දූපත් තුනක් චීන ව්‍යාපෘතියකට

චීනය සමඟ ක්‍රියාත්මක කරන ඒකාබද්ධ බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාවට අයත් දූපත් තුනක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
යාපනයට ආසන්නයේ පෝක් සමුද්‍රසන්ධියේ පිහිටි ඩෙල්ෆ්ට්, අනලතිව් සහ නයිනතිව් යන දූපත් මෙසේ අදාළ ව්‍යාපෘතිය සඳහා ලබා දීමට පසුගිය ජනවාරි 18දා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. ‘දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධතියක් ස්ථාපිත කිරීම’ යනුවෙන් මේ ව්‍යාපෘතිය හඳුන්වා ඇති අතර, ආණ්ඩුවේ මේ තීරණය සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානයකින් පසු වන බව එරට ‘ද හින්දු’ පුවත් පත වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දක්වා ඇද්දැයි විමසීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර, එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් සඳහන් කළේ, මෙතෙක් ඉන්දියාව නිල වශයෙන් අදාළ ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රතිචාරයක් දක්වා නැති බවයි. ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස්, හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු පවසන්නේ, මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා – ඉන්දියා සම්බන්ධතා සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇති බවත්, එය තේරුම් ගත හැකි සහ පුදුම නොවිය යුතු කරුණක් බවත් ය.
කෙසේ වෙතත්, මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙතෙක් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් හෝ මධ්‍යම පරිසර අධිකාරියෙන් හෝ අනුමැතිය ලබාගෙන නැති අතර, එම ආයතනවලට මෙතෙක් කිසිදු නිල දැනුම් දීමක් ද කර නැත. මෙවැනි බලශක්ති ව්‍යාපෘතියක් සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය වේ. මේ ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇති අතර, චීනයේ ‘එටෙක්වින්’ සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය සම පාර්ශ්වකරුවෝ ලෙස කටයුතු කරති. ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක වටිනාකමකින් යුත් මේ ව්‍යාපෘතිය, කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවක් මඟින් ද අනුමත කර ඇති අතර, මෙරට ප්‍රසම්පාදන ක්‍රමවේද අනුව ව්‍යාපෘතියේ සියලු‍ කටයුතු සිදු වන බව ආණ්ඩුව පාර්ශ්වයෙන් සඳහන් කරයි.

චීන සමාගම තෝරාගත්තේ තරගකාරී ටෙන්ඩර් ක්‍රමයට
– විදුලිබල ඇමති
උතුරේ දූපත්වල විදුලිය සම්බන්ධයෙන් ඇති ගැටළුවට ස්ථිර විසඳුමක් ලෙස ඉදිරිපත් කර ඇති බලශක්ති ව්‍යාපෘතියට මූල්‍යාධාර සපයන්නේ ආසියානු සංවර්ධන බැංකුව බවත්, චීන සමාගම තරගකාරී ටෙන්ඩර් ක්‍රමය යටතේ සුදුසුකම් සම්පූර්ණ කරන ලද සමාගම බවත් විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසීය.
ඉන්දියාවද අදාළ ව්‍යාපෘතිය සඳහා මුල් වටයේදී ටෙන්ඩර් ඉදිරිපත් කළ තත්ත්වයක් තුළ, ඉන්දියාවට ආසන්නයේ මෙවැනි ව්‍යාපෘතියක් චීන සමාගමක් විසින් සිදුකිරීම සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සඳහන් කළේ ඉන්දියාව මේ ව්‍යාපෘතියට යන වියදම පරිත්‍යාගයක් ලෙස ලබාදීමට කැමැත්ත පළකර ඇති බවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් ආණ්ඩුව පාර්ශ්වයෙන් කිසිදු තීරණයක් ගෙන නැති බවත්, එය මූලික වශයෙන් ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කළ යුතු බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට අහිමි වීම සම්බන්ධයෙන් බරපතළ ලෙස සලකා බලන බව ඉන්දියාව නිල වශයෙන් පවසා ඇති තත්ත්වයක් තුළ ඉන්දියාවට ආසන්නයේ ම චීන ව්‍යාපෘතියක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලබා දීම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් බරපතළ ගැටලු මතු කරනු ඇතැයි එම ක්ෂේත්‍රයේ විශේෂඥයෝ අවධාරණය කරති. ඉන්දියාවේ රාමේශ්වරම් වෙරළ තීරයේ සිට කිලෝමීටර් 48ක දුරකින් ඩෙල්ෆ්ට් දූපත පිහිටා ඇත. මීට පෙර උතුරේ නිවාස ව්‍යාපෘතියක් සඳහා චීනය සම්බන්ධ වීම සම්බන්ධයෙන් මෙන්ම චීන සබ්මැරීන් යාත්‍රාවක් කොළඹ වරායට පැමිණීම සම්බන්ධයෙන් ද ඉන්දියාව නිල වශයෙන් විරෝධය පළ කර තිබිණි.

Leave A Reply

Your email address will not be published.