ශක්තික සත්කුමාර නිදොස්කොට නිදහස්!

කෑගලු අහස යට සීතල දැනෙනවද

හිමයේ ගිහින් මල් යහනක නිදනවද
කුසගින්නට රස පලවැල බුදිනවද
වානක් තරම් උණු කඳුළැලි හෙළනවද
කෑගලු අහස යට සීතල දැනෙනවද
කොහා තමයි අවුරුදු ගැන මතක් කළේ
එරබදු මලුත් දුක දැනිලයි හිනා වුණේ
කිරිබත නැතුව ලිප ඇඬුවයි බඩගින්නේ
ගිනි වෙඩි කරල් ගිනිගත්තයි හිත ඇතුළේ
සඳ එන මඟට තරු කඳුළැලි ඇන්දා ය
නුඹ හින්දා නො නිවෙන ගිනි උහුලාය
වැහි නැතුවත් වැව තාමත් උතුරාය
සීතල මතක නිල් දිය රැලි බින්දාය
මහමෙර වගේ ගෙදරක බර අරගත්තූ
නුඹ හට පරාදයි හිමියනි අලි ඇත්තූ
බෝසත් චරිත රඟපානා බුදු පුත්තූ
දරු දෙදෙනෙකුගෙ සෙනෙහස හිර කරගත්තු
යනූෂා ලක්මාලි –
පසු සටහන :
2019 ජනවාරි 14 වැනි දා මේ කවි පෙළ පල කරන ලද යනූෂා ලක්මාලි යනු ඒ වනවිට කෑගල්ල රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි තරුණ නිර්මාණවේදී ශක්තික සත්කුමාර සොහොයුරාගේ ආදරණීය බිරිඳ ය.
මුහුණුපොතේ පල කළ ‘අර්ධ’ නම් කෙටිකතාව ඔස්සේ බුදු දහමට අපහාස කළේය යන චෝදනාව මත ශක්තික සත්කුමාර ව අත් අඩංගුවට ගැනෙන්නේ ‘බුදුදහම සුරැකීමේ යොවුන් පෙරමුණ’ නම් අන්තවාදී සංවිධානය කරන ලද පැමිණිල්ලකට අනුව ය. පොලිසිය විසින් ශක්තිකට එරෙහිව නඩු පවරා තිබුණේ පහසුවෙන් ඇප ලබාගත නොහැකි වන ‘සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත’ (ICPPR පනත) යටතේ ය.
අද වන විට නිදොස් කොට නිදහස හිමි වූ ශක්තික වෙනුවෙන් එදා ඉදි වූ සහෘද මිනිස් පවුර ආදර ගෞරවයෙන් සිහිපත් කරමි.
මුතු ඇටයක් බඳු කුඩා රටක් යැයි විශ්වාස කරගෙන ඔබ අප මේ වන විට ජීවත් වන්නේ Salem Witch Trials වේදිකා නාට්‍යයේ එන මැසචුසෙට් හි සලෙම් නම් වූ ගම්මානයේ ය. සර්ව දුර්භාග්‍යයන් සහ ව්‍යසනයන් හමුවේ වුව ද සලෙම් වාසී අපට හමුවන ජෝන් ප්‍රොක්ටර්ලා සහ රෙබෙකා නර්ස්ලා සමඟ මේ ශුභාරංචිය බෙදා ගනු රිසියෙමි.
-සහන් කසීර වික්‍රමසිංහ (fb)

Leave A Reply

Your email address will not be published.