මහියංගනය අවදානමේ ජනපති එන නිසා ඇත්ත සඟවයි !

මහියංගනය ‘මැලිබන්’ සහ ‘සේඩ් ලයින්’ යන ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවයේ යෙදී සිටින සේවක, සේවිකාවන් 712 දෙනකු කොවිඩ් 19 වෛරස් ආසාදිතයන් බව තහවුරු වුව ද, ප්‍රදේශය කිසිදු ආකාරයකින් හුදෙකලා නොකර සිටීමට බලධාරීහු තීරණය කර ඇත.

ඊට හේතු වී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ මස අවසානයේ දී මහියංගනය, රිදීමාලියද්ද ප්‍රදේශයේ පිහිටි මොරාණ ජලාශය නිරීක්ෂණය කිරීමටත්, ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනක් සඳහාත් පැමිණීමට සැලැසුම් කර තිබීම ය. මේ වන විට ‘සේඩ් ලයින්’ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් ආසාදිතයන් 597 දෙනකු ද, ‘මැලිබන්’ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් ආසාදිතයන් 115දෙනකු ද වාර්තා වී තිබේ. තවත් 900කට අධික ප්‍රමාණයකගේ සිදු කළ වෛරසය හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල මෙතෙක් ලැබී නැත.
අදාළ කර්මාන්ත ශාලාවලින් හඳුනාගෙන ඇති මේ ආසාදිතයෝ සියල්ලෝ ම මහියංගනය, රිදීමාලියද්ද පදිංචිකරුවන් වෙති. මේ නිසා අදාළ ප්‍රදේශවල පාසල් විවෘත කළ ද, දරුවන් පාසල් යැවීමෙන් වැළැකී සිටීමට මවුපියන් කටයුතු කර ඇති බව ප්‍රදේශයේ පාසල් ගණනාවකින් අප ලබා ගත් තොරතුරු අනුව තහවුරු විය. ප්‍රදේශයේ ග්‍රාමීය පාසල් 18ක කිසිදු සිසුවකු හෝ සිසුවියක මේ දිනවල පාසල් පැමිණ නැති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග තහවුරු කළේ ය.

ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් විසින් මේ තත්ත්වයේ ඇති අවදානම සම්බන්ධයෙන් කොවිඩ් 19 මර්දන ජාතික මධ්‍යස්ථානය ඇතුළු අදාළ වගකිව යුතු අංශ වෙත දැනුම් දී ඇතත්, මෙතෙක් ඊට අදාළව කිසිදු උපදෙස් ලබා දීමක් සිදු කර නැත. අදාළ විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරන්නේ, මේ වන විට කොවිඩ් 19 වෛරසය හඳුනා ගැනීමේ පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම ද ශීඝ්‍රයෙන් අඩු කරමින් සිටින බවයි.

Leave A Reply

Your email address will not be published.