ආයුබොවන්ඩ කෙහෙළිය,

තමුන්නැහැ ගැන අපි අහලා තියෙන්නෙ වේග පන්දු, දඟ පන්දු, දුස්රා ආදී එකී මෙකී නොකී බෝලවලින් විකට්ටෙක රැකගන්ඩ පු`ඵවන් පිතිහරඹකාරයෙක් හැටියටයි. අමු හිංගලෙන් වගේම ටොප් කලාස් කඩ්ඩෙනුත් ඔහේ සිල්ප දක්කන කොට හිඟා කාලා හරි අපේ කොලු, කෙල්ලන්ටත් ඉංගිරිස් ටිකක් උගන්න ගන්ඩ තියේ නං කියා හිතෙනවා. අනේ කිව්වට ඇස්වහක් කටවහක් වදින්ඩ නම් එපා අපෙ දෙයියෝ, අපේ ජාතියයි, ආගමයි වගේම දෙදාස් පන්සීයේ සඟිස්කුරුතියත් ආරක්සා කොරන්ඩ මහා ක`ඵ හිංගලයෙක් වගේ ජීවිතේ වුණත් පූජා කොරන්ඩ සූජානමින් ඉන්න මුන්නැහැට වැඩි වැඩියෙන් දළදා දෙයි හාමුදුරුවන්ගෙම පිහිටාරක්සාව ලැබෙන්ඩ ඕනා කියලා අපි නං උදේ හවස සකල දෙවි දේවතාවුන්ගෙන් ඉල්ලා හිටිනවා.

දේසපාලන කරළියෙ වගේම චිත්තරපටි කර්මාන්ත, හෝටල් වියාපාර වගේ ඉසව් ගණනාවකම වාර්තා පිට වර්තා පිහිටුවලා සිරිලංකාවට අමතරව කැන්ගරු දේසයේ පවා ජනකාන්ත තාරකාවක් හැටියට පොරසිද්ද වෙලා ඉන්න අපෙ සෑර් තවත් ලොකු අඩව්වක් අල්ලන්ඩ සූජානං වෙනවය කියලා ආරංචියක් ලැබුණා. අනිත් වැඩ රාජකාරි ඔක්කොම පැත්තකට දාලා තමුන්නැහැ තකහනියෙ එහෙම දේකට අතගැහුවේ මේ වෙලාවේ ඒක අපේ මාත්තුරු බූමියේ වගේම අපි වගේ තැළෙන, පෑගෙන උන්ගේ සුබසිද්දියට හේතු-කාරණා වෙන හන්ද ය කියල දිවුරපු හැටිත් සහසුද්දෙන්ම දැක්කා.

තේරුං ගන්ඩ ඇහැක් උණු විදිහට නං රූප පෙට්ටි, වෑර්ලස් වගේම සෝසල් මීඩියා ද මක්ක ද කියන බඩකඩුත්තුවලින් කියන කොරන දේවල් ගැන එහෙම මහා ජනතාව හෙවත් අපෙනුත් අදහස් ටිකක් තමුන්නැහැලාට අවස්සිය වෙලා තියෙන විත්තියක් තමා පෙනුණේ. අනේ තරහා ගන්ඩ එපා අපෙ දෙයියො, තමුන්නැහැලාට වගේ ඔය බරසාර වචන අපේ පුංචි මීටර්වලට අහුවෙන්නෙ නැති හන්දයි මෙහෙම අහන්නේ…? හැබෑටම ආයිබොවන්ඩ පුරවැසි මූලික ජනමාද්දියක් ඉස්තාපිත කොරනවා ය කියන්නෙ මොන විදිහෙ කර්මාන්තයක් ද කියල අපිට තව ඩිංගිත්තක් තේරුම්-බේරුම් කරලා දෙන්ඩ ඇහැකි නං තමා හොඳ.

තමුන්නැහැලා කොරන හැම වැඩක ම ඇදකුද හොයන අපේ ගමේ අර අලුගුත්තේරු කොලු නඩේ නං සෑර්ගේ ඔය වචන සැට්ටෙක අල්ලගෙන පට්ට ගහනවා. අපේ කටවල්ඔලට ඉබි-යතුරු දාන්ඩ ගහන දහංගැටයක් ය කියල ඒකලා මේ ඩිංගට ගමේ හැම තැනම පෝස්ටරුත් අලවලා ආයිබොවන්ඩ. අනික් අතට උන් කියනවා, දැන් ඔය ගමේ කජුකිරි කොල්ලො, කෙල්ලො පවා බුත්ති විඳිනව ය කියන පේස්බුක් ද මොකක්ද කියන හත්ඉලව්වටත් කෙළින්ඩයි ඔහෙල කුරුමානං අල්ලන්නෙ කියලා. ඒ අසමජ්ජාති ඇට්ටරයන්ගෙ කටවල්වලින්  නිතොර ම  පිටවෙන තවත් මන්තරයක් තමා මාද්දිය නිදහස කියන එක. තමුන්නහැලගෙ ඔය අපරබංස වාක්කිය රචනා ගැන මේ කොලු කුරුට්ටො දොඩන හරුපවල ඇබිංදමට හරි ඇත්තක් නැද්ද හැබෑටම අපෙ රත්තරං…?

මක්ක වුණත් රජෝ අපිට කියන්ට තියෙන්නේ නං තමුන්නැහැලා කවුන්සිලේට වෙලා මොන ජාතියෙ කතා පොජ්ජවල් දැම්මත්, මේ වෙන තුරුත් අපේ පුරස්න එකක්වත් නං විසඳිලා නැත ය කියාලා විතරයි. ඔහෙලා රූප පෙට්ටි ඉස්සරහට වැඩම කොරලා ටයිකෝට් දාගෙන සවුබාග්ගිය පොත පෙර`ඵවට අපි ඉන්නේ පාං කියාගන්ඩත් බැරුවයි. ආයෙත් වංගියක් අපි බොහොම කරුණාවෙන් මතක් කොරන්නේ, ඔය පුරවැසි  මූලික ජනමාද්දිය වගේ කුණුහරුප දෙඩවිල්ල නතර කොරලා අපේ බඩවල්වල කස්තිරන් අල්ලන බඩපණු හැතිකරේ මෙල්ල කොරන පොරොතිකර්මයක් හනිකට කොරන්ඩ ය කියලයි. එහෙම නැත්තන් බුදු සෑර් අපිටත් අර කොළොංතොටේ කස්ටිය ජැටියට අල්ලපු අඩව්වටත් එහා එකක් අල්ලන්ඩ සිද්ද වෙයි කියාලා ලියාලා දන්නලා තියන්ඩ කැමතියි●

විශ්වමිත්‍ර
Leave A Reply

Your email address will not be published.