ආරෝහණය වන බල ගැටුම

මහින්ද හදිසියේ ම ගැසට්ටුවක් නිකුත් කළේ ය. ඒ ටයිල් පිටරටින් ගෙන්වීමට අවසර ලබා දුන් ගැසට් නිවේදනයයි. එහෙත්, පැය හයක් යන විට එය ක්‍රියාත්මක කිරීම වහා ම අත්හිටුවූයේ ය. එම නියෝගය දෙනු ලැබුවේ, ආනයන හා අපනයන පාලකවරියයි. මෙය සිදු වූයේ කෙසේ ද? මේ දිනවල ආණ්ඩුව ඇතුළෙත්, එළියෙත් බරපතළ සංවාදයක් බවට මෙය පත් වී ඇත.

ආරංචිමාර්ගවලට අනුව මහින්ද ගැසට්ටුව ගසා ඇත්තේ, වීරවංශගේ කීමට ය. එනම්, ඉදි කිරීම් ක්‍ෂේත්‍රයේ දැඩි ටයිල් හිඟයක් ඇති බව ඔහු මහින්දට ඒත්තුගන්වා ඇත. එබැවින්, ආනයන තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ඇත. ඒ අනුව ක්‍රියාත්මක වුණු මහින්ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හරහා අදාළ ගැසට්ටුව නිකුත් කළ බව කියැවේ. පැය කිහිපයක් තුළ මෙය ගෝඨාභයට ආරංචි වී ඇත. වහා ම ක්‍රියාත්මක වූ ඔහු වාචිකව එම ගැසට්ටුව ක්‍රියාත්මක වීම අත්හිටුවන ලෙස නියෝග දුන් බව කියැවේ. එයට අනුව ක්‍රියාත්මක වුණු ආනයනය හා අපනයන පාලකවරිය ගැසට්ටුව ක්‍රියාත්මක කිරීම සඳහා තමන් විසින් ම බැංකුවලට යවනු ලැබූ උපදේශ නැවත ගෙන්වා ගත්තා ය.

හිටපු ගමන් මහින්ද පාර්ලිමේන්තුවේ දී පුදුම හිතෙන ප්‍රකාශයක් කළේ ය. බැලූබැල්මට එය අහම්බයක් සේ පෙනුණේ ය. එහෙත්, එය කලින් සැලැසුම් කර තිබූ සංවාදයක් බව කට්ටියට ම තේරුණේ පස්සේ ය. කථානායකවරයාට ද එය තේරුණේ, ටියුබ් ලයිට් වෙලා ය. මරික්කාර් අහපු අතුරු ප්‍රශ්නයකට මහින්ද පැනලා උත්තර දුන්නේ ය. කොරෝනා මරණ භූමදානයට ඉඩ දෙන බව ඔහු කිව්වේ ය. කථානායකගේ මුහුණ තක්කාලි ගෙඩියක් වුණේ ය. ආණ්ඩු පක්‍ෂයේ බොහෝ දෙනෙක් තක්කුමුක්කු වී බලා සිටියහ. එහෙත්, එය සිදු වුණේය.

දැන් ඇත්තේ අරුමපුදුම තත්ත්වයකි. එනම්, ටයිල් ගෙන්වීමේ ඉඩ සැලැසූ ගැසට්ටුව එලෙස ම පවතී. එහෙත්. පාලකවරියගේ නියෝග මත එය අත්හිටුවා ඇත. ආණ්ඩුව ඇතුළේ ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් කියන්නේ, ටයිල් පිටරටින් ගෙන්වන අය ලබා දුන් රුපියල් මිලියන පනහක අත්තිකාරම් පගා මුදල නිසා මෙවන් කරුණු දැක්වීමක් වීරවංශ මහින්දට කර ඇති බව ය. දේශීය දේ, අපේ දේ ගැන කතා කරමින්, ටයිල් ගෙන්වන්නන්ගේ පගාවට යට වී කරපු දෙයක් කියා ය. මහින්ද මේ බව දැනගෙන ඇත්තේ ද පසුව බව ඔවුන්ගේ ම අදහස ය.

පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් විය. එහි දී ද ප්‍රධාන ඝෝෂාව වී ඇත්තේ, විමල්ගේ කතාවක් ය. මහින්ද සභාපතිකමෙන් ඉවත් කර ගෝඨාභයට එය ලබා දුන්නේ නම්, හොඳ බව ය. ගෝඨාභය කියන්නේ දේශපාලන වශයෙන් අත්දැකීම් නැති, නොමේරූ කෙනකු නිසා ඔහුට ඒ අත්දැකීම් ලබා දිය යුතු බවක් ද ඉන් කියැවී ඇත. මෙයට එරෙහිව පසුව දා ම මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේ පොදුජන පෙරමුණේ මහාලේකම් සාගර කාරියවසම් ය. තමන්ගේ පක්‍ෂයේ නිලතල පිළිබඳ තීන්දු, තීරණ ගන්නේ තම පක්‍ෂ සාමාජිකයන් බවත්, කොහේවත් ඉන්නා අයට ඒ ගැන අයිතියක් නැති බවත් කිව්වේ ය.

එහි දී රේණුක පෙරේරා කිව්වේ, වීරවංශගේ කණ්ඩායමේ ඉන්න දොස්තරවරුන් දෙන්නෙක් විදේශීය ඔත්තු සේවයකින් ඩොලර්වලින් පඩි ගන්නා බව ය. ඒ බව තමන්ට ඔප්පු කළ හැකි බව ය. සියල්ල සිදු වන්නේ එයට අනුව බව ද ඔහු කිව්වේ ය. ආණ්ඩු පක්‍ෂ රැස්වීමේ දී එල්ල වුණු තවත් ප්‍රධාන චෝදනාවක් වූයේ නැඟෙනහිර ජැටිය ගැන පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාව ය. ආණ්ඩුව ජැටිය ඉන්දියාවට දෙන තීරණය අකුළා ගන්නා බව දැනගත් වීරවංශ බොරු කාඩ්බෝඩ් වීරයකු වෙන්න උත්සාහ කරපු බව ඔවුහු මතු කළහ. මුල දී වෙස්මුහුණු දාගෙන ඉඳලා, අන්තිම වෙලාවේ තීරණය වෙනස් වෙන බව දැනගත්ත ගමන් තමන්ගේ ගෙදරට වාසුලා, ගම්මන්පිලලා, ගෙවිඳුලා ගෙන්වා ගත් බව ද ඔවුහු කීවෝ ය. එය ජැටිය නොදෙන තීරණයේ අයිතිකාරයන් වෙන්නට දරපු උත්සාහයක් යැයි ප්‍රසන්න රණතුංග සෘජුව ම චෝදනා කළේ ය. වීරවංශව බේරා ගන්න ගිය වාසුදේවට හතරවටින් ගහපු නිසා කට වසාගෙන වාඩි වුණු බව ද කියැවේ. තවමත් වැඩේ අවසන් නැත. දිගින්දිගට ම ප්‍රහාරය දියත් වෙමින් ඇත.

ඒත් එක්ක ම හිටපු ගමන් මහින්ද පාර්ලිමේන්තුවේ දී පුදුම හිතෙන ප්‍රකාශයක් කළේ ය. බැලූබැල්මට එය අහම්බයක් සේ පෙනුණේ ය. එහෙත්, එය කලින් සැලැසුම් කර තිබූ සංවාදයක් බව කට්ටියට ම තේරුණේ පස්සේ ය. කථානායකවරයාට ද එය තේරුණේ, ටියුබ් ලයිට් වෙලා ය. මරික්කාර් අහපු අතුරු ප්‍රශ්නයකට මහින්ද පැනලා උත්තර දුන්නේ ය. කොරෝනා මරණ භූමදානයට ඉඩ දෙන බව ඔහු කිව්වේ ය. කථානායකගේ මුහුණ තක්කාලි ගෙඩියක් වුණේ ය. ආණ්ඩු පක්‍ෂයේ බොහෝ දෙනෙක් තක්කුමුක්කු වී බලා සිටියහ. එහෙත්, එය සිදු වුණේ ය.

ඊට කලින් දවසේ කොරෝනා ඇමතිවරිය – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – ජලයෙන් කොරෝනා බෝ නොවන බවක් ද කිව්වා ය. එයත් එක්ක ම මේ ප්‍රකාශය එළියට ආවේ ය. භූමදානය කරන්න දෙන්න බැහැ කියලා පසුගිය දවස්වල උගුර කඩාගෙන කෑගැහුවේ වීරවංශලා, ගම්මන්පිලලා ය. ඒ අයත් එක්ක ඉන්න කණ්ඩායම් ය. මහින්දව නායකත්වයෙන් අයින් කරන්න කියන කොට ම අත දිගහැරලා හොඳවායින් කම්මුල් පහරක් ගැහුවේ ය. දැන් ඉතින් කට්ටිය ඉන්නේ, ගලේ පහරපු බළලුන්ගේ තත්ත්වයේ ය. තමන් විසින් ම හදපු දේ වහ ගන්න විදියක් නැතිව ය.

සිද්ධි සිද්ධ වෙන දිහා බැලුවා ම මණ්ඩලේ කචල් එක බරපතළ බව පැහැදිලි ය. එකිනෙකා වැඩ කරන්නේ, එකිනෙකාගේ න්‍යාය පත්‍රවලට අනුව බව පැහැදිලි ය. ආණ්ඩුවක් විදියට එක මතයක, පොදු ඉලක්කයක නැති බව එළිපිට ම වැටහෙන්නේ ය. බැසිල්ගේ කණ්ඩායමත් හතරවටින් වැඩ පටන්ගෙන ඇත. පසුගිය දවස්වල අලුත් පෝස්ටරයක් හදපු බවක් ද ආරංචි ය. ඊතලයක් ඉහළට එසැවෙන ආකාරයෙන් වූ එහි අඩංගුව ඇත්තේ, ආරෝහණය වීමක් පෙන්නුම් කිරීමකි. එනම්, ‘බැසිල් රෝහණගේ ආරෝහණයයි’. ඊ ළඟ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස කරළියට ඒමේ අභ්‍යන්තර සූදානමයි.

තමන්ගේ ගෝලබාලයෝ ටික වැඩ පටන් අරගෙන ඇත්තේ, ඒ වෙනුවෙන් ය. පළමුව කර ගත යුත්තේ, අභ්‍යන්තරයේ එයට ඇති බාධා ඉවත් කර ගැනීම ය. පක්‍ෂයේ බලය තියෙන්නේ, ඔහු අතේ ය. ගෝඨාභය පක්‍ෂයේ කිසිදු නිලයක නොමැත්තේ ය. මහින්දගෙන් පසු හිස් වන තැන ගැන කුරුමාණම අල්ලන්නේ ඒ සැලැස්මට අනුව ය. එවැනි ම වූ අහිංසක හීනයක් හිතේ මවාගෙන ඉන්නා අය දුප්පත් උත්සාහයක් ගත්තේ ඒ තැන ගන්නට ය. මහින්ද වෙනුවට ගෝඨාභය ආදේශ කරන්නට උත්සාහ කරන්නේ ඒකට ය. ඒත්, බැසිල්ගේ කපටි, කෛරාටික මෙහෙයුම් එක්ක හැප්පෙන්න තියා කිට්ටු වෙන්නවත් ඔය කාටවත් බැරි ය. දැන් සිද්ධ වෙන්නේ ඒක ය. එක එක විදියට එළියට පිපිරුවත් ඇත්ත ගැටුම ඇත්තේ එතැන ය.

බොරු දේශප්‍රේමීන් හෙළිදරවු වන්නේ ද මේ ඇතුළේ ගැටුමෙනි. හැංගි හැංගී වෙස් බැන්දාට නටන්න වෙන්නෙ එළියේ ය. වලව්වේ කොච්චර බැලමෙහෙකම් කළත්, තමන්ට හිමි වන්නේ තමන්ට හිමි තැන ය. සනත් නිශාන්ත කියන්නේ ඒ කතාව ය. පන්සලේ පින්කමට කවි කියන්න ආපු එකාට පන්සලේ අයිතිය දෙන්නේ නැති බව ය. කවි කිය කිය කීයක් හරි හම්බ කර ගන්න පුළුවන් ය. ඒත්, එතැනින් එහාට දේවල් කරන්න බැරි ය. ඉඳලා හිටලා ලොකු හාමුදුරුවන්ට බොරු කියලා කීයක් හරි දායකයන්ගෙන් කඩා ගන්නට පුළුවන් ය. පන්සලේ වැඩවලට ටයිල් නැහැ කියලා ගෙන්වන්න අවසරය අරන් දීලා කීයක් හරි හම්බ කර ගන්න පුළුවන් ය. ඒත්, ඒක අහු වෙච්ච දවසට කවි කියන්න දීපු චාන්ස් එකත් නැතිව යන්නේ ය. ලොකු හාමුදුරුවෝ හැමෝගෙන් ම වැඩ ගන්නේ ය. අන්තිමේ දී තමන්ගේ සහෝදර ගෝලයාට වැඩේ භාර දීලා සමු ගන්නේ ය. එහෙමත් නැත් නම්, වයසට ගිහිල්ලා බැරි වෙන කොට ඉබේ ම වැඩ ටික ඊ ළඟ උන්නාන්සේට පැවරෙන්නේ ය. කවි කියන එකා හැමදාමත් කවි කියන්නේ ය. නැති නම්, වෙන එකකු ලවා හරි කියවා ගන්නේ ය.

කොහොම වුණත්, ගෙවිච්ච මාස දහහතර ඇතුළේ අලකලංචි ගොඩක් සිද්ධ වුණේ ය. මේ නාටක සියල්ල වෙන්නේ වැඩේ හරියට කර ගන්න බැරි වුණා ම ය. ආර්ථිකය පැත්තෙන් ගත්තත්, දේශපාලන පැත්තෙන් ගත්තත් වැඩේ අසාර්ථක වෙන කොට ඔය වාගේ බහුබූත වැඩ සිද්ධ වෙන්නේ ය. වැඩේ හොඳට යනවා නම්, හැමෝ ම ඉන්නේ සතුටින් ය. එහෙම නැති වුණා ම කුමන්ත්‍රණ, කුළල් කා ගැනීම්, බැණ ගැනීම්, හැලැහැප්පීම් එකපිට එක එන්නේ ය. මේ එන්නේ ඒ පෙරහැර ය●

ජගදාක්‍ෂි

 

 

 

 

Leave A Reply

Your email address will not be published.