Covid 19 සදහා Oxford/AstraZeneca ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් සම්මත කරයි !

වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිර්දේශ කර ඇති අතර එය ‘ඉහළ වයස් සීමාවක් නොමැතිව’ භාවිතා කළ යුතු බව පවසා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවන් දෙකක් සමස්තයක් ලෙස සියයට 63 ක් කොවිඩ් රෝග ලක්ෂණ වලක්වාලීමට ඵලදායී බවයි.
වයෝවෘද්ධ පුද්ගලයින් සඳහා බ්‍රිතාන්‍යය එහි ප්‍රධාන අංගයක් ලෙස Oxford/AstraZeneca භාවිතා කරයි, මේ වන විට එය මිලියන 13 කට අධික ජනතාවකට ප්‍රතිශක්තිකරණය ලබා දී ඇත. විද්‍යාත්මක උපදේශකයින් පැවසුවේ සති අටක් -12 අතර මාත්‍රාවක් ලබා දීමෙන් එන්නතෙහි ඵලදායීතාවය ඉහළ නංවන අතර වැඩි ආරක්ෂාවක් ලබා දෙන බවයි. ඔක්ස්ෆර්ඩ් එන්නත “ලෝකයට එන්නත” ලෙස සලකනු ලබන්නේ එය ලාභදායී වන අතර මහා පරිමාණයෙන් නිපදවිය හැකි සහ සම්මත ශීතකරණයක ගබඩා කර තබා ගත හැක බැවිනි.
ප්‍රංශය, ජර්මනිය ඇතුළු සමහර යුරෝපීය රටවල් වැඩිහිටියන්ට මෙම එන්නත ලබා නොදෙන බව පැවසීමෙන් පසුව එය මතභේදයට තුඩු දී තිබේ. මෑත දිනවල, යෞවනයන් සම්බන්ධ , ප්‍රකාශයට පත් නොකළ අධ්‍යයනයක ප්‍රතිඵලයකින් පසු, දකුණු අප්‍රිකානු Covid 19 වල ප්‍රබේධ නිසා ඇති වන මෘදු හා මධ්‍යස්ථ රෝගවලට එරෙහිව එය අවම ආරක්ෂාවක් – (10% ක් පමණ) පෙන්නුම් කරයි. එහි ප්‍රතිපලයක් ලෙස දකුණු අප්‍රිකාව එන්නත යෙදවීම නවතා දමා ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ අධ්‍යක්ෂ වෛද්‍ය කැතරින් ඕ බ්‍රයන් කියා සිටියේ දකුණු අප්‍රිකානු අධ්‍යයනය “අවිනිශ්චිත” බවත් එන්නත් කිරීම තවමත් පිළිගත හැකි බවත්ය. ඇය තවදුරටත් මෙසේ පවසයි.
“ලෝකයේ බොහෝ රටවල, දිනපතා මිනිසුන් 1000 ක් Covid 19 ආසාදනයෙන් මිය යන අතර, එය අඩු කිරීමට හැකි නිෂ්පාදනයක් භාවිතා කිරීම සඳහා අපට කළ හැකි ඕනෑම දෙයක් මුළුමනින්ම යුක්ති සහගත ය, එහි තොරතුරු අප කැමති තරම් සම්පූර්ණ නොවුනත් ! අනෙක් අතර වයිරසයේ නව ප්‍රභේද සමඟ රෝගයට එරෙහිව එහි කාර්යක්ෂමතාව අඩු මට්ටමකට වැටුණත් එන්නත තවමත් රෝගයේ දරුණුභාවය මරණය නතර කරන බවයි.‘‘
ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණය, එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් යුත් කෝවාක්ස් යෝජනා ක්‍රමයට ලොව පුරා ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව අඩු ආදායම් ලබන රටවලට නැව්ගත කිරීම ආරම්භ කිරීමට මග විවර කරයි. කිසිදු ලාභයක් නොලබන මිලකට සකසා ඇති මෙම එන්නතට සාමාන්‍ය ශීතකරණයක් පමණක් අවශ්‍ය වන අතර බොහෝ රටවල සෞඛ්‍ය සේවකයින්ට සහ වඩාත් අවදානමට ලක්විය හැකි පුරවැසියන්ට එන්නත් ලබා දීමේ හොඳම බලාපොරොත්තුව මෙයයි.
-උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.