සොම්බීභාවය යනු කුමක්ද?

සොම්බී (Zombie) කියල කියන්නේ එක්තරා අනන්‍යතාවක්. ඇත්තටම කිව්වොත් අනන්‍යතාවක් නැති කමකට කියන නමක්. යුරෝපීය ජනවහරේ භූතාත්මය නැත්නම් හදි හූනියම් වල ඇවිදින මළමිණී වගේ ගුප්ත අර්ථයෙන් මේ නම මුල් කාලයේ භාවිත වෙලා තිබ්බත් මේ නමට වෙනත් අර්ථයක් හම්බ වෙන්නේ යටත් විජිත කාලේ. විශේෂයෙන් වහල්භාවය එක්ක ගැට ගැහුණ මනෝභාවයක් හැටියට. මේ ප්‍රපංචය ගැන දැනුවත් වීම වැදගත්. විශේෂයෙන් අපි වගේ පශ්චාත් යටත් විජිත සන්දර්භයක් ඇතුළේ.

මළ මිණියක් කිව්වම ඇත්තටම තියෙන්නේ අක්‍රීය ශරීරයක්. දේහයක්. ඒ දේහයට සවිඥාණික බවක් නැහැ. සවිඥාණික බවක් නැති එහෙත් ශරීර කූඩුව විතරක් පෙනුමට තියන ඇවිදින මළමිණී නූතන මනෝවිශ්ලේෂණය ඇතුලේ යම් කාර්යයක් කරනවා. ඒ කියන්නේ ඔහේ ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙන අය ගැනත් මනෝවිශ්ලේෂණය සැළකිලිමත්.

අප්‍රිකාවෙන් අල්ලා ගෙන ආපු වහලුන් ලෝකය පුරා යටත් විජිත වැඩ බිම් වල වැඩ කෙරුවා කියල ඔයාල දන්නවා ඇති. ඇමෙරිකාවේ සීනි (sugar cane) සහ පුළුන් (cotton) ආශ්‍රිත වගා බිම් වල මේ ‘මිනිසුන් නොවන මිනිස්සු’ තෙරක් පරක් නැතුව වැඩ කළා. එයාල එයාලගේ මුල් අනන්‍යතාවෙන් පුර්ණ වශයෙන් ඛණ්ඩනය කරලා මේ නව භූමිය ඇතුලේ එයාලට නව අනන්‍යතාවක් ලබා දුන්නා. ඇත්තටම ඒක නව අනන්‍යතාවක් නෙවෙයි අනන්‍යතාවක් නැති බවක් ලබා දීමක් (no identity). තිබුණ සියල්ල එයාලගෙන් ඉවත් කරලා වෙනත් මුකුත් ලබා නොදීමක්. ඒක සෙල්ලමක් නෙවෙයි.

මොකක් හරි සවිඥාණික බවක් ඔවුන්ට තිබ්බා නම් ඒ සියල්ල එයාලගෙන් ඉවත් කරලා ඔවුන්ව නිකම්ම නිකම් ශරීරයක් විතරක් බවට යටත් විජිත ක්‍රියාවලිය විසින් පත් කළා. නමක් තිබ්බා නම් ඒක අංකයක් කලා. ආගමක් තිබ්බා නම් ඒක නැති කලා. රටක්, මුල් භූමියක් කියල තිබ්බනම් ඒකත් නැති කළා. ස්වාමි පුරුෂයෙක් බිරිඳක් දුවෙක් පුතෙක් වගේ සමීප අනන්‍යතා තිබුණා නම් ඒවා කඩල බිඳලා දාල ශ්‍රමයට පමණක් ජීවත් වෙන ශරීරයක් බවට පමණක් එයාලව පත් කලා. කොටින්ම කිව්වොත් ඉමෝෂනල් කිසිම දෙයක් එයාලට හිමි උනේ නැහැ. මේ ගැන අදහසක් ගන්න නිකම් බලන්න ටැරන්ටිනෝ ගේ Django Unchained චිත්‍රපටය. මොකක් හරි ඉමෝෂනල් ඇටෑච්මන්ට් එකක් (emotional attachment) තිබ්බා නම් ඒක සුලේ සුන්දල් වෙන්න කඩල දාන්න උන් මොන ප්‍රචණ්ඩ බවක් පාවිච්චි කලාද කියල ජැන්ගෝටයි හිල්ඩිටයි කරූකන් වත්තේදී ගහන කසපහර වලින් තේරුම් ගන්න පුළුවන් වෙයි.

මිනිසෙක් වෙන්න නම් ඉමෝෂනල් (emotional) කෑල්ලක් මිනිසාට තියෙන්න ඕනි. ඉමෝෂනල් වෙන්න නම් ඉතිං ඇටෑච්මන්ට් (attachment) එකක් තියෙන්න ඕනිනේ. මොකක් හරි දෙයකට ඇටෑච් වෙන්න නම් ඩිසයර් (desire) එකකුත් ඕනි. ඒ කියන්නේ මිනිසෙක් වෙන්න ආශාවක් ලියලන්න ඕනි මොකක් හරි දෙයක් ගැන. රට, ජාතිය, ආගම, දේපළ, ගැහැණිය ඔය මොකක් හරි… ඉතිං අර වහල් මිනිසුන්ට යටත් විජිත ස්වාමියා දුන්නේ නැත්තෙත් අර ඉමෝෂනල් කෑල්ලම තමයි.
උන් දැනගෙන හිටියා හැඟීම් තමයි භයානක කියල. මිනිස්සු ෆයිට් කරන්නේ හැඟීම් එක්ක කියල.

හැඟීම් නැති නිසා එයාලට අනන්‍යතාවක් තිබ්බේ නැහැ. අනන්‍යතාවක් නැති නිසා එයාල මිනිස්සු නෙවෙයි. මිනිස්සු නොවෙන නිසා ස්වාමියා ඒ තමන් ඉස්සරහා ඉන්න වහලා ගේ ගේස් එක (gaze- දැක්ම) ‘මිනිස් දැක්මක්’ හැටියට සැළකුවේ නැහැ. ඒ නිසා වහලා කෝපි එකක් හදාගෙන කාමරේට එන කොට ස්වාමියා සෙක්ස් කර කර හිටියොත් ඒක ඌ නැවැත්තුවේ නැහැ. දිගටම කරගෙන ගියා. නිකම් හිතන්නකෝ අපි සෙක්ස් කරන කොට පූසෙක් කාමරේට ආව කියල. අපි එයාව ගණන් ගන්නේ නැහැනේ….ඒ වගේ තමයි වහල්ලු කියන්නේ විඥානයක් සහිත ජීවින් කොටසක් හැටියට ස්වාමියා සැළකුවේ නැහැ. ඔවුන් දැක්ක නිසා ලැජ්ජාවක් ඇති උනේ නැහැ (ඔවුන්ගේ දැක්ම ලැජ්ජාවක් ඇති කරන දැක්මක් ලෙස සැලකුණේ නැහැ). ඒ කියන්නේ පුද්ගලභාවයක් (personhood) ඔවුන්ට තිබුණේ නැහැ. මේක තමයි මූලිකම ප්‍රපංචයීය තත්වය සොම්බීභාවය (zombihood) තේරුම් ගැනීම සඳහා. සොම්බිභාවයේ ආරම්භය වෙන්නේ පුද්ගලභාවය අහෝසි වීම. පුද්ගල බව ඇතිවෙන්නේ ආශාව එක්ක. ඒ කියන්නේ ආශාව සහ සොම්බීභාවය අතර සම්බන්දයක් තියනවා.
ලොකු බෝම්බෙකට වගේ අහුවෙලා ඒත් මැරෙන්නේ නැතුව ශරීර කූඩුව විතරක් ඇවිදින මිනිස්සු ගැන හිතන්න. දැවැන්ත ක්ෂිතියකට පස්සේ මිනිස්සු සිතීම නතර කරනවා. සිතීම නතර කරපු මිනිස්සු කැලක් තම ශරීර කූඩු කෙටි අඩි තබමින් ගමන් කරවන්න ගන්නවා මුල් වරට විශේලේෂණය කරන්නේ ෆ්‍රාන්ස් ෆැනොන්. ඒ හැඟීම් වාෂ්ප වෙච්ච කළු ආත්මයට අදාළව. ඒ එයාගේ The Wretched of the Earth පොතේ. මැරිලත් නැති ඒත් ජීවත් වෙන්නෙත් නැති මහත් පුදුමයක් මුහුණේ ඇඳුනු බැරෑරුම් මුහුණු සහිත මිනිසුන් පිරිසක් මහමඟ ඇවිදිනවා ෆැනොන් නිරීක්ෂණය කරනවා ඒ පොතේ.

එයාල සමහරෙක්ට එක එක යක්කු භූතයෝ වැහිලා. සත්තු සර්පයෝ ආරූඪ වෙලා. මියගිය ඥාතීන් ආරූඪ වෙලා. මෙයාල ගොඩක් වෙලාවට අපස්මාරය වගේ දේවල් හැදිලා බිම් වැටෙනවා ෆැනොන් නිරීක්ෂණය කරනවා. ඉතිං මේ අය මිනිස්සු වගේ පෙනුනට මිනිස්සු නෙවෙයි.
ඉතිං යම් කිසි ක්ෂිතියකින් (trauma) පස්සේ ශරීරය ජීවත් කරවන්න තරම් වරප්‍රසාදයක් (privilege) යමෙකුට ලැබුණත් ඇයගේ හෝ ඔහුගේ සවිඥාණය මිය ගිහිල්ලා නම් එහෙම කෙනෙක් ඉහත කියපු සොම්බීභාවය අත්පත් කර ගන්නවා. හැබැයි වාච්‍ය අර්ථයෙන් ගත්තොත් විශ්ලේෂණය කරන්න තරම් මනසක් එයාලට ඉතුරු වෙන්නේ නැහැ. යම් සවිඥාණික බවක් ආවත් එවන් කෙනෙක් නිකම් ගොතික් චිත්‍රපටයක චරිතයක් වගේ තමයි හැසිරෙන්න ගන්නේ…

සොම්බී කෙනෙක් ජීවත් වෙන්නේ මරණ සංකල්ප රූපයක් ඇතුළේ (death imagery). ඉතිං අර වගේ ක්ෂිතියක් නැතුව උනත් ඇත්ත මිනිස් හැඟීම ඉවත් කරලා හුදු ශරීර අවියක් විදියට මිනිසා එක් එක් අරමුණු වෙනුවෙන් පාවිච්චි කරන්නත් විසි වෙනි සියවසේ දේශපාලනය උත්සාහ කරලා තියනවා. ඔය දාම ඝාතන වලට සම්බන්ද අය, බිම්ගත ඔත්තු කරුවන්, අධි තාක්ෂණික හැකර්ලා, මරාගෙන මැරෙන සටන් කරුවන් අතරෙත් මේ වගේ සොම්බීකරණය වෙච්ච ශරීර පැවතිලා තියනවා.
ඒ වගේම ඒ සොම්බීකරණය වෙච්ච මිනිස් ශරීර කූඩු හදිසියේ හම්බ වෙච්ච මිනිස් ආදරය ඉස්සරහා වෙනස් වෙච්ච වෙලාවලුත් ඉඳලා හිටලා දකින්න හම්බ වෙලා තියනවා. සමහරු කොච්චර ආදරය සහ අවධානය හම්බ වුණත් එයින් පලා යන අවස්ථාත් තියනවා. ආදරය නිසා සොම්බීන්ට උනත් ඕනෑම දෙයක් වෙන්න පුළුවන් නේද කියල හිතෙනවා වෙලාවකට.
හැබැයි The Silence of the Lambs චිත්‍රපටියේ ‘ඩොක්ටර් ලෙක්ටර්… ඩොක්ටර් ලෙක්ටර්…’ කියල කොච්චර ක්ලැරිස් කතා කලත් ලෙක්ටර් දුරකථනය කට් කරනවා. සමරහ විට අප්‍රිකාවෙන් ආපු කළු ආත්මයටත් වඩා ගැඹුරුයි කළු ආත්මය සොම්බීකරණය කළ සුදු ආත්මයේ සොම්බීභාවය….
කොච්චර ගැඹුරුද කියනවා නම් සුවපත් වෙන්න පුළුවන් කියල දැන දැනම එයාල සුවපත්වීම ප්‍රතික්ෂේප කරනවා…
රොබට් බවුන්ඩ්රිග් සෙක්ස් කර කර ඉන්නකොට ඩී. එස්. වගේ කෙනෙක් කෝපි එකක් අරන් ගියානම් මොකක් වෙයිද කියලත් වෙලාවකට හිතෙනවා…මවුන්ට්බැටන් කතාව වගේ එකක් අපිටත් ලියන්න පුළුවන් වෙයිද එහෙනම්?.

Image: අනන්‍යතාව අවුල් ඩොක්ටර් ලෙක්ටර්ට මුල් වතාවට තම අනන්‍යතාව පෙන්වන Jodie Foster @The Silence of the Lambs
-මහේෂ් හපුගොඩ (fb)

Leave A Reply

Your email address will not be published.