ආණ්ඩුවේ මානව හිමිකම් අඬහැරය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හා රාජපක්ෂ පාලනයන් හි වාර්ෂිකව සිදුවන වාග් සංග්‍රාමය රටට ඉතා හුරුපුරුදු දෙයකි. එම ක්‍රියාවලියේ ආසන්නතම ප්‍රකාශවීම 2019 ලංකාවේ සම අනුග්‍රහයෙන් සම්මත කරගන්නා ලද “සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය” නම් 40/1 යෝජනාවෙන් ඉවත්වීමට විදේශ කටයුතු ඇමති දිනේශ් ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාව මත පදනම්වය. දැන් නවතම තත්ත්වය එළඹෙන පෙබරවාරි 22ට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂලේ ගේ වාර්තාව පිළිබඳවය.

සමහර විට රජය දැනටමත් එහි අඩංගු කරුණු පිළිබඳව දන්නවා ඇත. නැතත් ඉදිරියේ එයට මුහුණ දෙන්නට සිදුවන බව දනී. එනිසා ජනාධිපති ගෝඨාභය නවතම කොමිසමක් පත් කොට තිබේ. එහි අරමුණ කෙටියෙන්ම පවසන්නේ නම් රාජපක්ෂ පාලනයන් විසින් මීට පෙර පත්කරන ලද මානව හිමිකම්වලට අදාළව පරීක්ෂා කිරීමේ කොමිසම් පිළිබඳව සෙවීමටය. හරියට රාජපක්ෂ පාලනයන් හිදී රට කළහැටි බලා අඩුපාඩු විමසන්නට “ගම සමඟ පිළිසඳරකට” යනවා වැනිය. ජනතාව 40/1, 30/1, 40/1 වගන්ති නොදන්නවා මෙන්ම 2006 මහින්ද රාජපක්ෂ පිහිටවූ උදලාගම කොමිසම, 2013 රාජපක්ෂ පත්කළ පරණගම කොමිසම මෙන්ම 2011 ඔවුන් විසින්ම පත් කළ එල්.එල්.ආර්.සී. හෙවත් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම ආදිය නොදනී. ඔවුහු දන්නේ මහින්ද රාජපක්ෂ විදුලි පුටුව පෙන්වා ජනතාව රැවටිල්ලට ලක්කළ බව පමණි. එයත් යාන්තමට සිහිනයක් දුටුවා සේය.

උතුරේ පැවැති යුද්ධ සමයේ යුද අපරාධ වූවා යැයි චෝදනාවෙන් බේරීමට කෙළින් මුහුණ දීමෙන් වැළැකී ආණ්ඩුව විවිධ උපායන් සොයමින් සිටී. ඒ අතර රට අභ්‍යන්තරයේ ඔවුනට හිසරදයක් වන ජනමාධ්‍යවේදීන්, මානව අයිතීන් කතා කළවුන් පැහැරගැනීම්, පහරදීම් සහ ඝාතන චෝදනාද, දූෂණ සහ වංචා චෝදනාවන්ද සම්බන්ධ නඩුවලට මුහුණ දෙනවා වෙනුවට ඒවා මඟහැර කැකිල්ලේ පන්නයේ ජනාධිපති කොමිසම් හරහා චූදිතයන් විභාගයකින් තොරව කොමිසමේ අභිමතය මත නිදහස් කිරීමට නිර්දේශ දෙමින් චෝදනා ඉදිරිපත් කළවුන්ට දඬුවම් කිරීමේ මෙහෙයුමක සිටී.

රාජපක්ෂ පාලනයන් සැමදාම මානව හිමිකම් බිල්ලා පෙන්නා රටේ ජනතාව රවටාගන්නා අතර වෙනත් යාන්ත්‍රණයන් හරහා රහසේ මානව හිමිකම් කවුන්සලය ඉදිරියේ දණගසයි. සම වගවීමෙන් ඉවත්වන ආණ්ඩුව නින්දෙන් අවදිවූ සේ රටතුළ යළි මානව හිමිකම් සෙවීමේ නමින් කොමිසමක් පත් කරන්නේ එබැවින්ය. එහෙත් ඔවුන් රට තුළ මානව හිමිකම් සුරැකීම කෙසේ වෙතත් ජනතාවගේ අවම ප්‍රජාතාන්ත්‍රීය අයිතීන්ද උදුරාගනිමින් සිටී. ඒ නිසා රටේ හොඳ නම සහ ස්වෛරීත්වය රැකගන්නට කළ යුතු කිසිවක් ආණ්ඩුව පැත්තෙන් ඉටුවන බවක් නොපෙනේ. උතුරේ පැවැති යුද්ධ සමයේ යුද අපරාධ වූවා යැයි චෝදනාවෙන් බේරීමට කෙළින් මුහුණදීමෙන් වැළැකී ආණ්ඩුව විවිධ උපායන් සොයමින් සිටී. ඒ අතර රට අභ්‍යන්තරයේ ඔවුනට හිසරදයක් වන ජනමාධ්‍යවේදීන්, මානව අයිතීන් කතා කළවුන් පැහැරගැනීම්, පහරදීම් සහ ඝාතන චෝදනාද, දූෂණ සහ වංචා චෝදනාවන්ද සම්බන්ධ නඩුවලට මුහුණ දෙනවා වෙනුවට ඒවා මඟහැර කැකිල්ලේ පන්නයේ ජනාධිපති කොමිසම් හරහා චූදිතයන් විභාගයකින් තොරව කොමිසමේ අභිමතය මත නිදහස් කිරීමට නිර්දේශ දෙමින් චෝදනා ඉදිරිපත් කළවුන්ට දඬුවම් කිරීමේ මෙහෙයුමක සිටී.

එබැවින් රාජපක්ෂ පාලනයන්ට මානව හිමිකම් රැකීම පිළිබඳව සැබෑ උවමනාවක් නැත. මානව හිමිකම් යනු ඔවුනට පැවැත්ම උදෙසා වන මන්තරයකි. සැබවින්ම ලෝක මානව හිමිකම් සංවිධානය පෙන්නා රාජපක්ෂලා බලයට එන්නට සහ බලයේ සිටින්නටද ජනතා අප්‍රසාදය එනවිට එම විරෝධය වෙනතක හරවන්නටද ක්‍රිකට් පිත්තක් සේ භාවිතා කරයි. ඉන් පසු යළි ජනතාව පෙළන්නටද එයම යොදවා ගනී. අවශ්‍ය විටෙක ඔවුන් ජාතිවාදය ඇවිස්සීම සඳහාද මෙය යොදා ගනියි. ජනතාව රාජපක්ෂලාගේ මානව හිමිකම් අඬහැරය නිවරදිව තේරුම් ගන්නේ නම් එයින් ඔවුන් හාන්නට යන හීයේ තරමද වටහාගත හැකිවනු ඇත●

Leave A Reply

Your email address will not be published.