කටු කකා රස හොයන  ජීවිත

හැමෝම හිතන් ඉන්නෙ කැම්පස් යන කෙල්ලො කොල්ලන්ගෙ ජීවිත රෝස මල් යහනා වගේ කියලා. ඒත් ඇත්ත කතාව ඒක නම් නෙමෙයි. එක අහිංසක බලාපොරොත්තුවක් ඉෂ්ට කර ගන්න මෙලොව අපායක තමයි, ඇත්තට ම උන් ජීවත් වෙන්නෙ. ඒකයි කැම්පස් ජීවිතේ පුරාවට ම ‘කටු කකා ජීවත් වෙනවා’ කියලා මං කියන්නෙ. පුංචි කාලේ ඉඳන් එක රැයක්වත් ගෙදරින් පිට ජීවත් නොවුණ කෙල්ලො කැම්පස් ඇවිත් මාස ගණන් ගෙදර නොගිහින් තනිවම ජීවත් වෙනවා. හිතනව ද ඒ සතුටින් කියලා. නෑ. හිත හැම මොහොතෙම ඉකිගගහා අඬනවා ගෙදර යන්නෙ කවද්ද කියලා අහල ම. දිරපු ඇඳන් උඩට නිඳාගන්න කියලා ගියත්, නින්ද අහලකටවත් එන්නෙ ම නෑ. ගෙදර ගැනම හිතෙනවා මිසක. ගෙදර ඉන්න කොට වින්ද සැප එකින් එක, පෙළින් පෙළට මැවෙද්දී, උන් හැබෑවට ම ගෙදර යනවා වෙනුවට කළේ හිතින් ගෙදරට ගිය එක. ඉතින් මේ තරම් වේදනා විඳිනකොට මොන සැපක් ද?

අම්මගෙ අතින් හදපු කෑමවල රස හීනෙන් තමා උන් වින්දෙ ම. කැන්ටිමේ කෑම වේලෙ පරිප්පුයි සම්බෝලයි නං වරදින්නෙ ම නෑ. පරිප්පු හදන කොට ගන්න පොල්වල කුඩුවලින් තමයි, සම්බෝලෙ හදන්නෙ. ඉතින් මේලෝකෙ රහක් නෑ. බඩගින්නට හාමතේ ම මැරිලා යයි කියලා තියෙන බයට බඩකට පුරෝගන්න කෑවට කිසිම රසයක් ඒ කෑමවල නං නෑ. තුන් වේලෙ ම නොවැරදුණ රෙසිපි එක තමා පරිප්පුයි, සම්බෝලයි. මෙහෙම වෙද්දි අම්මව තමයි හැම වෙලේම මතකෙට ආවෙ. කැම්පස් ගිය කෙල්ලො කොල්ලො කාපු වේල් ගාණට වඩා නොකාපු වේල් අනන්තයි. බඩේ පණුවන්ට කතා කරන්න පුළුවන් වුණා නං උන් කියයි, බඩේ ඉඳන් උන් විඳපු දුකේ තරම. දවස තිස්සෙ ම පොතත් එක්ක ඔට්ටු වෙන කෙල්ලො, කොල්ලො අහිංසක අම්මගෙ, තාත්තගෙ හීනෙ ඉෂ්ට කරන්න හොර රහසෙ ම අඬන්න ඇති. මේක කියවන කැම්පස් කෙල්ලො කොල්ලො දන්නවා ඇති මං මේ කියන කතාවෙ රඟේ.

හිතට දුකක්, වේදනාවක් ආවහ ම කියන්න කවුරුත් නෑ. අහන්න කවුරුත් නෑ. ලෙඩක්, දුකක් හැදුණම ඔළුව අතගාන්න එකෙක් නෑ. මෙන්න මේ වගේ අන්ත අසරණ වෙන අවස්ථා නං මහ ගොඩයි. යාළුවො හිටියත්, හිතට වදින යාළුවන්ටවත් බෑ සමහර වෙලාවට ඔයාට උදවු කරන්න.

මෙහෙම තනියෙන් ජීවත් වෙන කොට හිතට දැනෙන දුක අහන්නවත්. කියන්නවත් කවුරුත් නැති වෙද්දි කොහොම ද එන ෆීලින් එක. පුළුවන් ද වචනවලින් කියන්න. බෑ නේ ද? මොනව වුණත්, හැම දේ ම කියන්න පුළුවන් යාළුවො සෙට් එකක් හම්බුණොත් යන්තං හරි හිතට සැහැල්ලුවක්. එහෙම නොවුණොත් ඉතින් සොරි ම තමා. ගෙදර ඉන්න අයගෙන් ඈත් වෙලා ජීවත් වෙනවා කියන්නෙ, පුදුම කට්ටක් තමා කන්නෙ ඉතින්.

හැමෝට ම ලබා ගන්න බැරි, අතළොස්සකට වගේ ලැබුණ වරමක් එක්ක සරසවියට එන්නෙ අහිංසක පැතුම් සිය දහස් ගණන් දෝතින් දරන්. ඒත් ඒ ගමන හරිම කටුකයි; කර්කෂයි. ජීවිතේ රස හොයන්න යන ඒ ගමන ගැන සමාජෙ ඉන්න අය එක එක කතා කියනවා. ඒක ඇත්ත. ඒත් ඇත්තට ම කියනවා නං ඒ ගමන මහ කටු ගොඩක්. කැම්පස් කෙල්ලො කොල්ලො කැම්පස් එකට පය තියපු දවසෙ ඉඳන් ම ගෙවන්නෙ මහා තිත්ත ජීවිතයක්. හරියට ඒකෙ රස කොහොඹ කොළ වගේ තමයි. සමහර දේවල් රස වෙන්න පුළුවන්. ඒත් මං මේ කියන්නෙ ඒ ගැන නෙමෙයි.

අලුත් අවුරුද්දටවත් ගෙදර අය එක්ක ඉන්න බැරි වෙන අවස්ථාවල් ඕනෑ තරම්. අන්න ඒ වෙලාවට ඔයාටත් හිතුණා නේ ද මොකද්ද මේ ගෙවන කරුම ජීවිතේ කියලා. කටට රහට කෑමක් කන්න නෑ. හිතට දැනෙන්න හරියට නිදාගන්න නෑ. දිවට දැනෙන්න, තිබහ මැකෙන්න හරියට වතුර බොන්න නෑ, හරියට හිතේ හැටියට මළපහවත් දාන්න හරිහමං තැනක් නෑ. ඒවායෙත් මළ ජරාව. හිතේ දෙගිඩියාවක් එනවා ඒවට ගිහිං වෙන ලෙඩ හැදෙයි කියලා. ඒත් මොනව කරන්න ද යන්න ම ඕන නිසා යනවා මිසක්. හිතට දුකක්, වේදනාවක් ආවහ ම කියන්න කවුරුත් නෑ. අහන්න කවුරුත් නෑ. ලෙඩක්, දුකක් හැදුණම ඔළුව අතගාන්න එකෙක් නෑ. මෙන්න මේ වගේ අන්ත අසරණ වෙන අවස්ථා නං මහ ගොඩයි. යාළුවො හිටියත්, හිතට වදින යාළුවන්ටවත් බෑ සමහර වෙලාවට ඔයාට උදවු කරන්න. ඒක ඔයා අත්දැකීමෙන් ම දන්නවා ඇති.

මේ වගේ කටු මහ ගොඩක් කකා තමයි, ජීවිතේ දිනන්න කැම්පස් කෙල්ලො කොල්ලො මහන්සි වෙන්නෙ. කැම්පස් ජීවිතේ හරි ම සුන්දරයි. ඒක ඇත්ත. ඒත්… ඒ සුන්දර අස්සෙ හැංගුණ අසුන්දර දේවල් තියෙනවා ඉහේ කෙස් ගාණට ම. ඒ හැංගුණ දේවල් හරිම තිත්තයි. කොහොම හරි කටු කකා මහන්සි වෙන්නෙ ජීවිතේ රස හොයා ගන්න තමයි ඉතින්. ඇත්තට ම කිව්වොත්, පිහි පාරවල් වදිනවා වගේ තමයි, මෙහෙම කටු කකා ගෙවන ජීවිතය. ඒ පිහි පාරවල් සැරයි නං තමයි. බෙහෙත් දාගෙන හොඳ කර ගන්න බලන්නකො. කාපු කටු, නැත්තං කන කටු ඔක්කොම මතකේ තියා ගන්න. මොක ද? ඒ කටු කෑවෙ, කන්නෙ ජීවිතේ රස හොයන්න ගිය නිසා. ඔන්න කිව්වා, දුක, සැප එක්ක දෝලනය වෙවී ගෙවන කැම්පස් කෙල්ලො කොල්ලන්ගෙ ජීවිත හරිම වෙනස් ■

සඳුනි අරවින්දිනී
Leave A Reply

Your email address will not be published.