වනජීවී සංරක්‍ෂණයේ වන සංරක්‍ෂණ නිලධාරීන් සතු බලතල​

මේ දිනවල කටාබහට ලක්ව තිබෙන සිද්ධියක් වන්නේ වන සංරක්ශන දෙපාර්තුමේන්තුවේ ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය විසින් පසුගිය ඉරිදා Crudia zeylanica ගස් බේරා ගැනීම පිනිස කල මැදිහත්වීම වේ. එම ක්‍රියාව කිරීමට ඇයට නීතිමය බලතල නැති බවට සහ එය තමන් සතු බලය ඉක්මවා කටයුතු කර තිබෙන බවට යම් පාර්ශව විසින් අදහස් දක්වා තිබෙන බවට කෙරෙන විමසුම් වෙනුවෙන් මෙම ප්‍රතිචාරය පල කරමි.
වන සංරක්‍ෂණ ආඥා පනතේ 60 වන වගන්තිය අනුව එම දෙපාර්තමේන්තුවේ සියලුම වන නිලධාරීන් සාම නිලධාරීන් බවට පත්කර තිබේ.
ඒ අනුව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ විවිධ වගන්ති මගින් සාම නිලධාරීන් වෙත පිරිනමා තිබෙන බලතල ක්‍රියාත්මක කිරීමට වන නිලධාරීන්ටත් පූර්න බලතල හිමිව තිබේ.
අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 32 වැඅන වගන්තියට අනුව යම් සංඥේය වරදක නිරත වන අයෙකුව වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගැනීමේ බලතල තිබේ.මීටත් වැඩිමනත් බලතල එහි 35 වන වගන්තියේත් තිබෙන මුත්,එය මේ අවස්ථාවේ විග්‍රහ කිරීම අවශ්‍ය නොවනු ඇත​.
වන සත්ව සහ වෘක්ශලතා ආරක්‍ෂක  ආඥා පනතේ 67ආ වගන්තිය අනුව එම පනතේ සියලු වරදවල් සංඥේය වරදවල් ලෙස නම්කර තිබේ.මේ ශාකය වන සත්ව සහ වෘක්ශලතා ආරක්‍ෂක ආඥා පනතේ42 වන වගන්තිය යටතේ තිබෙන අටවන උප ලේඛනයේ ඇතුලත් නිසා ආරක්‍ෂිත  ශාක විශේශයකි.එසේ හෙයින්,මෙම අවස්ථාවේදී අදාල ගස් වලට හානිකර ක්‍රියාවන්හි යෙදී සිටි පුද්ගලයන්ව අත් අඩංගුවට ගැනීමට පවා අවශ්‍ය බලතල තිබුනි. නමුත් එහිදී එවන් දැඩි පියවරක් නොගෙන තිබීම විශේශත්වයකි.
මීට අමතරව වන සත්ව සහ වෘක්ශලතා ආරක්‍ෂක ආඥා පනතේ 66 වන වගන්තිය අනුව එම පනත ක්‍රියාත්මක කිරීමට බලය ලැබෙන නියමිත නිලධාරීන් පත්කිරීමේ බලතල තිබේ.ඒ අනුව 1947-09-24 දිනැති අංක 9773 දරන ගැසට් පත්‍රයේ පලකරන ලද නියෝගයක් මගින් වන සත්ව සහ වෘක්ශලතා ආරක්‍ෂක ආඥා පනතේබලතල ක්‍රියාත්මක කිරීමේ බලය වනජීවී සංරක්ශන දෙපාර්තමේන්තුවට මෙන්ම වන සංරක්ශන දෙපාර්තමේන්තුවටත් ලබා දී තිබේ. එසේම වන සත්ව සහ වෘක්ශලතා ආරක්‍ෂක ආඥා පනතේ 66 වන වගන්තිය යටතේදී පසු කාලීනව එම බලතල පොලීසියටත් හිමිව තිබේ.
ඉහතකී 1947-09-24 දිනැති අංක 9773 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාරව පවරා තිබෙන බලතල මගේ නීතිඥ වෘත්තිය කාලය තුල ප්‍රථම වරට ක්‍රියාත්මක කලේ දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතා විසින් 1990 දශකයේදීය​. (මට මතක තරමින් 1996දී). ඒ නුවර එලියේදී නීතිවිරෝධී ලෙස එකතු කරගත් ගිනිහොට (Tree Fern) ශාක වැටලීමක් සහ සැකකරුවන්ව වරදකරුවන් බවට පත්කරමින් සාර්ථකව නිමාවූ නඩු කටයුත්තක් වන සිද්ධියෙනි. ඉන් පසුව ගෙවීගිය දශක දෙකකටත් අධික කාලයේදී මෙම නියෝගය අනුව ක්‍රියාකර්තමින් ස්දාර්ථකව වනජීවීන් රැකගැනීමට ක්‍රියාකල වන සංරක්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් ගනනාවක්ම සිටී.
මේ නිසා මෙය ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත ආරක්ශාකර ගැනීම පිනිස වස්නජිවී සංරක්ශන දෙපාර්තමේන්තුව වෙත වන සංරක්ශන දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන අගනා දායකත්වයේ ආසන්නතම සහ ප්‍රකටම සිද්ධියත් වේ.
එබැවින් මෙම සිද්ධියේදී නිවැරදි ආකාරයන් ක්‍රියාත්මක වූ දේවානි මහත්මියට මගේ ප්‍රශංශාව සහ ප්‍රනාමය පිරිනමන්නෙමි.
ප්‍ර​ථම ඡායාරූපයෙන් මෙම ගසේ 2019 දෙසැඹර් මස මවිසින් ගත් ඡායාරූපයක් සහ දෙවන ඡායාරූපයෙන් ගිනිහොට ශාකයකුත් දැක්වේ.
– නීතිඥ, පරිසරවේදී ජගත් ගුණවර්ධන

 

Leave A Reply

Your email address will not be published.