක්ක තරග කරලාත් ජේ. ආර්.ට ගන්න පුළුවන් වුණේ, 51%ක් වෙච්ච නිසා. ඒ දේශපාලන පළිගැනීම්වලට ගෙනාපු නීතිය අවුරුදු 42ක් තිස්සේ වළපල්ලේ තිබුණේ. වළ දාලා තිබුණ නීතිය ආපහු ගේන්න හදනවා කියන්නේ කෙළින්ම ඒකාධිපතිවාදයට යනවා කියන එකයි.

■කොමිසම කියනවා සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ නඩුව ඉල්ලා අස් කර ගන්න කියලා. නීතිපති එය කරනවා. කොමිසමේ නියෝග බලාත්මක වෙනවා නේ ද මේකත් එක්ක ?

නීතිපති එහෙම කරපු එක සම්පූර්ණයෙන්ම වැරැදියි. අධිකරණය ඉදිරියේ නීතිපතිවරයා නඩුවක් පැවරුවා ම නඩුව මෙහෙයැවීමේ බලය විතරයි නීතිපතිට තියෙන්නේ. පූර්ණ බලය තියෙන්නේ අධිකරණයට. නීතිපති ඉල්ලීමක් කළත්, අධිකරණයට බලය තියෙනවා නීතිපතිගේ ඉල්ලීම බැහැර කරලා තියෙන සාක්ෂි අනුව “මම නඩුව ගෙනියනවා” කියලා කියන්න. නමුත් වෙලා තියෙන්නේ සාම්ප්‍රදායිකව නීතිපති ගිහිල්ලා ඉල්ලා අස් කර ගන්නවා කිව්වාම අධිකරණයත් ඊට ඉඩ දීලා තියෙනවා. 2010-2014 කාලෙත් අපි දැක්කා, බරපතළ මිනීමැරුම් නඩු පවා නීතිපති ඉල්ලා අස් කර ගත්තා.

■ කොමිෂන් සභා වාර්තාවෙන් දුන් නිර්දේශ කැබිනට් මණ්ඩලය අනුමත කරලා. ඉදිරි පියවර ගන්න අවසර දීලා තියෙනවා ?

ඒක අනවශ්‍ය කාරණයක්. කොමිෂන් සභා වාර්තාවක් කැබිනට් එකේ අනුමත කරන්න දෙයක් නෑ. මේක නීතිය පිළිබඳ මළපොතේ අකුරක්වත් නොදන්න මිනිහෙක්ගේ උපදෙස් මත කරපු දෙයක්. කොහොම ද කොමිසමක දෙයක් කැබිනට් එක අනුමත කරන්නේ ? කොමිසමක තියෙන්නේ සොයා ගත් කරුණු හා තොරතුරු පමණයි. ඒක කොහොම ද කැබිනට් එක අනුමත කරන්නේ ? මොන නීතියක් යටතේ ද අනුමත කරන්නේ ? කැබිනට් එකට එහෙම අයිතියක් නෑ. කැබිනට් එකට තියෙන්නේ, රජයේ ප්‍රතිපත්ති, නීති සම්පාදනයන් පිළිබඳ සාකච්ඡා කරලා අනුමත කරන්නයි.
■ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරන්න හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් තවත් කොමිසමක් පත් කරනවා. ඔහු දුමින්ද සිල්වාට එරෙහිව මහාධිකරණය දුන් තීන්දුව අනුමත කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්. දුමින්ද සිල්වාගේ නඩුවත් වැරැදියි කියලා කොමිසමේ වාර්තාවේ තියෙනවා. මොකක් ද මේ සිද්ධ වෙන්නේ ?

මෙවැනි තත්ත්වයක දී ඕනෑ ම කෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිහිල්ලා, ඉල්ලීමක් කරන්න පුළුවන් කොමිසමට එරෙහිව. එය රිට් ආඥාවක් විදියට හෝ මූලික අයිතිවාසිකම් කඩවීමක් විදියට ඉදිරිපත් කරන්න පුළුවන්, මේ කොමිසම නීත්‍යනුකූල නෑ කියලා. මේකට හොඳ ම උදාහරණය තමයි, තිස්ස ඩයස් බණ්ඩාරනායක කොමිසම. ලලිත් ඇතුළත්මුදලි ඝාතනය සම්බන්ධයෙන් පත් කළ එම කොමිසමට එරෙහිව සිරිසේන කුරේ හිටපු ඇමතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියා. එතැන දී  ශ්‍රේෂ්ඨාධිකරණය තිස්ස ඩයස් බණ්ඩාරනායක කොමිසම අහෝසි කළා. අගතියට පත් ඕනෑ ම පාර්ශ්වයකට කොමිසමට එරෙහිව අධිකරණය ඉදිරියට යන්න පුළුවන්. විශේෂ ජනාධිපති කොමිෂන් සභා පත් කරන්න පුළුවන් ජනාධිපතිවරයාගේ අභිමතය අනුව යම් කිසි කාරණයක් ගැන කරුණු හොයලා දෙන්න.
■ දේශපාලන පළිගැනීම් f සායන්න පත් කළ කොමිසමෙන් තවත් පිරිසක් දේශපාලන පළිගැනිමට ලක් වෙලා නේ ද?
කාරණය මේක නේ. දේශපාලනඥයන් තමන්ගේ සීමාව ඉක්මවා ගිහිල්ලා, යම් යම් දේවල් කරයි කියල නේ කියන්නේ. එහෙම දේවල් වුණා නේ. එහි ඇත්ත නැත්ත හොයලා කියන එක තමයි, ජනාධිපති කොමිසමේ වගකීම. දැන් බැලුවා ම කොමිසමත් තීන්දු තීරණය දීලා තියෙනවා නේ. කොමිසමත් තමන්ගේ බලය ඉක්මවලා ගිහිල්ලා අහවල් අහවල් අයට දඬුවම් කරලා ප්‍රජා අයිතියත් නැති කරන්න කියලා ඒ ගොල්ලෝ නිර්දේශ කරනවා. දේශපාලනඥයෝ කරපු දේ වැරැදි නම්, ඒ වැරැද්දම කොමිසමත් කරලා තියෙනවා. ඊ ළඟ ආණ්ඩුවක් ආවට පස්සේ අනිවාර්යයෙන්ම ඊ ළඟ ආණ්ඩුව මේ ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ප්‍රජා අයිතිය අහිමි කරයි තවත් කොමිසමක් දාලා. මොක ද? මෙයාලත් බලය ඉක්මවා ගිහින් තියෙනවා නේ.

■කොහොම වුණත්, මෙම දේශපාලන පළිගැනීම් සෙවීමේ ජනාධිපති
කොමිසමේ ඔබත් පැමිණිලිකරුවෙක් ?

නෑ නෑ. ඒක වැරැදියි. මම පැමිණිලිකරුවෙක් නොවෙයි. එය මාධ්‍ය මඟින් ගෙන ගිය මඩ ගැසීමේ ප්‍රහාරයක් පමණයි. මම සාක්කිකාරයෙක්. ඒකට සාක්කිකාරයෝ බර ගාණක් කැඳෙව්වා. සිතාසියක් ආව ම දන්නවා හෝ නොදන්නවා යන්න ඕනේ. ගිහිල්ලා කියන්න ඕනේ ඒ කාරණය දන්නවා හෝ නොදන්නවා කියලා. මම ඇවිල්ලා සාක්කිකාරයෙක් විතරයි. රනිල් වික්‍රමසිංහ මහත්තයත් සාක්කිකාරයෙක්. ඒ වගේ තව හුඟක් අය හිටියා.

■ චම්පික රණවක, අනුර දිසානායක වැනි අයගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට කරන කුමන්ත්‍රණයට එරෙහිව එක පෙරමුණකට එන්න කියලා ආරාධනාවක් තියෙනවා. දේශපාලඥනයකු ලෙස ඔබ සිටගන්නේ කොතැන ද?

මම කොයි පැත්තේ සිටියත්, හරි දේ ගැන වගේම හැම දා ම ඇත්ත කතා කරපු කෙනෙක්. එතැන දී නීතිඥයකු ලෙස රටට හරි දේ පෙන්නා දෙන්න මම කටයුතු කරලා තියෙනවා. ඒක අදත් කරනවා. අනාගතයෙත් කරනවා. මගේ අතින් වරදක් වුණත්, මම එය පිළිගන්නවා ජනතාව ඉදිරියේ මගේ අතින් වරදක් වුණා කියලා. ජේ. ආර්. කළෙත්, එවක තිබු ප්‍රජාතන්ත්‍රවාදය මරලා දාපු එක නේ. ඒ ප්‍රවාහය මරලා දාපුවම මිනිස්සු කැලෑ නීතියට අනුගත වෙනවා. භීෂණයක් නිර්මාණය වෙනවා.  එදා ඒ භීෂණය අවසන් වුණේ, තරුණයෝ හැටදහසක් බිලි අරන්, රට ලේ විලක් කරලා. මෙතැන දීත් කොමිසමේ වාර්තාවට අනුව ගියොත් වෙන්නේ ඒක ම තමයි.

■ පසුගිය කාලය පුරා ම ඔබ යම් යම් කාරණාවල දී ආණ්ඩුවට එරෙහිව මත පළ කළා. මෙවරත් විවේචනයක් කරන්නේ ඇමතිකමක් නොලද නිසා ද?

අනේ නෑ. ඇමතිකම් හතර වතාවක් භාර නොගත් කෙනෙක් මම. ජනාධිපති මට අද කරන්න පුළුවන් හොඳ ම උපකාරය කරලා තියෙන නිසා මම සතුටු වෙනවා. අද මුළු ආණ්ඩුවේ හැමෝට ම “ෆේල් ෆේල්” කියද් දී, මට එහෙම තත්ත්වයක් නොවන්න එතුමා වගබලාගෙන තියෙනවා ඇමතිකම් නොදීමෙන්. ඒ නිසා මම ඒ ගැන සතුටින් ඉන්නේ. අනෙක මම ජීවිකාව සඳහා දේශපාලනය කරන්නේ නෑ. මොක ද? මම හොඳ වෘත්තිකයෙක්. රටට සේවයක් කරන්න මම දේශපාලනය කළා මිසක් තනතුරුවලට තියෙන කෑදරකමට, තනතුරු බදා ගන්න දේශපාලනය කරන කෙනෙක් නොවෙයි. ඔය ජනාධිපතිටයි, අගමැතිටයි වැඩියෙන් මම මේ රටට සේවය කරලා තියෙනවා. කෝප් කමිටුවේ සභාපති ලෙස කෝටි 30,000ක වංචාවක් හෙළි කරලා නවත්ත ගත්තා. රක්ෂණ සංස්ථාව, වරායේ ඉඩම් මම නැවත රජයට අරන් දුන්නා. මොන දේශපාලනඥයා ද එහෙම කළේ ? රනිල්ගේ ආණ්ඩුවෙන් වික්ක සි.ටී.බී. එක මම තනියම නඩු කියලා අරන් දුන්නා. මම අරන් දීපු දේවල් පහුගිය අවුරුදු තිහ හතළිහේ හිටපු ජනාධිපති කෙනෙක්වත් අරන් දීලා නැහැ නේ.

■ මෙතැනින් එහාට ඔබ සිට ගන්නේ කොයි කඳවුරේ ද?

රට වෙනුවෙන් කඳවුරේ තමයි, මම හැමදා ම සිටගත්තේ. ජනතාව මට වගකීමක් පැවරුවොත්, මම ඒ දේ කරනවා. රාජ්‍ය පාලකයෝ මට ගැළපෙන වගකීමක් නොදුන් නිසා මම එය ප්‍රතික්ෂේප කළා. ඉතින්, මේ ආණ්ඩුව යටතේ තනතුරු දැරීමේ බලපොරොත්තුවක් මට කොහොමත් නෑ. මම එදත් යහපාලන ආණ්ඩුව ඇතුළේ ඉඳන් දේශපාලන පළිගැනීම් කරන කොට නීතියට පිටින් ගිහිල්ලා කටයුතු කරන කොට එදත් මම කතා කළා. එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයව අත්අඩංගුවට ගන්න යන කොට ඒකට විරුද්ධවත් මම කතා කළා. එතැන දී මට විරුද්ධව ආණ්ඩුව ඇතුළේ ලොකු කැරැලි ඇති වුණා. නමුත්, එදත් මම සාධාරණය වෙනුවෙන් කතා කළා. මම එදා සාධාරණය වෙනුවෙන් කතා කළ නිසා ගෝඨාභය කෙනෙක් ඉන්නවා එළියේ. එදා ඒක නොකළා නම්, අදත් එයා ඉන්නේ වැලිකඩ ඇතුළේ. ඇමතිකම් තිබුණත්, නැතත් හෘදය සාක්ෂියේ හඬ වැළලෙන්න මම ඉඩ දුන්නේ නැහැ. තනතුරු තාන්න මාන්න වෙනුවෙන් මම එය පාවා දෙන්නේ නෑ. අනෙක මම මැදමුලනේ රාජපක්ෂ කෙනෙකුත් නොවෙයි. අනෙක එදා මම සාධාරණය වෙනුවෙන් කතා කරද්දී, ඊට එරෙහි වුණු යහපාලන කණ්ඩායම ම අද ගෙදර නේ. රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක, සුජීව සේනසිංහ, අජිත් පෙරේරා, අකිල විරාජ් යනාදී මාත් එක්ක හැපුණු කණ්ඩායම ම අද ගෙදර නේ. දේශපාලන පළිගැනීම්වලට ගියා ම වෙන දේ ඕක තමයි.

-ලසන්ත වීරකුලසුරිය

Leave A Reply

Your email address will not be published.