2021 වසරත් කොරෝනා වලටම සින්න වෙයිද?

කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිරෝධයක් ලෙස මිනිස් ප්‍රතිශක්තිය ඇතිකරනු පිණිස දැනට ලොව පුරා භාවිත වන ඇස්ට්‍රාසෙනිකා (AstraZeneca) නොඑසේනම් ජනප්‍රිය ඔක්ස්ෆර්ඩ් වැක්සීනය කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයන් (new variants) පාලනය කිරීම සඳහා යම් හෙයකින් අසමත් වුවහොත් එය ගෝලීය වෛරස් මර්ධන ක්‍රියාවලිය විශාල වශයෙන් පසුපසට යාමට හේතුවක් විය හැකි බව ගෝලීය වෛරස් විශේෂඥයින් පෙන්වා දෙනවා.

විශේෂයෙන් තුන්වන ලෝකයේ රටවල් මෙම පසුබැසීම තුළ බරපතළ ලෙස සෞඛ්‍ය, ආර්ථික සහ සමාජීය බලපෑමට හසු විය හැකි බවයි ඔවුන්ගේ මතය.
තුන්වන ලෝකයේ රටවල් සඳහා දැනට මිළදී ගැනීමට හැකි සහ ගබඩා කිරීමට හැකි වැක්සීනයක් ලෙස අනුමත වී ඇත්තේ මෙම ඇස්ට්‍රාසෙනිකා එන්නත පමණි. ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත මිලෙන් අධික වීම සහ ගබඩා කිරීමේ ප්‍රශ්න මත තුන්වැනි ලෝකයේ භාවිත වන්නේ නැහැ. කෙසේ වුවද රුසියානු ස්පුට්නික් එන්නත ද යහපත් ප්‍රතිඵල පෙන්වමින් තිබීම එක්තරා අයුරකින් තුන්වන ලෝකයට සැනසීමක් විය හැකි පුවතක්. මේ අතරට තවත් මිළෙන් අඩු එන්නත් කිහිපයක් ම පැමිණෙමින් ද තිබෙනවා.

දැනට කෝවිඩ් ව්‍යාප්තියේ බරපතළ ප්‍රවර්ගයක් වන දකුණු අප්‍රිකානු ප්‍රභේදය (South African variant) මර්ධනය කිරීම සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත යම් ආකාරයකට අපොහොසත් වනවා යන උපකල්පනය මත දකුණු අප්‍රිකාව මෙම එන්නත නවත්වනු ලැබීම තුල මෙම අවදානම් තත්වය තවත් උග්‍ර අතට හැරෙමින් පවතිනවා. එසේම ලොව පුරා ආසාදිතයින් මිළියන ගණනින් හමුවීමත් එසේම මරණ සංඛ්‍යාව ඉහළ යාමත් තුල ගෝලීය ප්‍රජාව මෙම පැන්ඩමික තත්වය අවසන් කරගන්නේ කවදාද යන්න ගැන පසුවන්නේ දැඩි අවිනිශ්චිත තත්වයකින්.
අනෙක් අතට මෙම වෛරසය කලින් කළට තම උදාසීන වීම සමඟ අළුත් අළුත් පෙර නොවූ මුහුණුවරවල් ලබා ගැනීම වෛරස් විශේෂඥයින්ගේ වික්ෂිප්ත බවට හේතු වී තිබෙනවා. ඒ සමඟම ලංකාව තුල පවා මෙවන් ප්‍රභේද ගණනක් දැන් හඳුනා ගැනීම සහ අසාදිතයින් ගේ ඉහළ යාම තුල රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය පවා පෙන්වා දෙන්නේ මෙම වසංගත තත්වය ගැන රජයේ මෙන්ම සාමාන්‍ය ජනතා අවධානය මීට වඩා යොමු විය යුතු බවයි. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්ක සීමාවෙන් පිට ග්‍රාමීය ප්‍රදේශ වල විශාල වශයෙන් රෝගීන් හමුවීම තුළ මෙම වසංගතය පාලනයෙන් ගිලිහී යාමේ විශාල ඉඩක් මතුවී තිබෙනවා. මේ බව යම් ආකාරයකින් සෞඛ්‍ය පරීක්ෂක වරුන් පවා පෙන්වා දෙමින් සිටිනවා.

මේ අතර ඇමෙරිකානු ජොන්සන් සහ ජොන්සන් සමාගමේ තනි මාත්‍රාවේ (single dose vaccine) කෝවිඩ් මර්ධන එන්නත හඳුන්වා දෙමින් එහි ප්‍රධානියා ප්‍රකාශ කරන්නේ ඉදිරි වසර හතක කාලය සඳහා සෑම වසරකටම වරක් ගෝලීය මිනිස් ප්‍රජාව නැවත නැවත එන්නත්කරණය සඳහා ලක්කිරීමට සිදුවිය හැකි බවයි. එයට හේතුව නම් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙන්ම අනික් සියලු එන්නත් වසරක කාලයක ඇවෑමෙන් ඒවායේ ප්‍රතිශක්තිකරන හැකියාව අඩු වීමට හැකි සම්භාව්‍යතාවයි.

අනෙක් අතට වෛරසය විසින් කලින් කලට ඇතිකරන නව ප්‍රභේද සඳහා නව එන්නත් හූවනයන් (boosters) හඳුන්වා දීමට සිදු වුව හොත් කලින් කලට ඒවාද මිනිසාට එන්නත්කරණය කිරීමට සිදු විය හැකි බව විශේෂඥයින් පෙන්වා දෙනවා. නමුත් දැන් අප මේ වෛරසය ගැන බොහෝ දේ දන්නා බැවින් එවන් එන්නත් බූස්ටර් නිපදවීම සහ එන්නත් කිරීම වෛරසය සොයා ගත් මුල් කාලයේ මෙන් අපහසු නොවනු ඇති බව බොහෝ අයගේ මතයයි.
යුරෝපිය හවුල තුල රටවල් ගණනාවක ඇස්ට්‍රාසෙනිකා එන්නත වයස් ගත පුද්ගලයින් වෙනුවෙන් ලබා දෙන්නේ නැහැ. එයට හේතුව නම් වයස් ගත පුද්ගලයින් සඳහා මෙම එන්නත ප්‍රතික්‍රියා කරන අන්දම ගැන ධනාත්මක තොරතුරු හීන වීමයි.

කෙසේ වුවත් මේ කුමන එන්නතක් හෝ විශාල ප්‍රමාණයෙන් සැලසුම් සහගත ලෙස ජනතාවට ලබා දෙන රටවල වාර්තාවන අසාදිත සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව සහ රෝහල් ගතවන සංඛ්‍යාව සැළකිය යුතු ලෙස අඩුවෙමින් පවතිනවා. එය අපගේ සැළකිල්ලට ලක්විය යුතු තත්වයක්.
මෙම පැන්ඩමිකය අවසන් කර ගැනීම සඳහා දැනට පියවා ගත නොහැකි එකම හිඩැස (gap) ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දකින්නේ ලෝකයේ දුප්පත් සහ පොහොසත් රටවල් අතර හිඩැස විසින් ඇතිකර ඇති දැවැන්ත අසමානතාවයි. ඊට අමතරව අවශ්‍ය ප්‍රමාණයට එන්නත් ලබා දීමට නිෂ්පාදකයින්ට නොහැකි වීමත් පැන්ඩමිකය අවසන් කිරීමේ මනුෂ්‍ය ගමන් මාර්ගයේ ඇති තවත් එක් මාර්ග බාධකයක්.
-මහේෂ් හපුගොඩ(fb)

Leave A Reply

Your email address will not be published.