පොතුවිල් සිට පොලිකණ්ඩිය දක්වා නම් වූ සටන #DtoP #දෙවුන්දර සිට පේදුරුතුඩුව දක්වා#

අප දකින #P2P පෙළපාලිය
#P2P පොතුවිල් සිට පොලිකන්ඩිය දක්වා පෙළපාලිය ජයග්‍රහණයක් වීමට හේතු වූ කරුණු අවබෝධ කරගැනීම වැදගත් වෙයි. එම හේතුන් පෙලගැස්වූ විට, – දෙමළ ජනතාවගේ දුක් වේදනාවන් – අතුරුදහන් වූ ඥාතීන් නැවත නොලැබේදෝ යන සැකය උත්සන්න වීම – යුද්ධය නිමාවී අවුරුදු 11 ගතවූවත් එදිනෙදා ජීවිතයේ දෙමළ ජනතාව විදින කරදර නිසා ඇති වූ පීඩාවන් – යුද්ධයේ දී තම දරුවන් නැති වූ දෙමාපියන්ගේ මානසික තැවුල් – යුධ සමයේ ඝාතනය කරන ලද වැඩිහිටියන්ගෙන් යැපුන බිරින්දෑවරුන් හා පවුලේ සාමාජිකයින්ගේ ඉච්ඡාභංගත්වය – සැනසුම්දායී නිදහස් ජීවතයක් ගතකිරීමට නොහැකි වීමේ සාංකාව – අනාගතය පිළිබද අපේක්ෂාභංගත්වය යනාදිය මෙම පෙළපාලියේ සුවිශේෂී ජයග්‍රහණයට හේතු වූ බව සත්‍යයකි.
මෙම පෙළපාලිය දේශපාලනයෙන් හා පක්ෂවල යහපතෙන් ඔබ්බට ගොස් දෙමළ ජනතාවගේ වත්මන් මානසිකත්වය පිළිබිඹු කරයි.
මෙම පෙළපාලිය පිළිබද ව සිංහල ජනතාවට පැහැදිලි හා නිවැරදි අවබෝධයක් තිබීම රටේ යහපතට අත්‍යාවශ්‍ය ය. සිංහල ජනතාව මෙම පෙළපාලිය තමන්ට විරුද්ධ ව සිදුවූවක් යැයි සිතුවහොත් රට විශාල ආපදාවකට මුහුණ දීමට සිදුවනු ඇත.
මේවනවිටත් දෙමළ ජනතාව ගැන සිංහල ජනතාව තුල පවතින එදිරිවාදිකම කිහිප ගුණයකින් වැඩිකිරීමට පොතුවිල් සිට පොලිකන්ඩිය දක්වා පෙළපාලිය හේතුවක් නොවිය යුතුයි යන්න රට දේශය ගැන කැක්කුමක් තියෙන හැමදෙනාගේ ම පැතුමයි; අපේක්ෂාවයි.
ඇත්ත වශයෙන් දැනට අවසන් වී තිබෙන පෙළපාලිය දෙමළ ජනතාව තම සිත් වේදනාවන්, අගහිගකම්, අහිමිවීම්, ආවේගයන් එළිදක්වන ආණ්ඩුවට එරෙහි පෙළපාලියක් වූවා මිසෙක සිංහල ජනතාවට එරෙහි වූවක් නොව.
රජය මෙම පෙළපාලිය රට බෙදීමේ කැරැල්ලක් ලෙසිනුත් අධිරාජ්‍යවාදය විසින් උසිගැන්වූ කුමන්ත්‍රණයක් බවත් ජෙනීවාවට එරෙහි ව හඩ නගා ප්‍රෝඩාකාරි රගපෑමක් කරන අතර ම, ඇත්තෙන්ම අධිරාජ්‍යවාදයේ හෙංචයියෙකු වී සිටින්නේ ආණ්ඩුවයි. දේශීය සම්පත්, වරායන් හා ජැටි, ගුවන් තොටුපලවල්, අක්කර දහස් ගණනින් ඉඩම් අධිරාජ්‍යවාදීන්ට පූජා කිරීමත් ණය වී අධිරාජ්‍යවාදී සමාගම්වලට රටේ වටිනා සම්පත් විකිණීමත් ඇතුළු සියළුම ආකාරයේ අධිරාජ්‍යවාදයේ න්‍යාය පත්‍රයට අනුකූල ව කටයුතු කරන්නේ ආණ්ඩුව ය. එමනිසා අධිරාජ්‍යවාදයේ නියම හෙංචයියන් ආණ්ඩුව ම ය.
එහෙත්, මානව හිමිකම් ප්‍රශ්න මතුවන විට තමන් අධිරාජ්‍යවාද විරෝධීන් යැයි රගපාන්නේ ද මෙම පාලකයින් ය. ඒ වෙනුවෙන් ඔවුන් ජනතාව බෙදා භින්න කිරීමේ උපක්‍රමය භාවිතා කරති. සිංහල ජනතාව අතර ජාතිවාදයත් ආගම්වාදයත් පතුරුවමින් තම පැවැත්ම රැකගැනීමට රැගුම් පාන බව සිංහල ජනතාව තේරුම් ගැනීම නිසා දකුණු ලංකාවේ ආණ්ඩුවට විරුද්ධ ව විවිධ උද්ඝෝෂණ හා අරගල සිදුවන යථාර්තය අප (දෙමළ ජනතාව)ත් අවබෝධ කරගෙන අපගේ සටන කුඩා කවයකට සීමා නොකර පුළුල් වපසරියකට ගමන්කරන සටනක් බවට පත් කරගත යුතු ය. මෙය කාලීන අවශ්‍යතාවයක් ද වන්නේ ය. මේ බව සිංහල ජනතාවට ඒත්තු ගැන්විය යුතු ය.
මෙම යථාර්තය සිංහල ජනතාව අවබෝධ කරගන්නවා පමණක් නොව එම ජනතාව මුහුණ දෙමින් සිටින එදිනෙදා ජීවත්වීමේ ගැටළු, පීඩිතයින්, දින කුලීකරුවන්, විරැකියාව වැනි ජන සමාජයේ පොදු ප්‍රශ්න කෙරෙහි පුළුල් පරිණාමයකට වර්ධනය කර ඉදිරියට ගෙන යෑම අවශ්‍ය ය.
මෙවැනි පරිණාම වර්ධනයක ප්‍රතිඵලයක් ලෙසින්, පොතුවිල් සිට පොලිකණ්ඩිය දක්වා නම් වූ සටන #DtoP #දෙවුන්දර සිට පේදුරුතුඩුව දක්වා# යැයි පුළුල් අර්ථයකින් සංවර්ධනය වී මෙරටේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියළු ජාතීන්ගේ පෙළපාලියක් ලෙසින් කූටප්‍රාප්තියට පත්විය යුතුයි යන්න දෙමළ ජනතාවගේ යහපතෙහිත් පොදු මහත් දේශයේ යහපතෙහිත් උනන්දුව; සැලකිල්ල දක්වන සියල්ලගේ ම බලවත් අභිලාෂය ද වේ.

රාමලිංගම් චන්ද්‍රෂේකර් (ජනතා විමුක්ති පෙරමුණ)
සිංහල පරිවර්ථනය: හිෂාම් හුසේන් පුත්තලම

Leave A Reply

Your email address will not be published.