හොඳ සවන් දෙන්නකු වෙන්න !

දුක, සතුට, වේදනාව, කලකිරීම එක්ක ඔහේ ගලාගෙන යන ජීවිතය තුළ මුණගැහිලා ඇති මහා අප්‍රසන්න මුස්පේන්තු දවස්. අද මට එහෙම දවසක්. අරහෙන් මෙහෙන් කෙළවරක් නැතුව එන ප්‍රශ්න, වේදනා මැද්දේ ලිහාගන්න බැරි තරමට මං හිර වුණා; අසරණ වුණා. කෝකටත් තෛලෙ කියලා මං ජංගම දුරකථනය අතට ගත්තා. දුරකථන අංක ලිස්ට් එකේ පිරිලා. කියව ගන්න බැරි තරමට. මං එකින් එක පහළට බලාගෙන ගියා.

මගේ දුක කියන්න සුදුස්සෙක් හොයන්න කන්ටැක් ලිස්ට් එක පීරුවා. හොඳ ම යාළුවා… ඔව් මං එයාට කෝල් එකක් ගත්තා. ”‍ඔබ ඇමතූ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න”‍ දැන් මොකද කරන්නේ ? හොඳම යාළුවා හැරුණහම, ළඟ ම යාළුවෙක් හොයලා ආපහු ඇමතුමක් ගත්තා. “මේ බන් හදිස්සියක් ද?පොඩි වැඩකට එළියට ආවා. මං ගෙදර ගිහින් ගන්න ද?”‍ ඒකත් හරි ගියේ නෑ. හිතේ දුක තද කරන් ඉන්න බැරි ම තැන තව කෙනකුට කෝල් එකක් ගත්තා. හිතේ තියෙන දුක අකුරක් නෑර කියන්න පටන් ගත්තා විතරයි. “ඕවා ඔහොම තමයි. අපිටත් ප්‍රශ්න තියෙනවා. ගණන් ගන්න එපා. ඔක්කොම හරි යයි.”‍ එයා මගේ කතාව අහන පාටක් නෑ. මං තව එක්කෙනකුට ගත්තා. එයා මගේ කතාව අතරින් පතර අහන් හිටියා.  “‍උඹට වඩා ප්‍රශ්න තියෙන එවුන් ඕනි තරම් ඉන්නවා. මිනිස්සු එහෙම තමයි. තත්පරෙන් තත්පරේ වෙනස් වෙනවා. අපි ඒ වෙනසට මුහුණ දෙන්න ඕනි.  ඒක මේ ලෝක සොබාවෙ හැටි. ජීවිතේ දුකක් බං…”‍ උපදෙස් මාලාවයි. මං දුරකථනය පැත්තකින් තිබ්බා. තුන් හතර දෙනකුට කෝල් කළත් මට ඕනෑ දේ කාගෙන්වත් ලැබුණේ නෑ. ඇත්තට ම මට ජීවිතේ නැති කරගන්න තරම් හිතුණා. මානසික පීඩනය, ආතතිය දරාගන්න බැරුව මං පුළුවන් තරං ඇඬුවා. ඇත්තට ම මිනිස්සු ජීවිතේ නැති කර ගන්නේ ප්‍රශ්න දරාගන්න බැරුව ම නෙමෙයි, ඒ ප්‍රශ්න කියන්න කෙනෙක් නැතිකමට කියලා මං තේරුම් ගත්තා.

  • මිනිස්සු අන්ත අසරණ වෙලාවක දී බලාපොරොත්තු වෙන්නේ සංවේදී සවන් දෙන්නෙක්. විශ්වාසවන්ත හදවතක්. හැම දේ ම අහගෙන ඉඳලා ඒ දේවල්වලින්ම අවස්ථාවක් බලලා ප්‍රතිප්‍රහාර දෙන්න තරම් කර්කශ වෙන්න එපා.

මිනිස්සුන්ගෙ ජීවිතවල දරා ගන්න බැරි අවස්ථා ඕනෑ තරම් එනවා. ඒ කිසිදු අවස්ථාවක් ඔබේ අත්දැකීම් එක්ක සම කරන්න යන්න එපා. එකම ප්‍රශ්නෙ එකම විදිහට දෙන්නකුට ලැබුණට ඒක විඳදරා ගැනීමේ ශක්තිය එකිනෙකාට වෙනස්. කාට හරි හිතේ තදකරන් ඉන්න බැරි වේදනාවක් දැනුණ වෙලාවට ඔයාව මතක් වෙනවා නම් සතුටු වෙන්න අවංකව. එයාගේ ජීවිත ලිස්ට් එකේ ඔයා උඩින්ම ඉන්න කෙනෙක්. ඒ වගේ වෙලාවට ඇමතුමක් ආවොත්, කතා කරන්න බැරි ම අවස්ථාවක් නම් පුළුවන් වෙලාවක් ආපු ගමන් එයාගෙ දුක් අහන්න. ඇත්තටම ඔබට පුළුවන් නම් පැය භාගයක් එයා කියන හැම දේ ම සාමකාමීව අහගෙන ඉන්න. ඒ වගේ වෙලාවට වේදනාවෙන් ඉන්න කෙනෙක් බලාපොරොත්තු වෙන්නෙ දාර්ශනික උපදෙස් මාලාවක් නෙමෙයි. හොඳ සවන් දෙන්නෙක්. තමන්ගෙ වේදනාව, තමන්ගෙ කඳුළු කතාව විවෘතව, නිදහසේ  බෙදා ගන්න පුළුවන් සංවේදී හදවතක්. ඒ කෙනාට තියෙන ප්‍රශ්නෙ ඔයාටත් ඒ විදිහටම වුණා වෙන්න පුළුවන්. ඒත් ඔබට වඩා ඒ කෙනාගේ දරාගැනීමේ ශක්තිය අඩු වෙන්න පුළුවන්.

මිනිස්සු අන්ත අසරණ වෙලාවක දී බලාපොරොත්තු වෙන්නේ සංවේදී සවන් දෙන්නෙක්. විශ්වාසවන්ත හදවතක්. හැම දේ ම අහගෙන ඉඳලා ඒ දේවල්වලින්ම අවස්ථාවක් බලලා ප්‍රතිප්‍රහාර දෙන්න තරම් කර්කශ වෙන්න එපා. මිනිස්සු ජීවිතෙන් පලා යන්නේ ගොඩක් වෙලාවට වේදනාව ,ප්‍රශ්න දරා ගන්න බැරි හින්දම නෙමෙයි. අහන්න කෙනෙක් ඒ වෙලාවේ හිටපු නැති හින්දා. මිනිස්සුන්ව කියවන්න. තවත් මනුස්සයෙක් වෙනුවෙන් සංවේදී වෙන්න. කාගේ හරි ජීවිතේක හොඳම සවන් දෙන්නා ඔබ වෙන්න. උපදෙස් දෙන්නකු ම නෙමෙයි, හොඳම සවන් දෙන්නා බවට පත් වෙන්න. එවිට ඒ වේදනාබර ජීවිත තුළ ඔබට විශාල වටිනාකමක් ලැබෙයි. කෙනකු සතුටු කරන්න ලොකු ලොකු දේවල් කරන්න ඕනෑ නැහැ. ඔබේ වටිනා කාලයෙන් පුංචි කොටසක් වෙන් කරන්න. දැවෙන, පිච්චෙන වෙලාවට සෙවණ දෙන මහා රූස්ස ගහක් වෙන්න. ඒ හොඳට ම ඇති වේදනාබර හදවතක් නිවා සනහාලන්න.

■ චමෝදි පෙරේරා
Leave A Reply

Your email address will not be published.